jon meri wiyani munithuma

නැගෙනහිර ප්‍රංශයේ ඒන් ප්‍රදේශයට අයත් ආර්ස් (Ars-sur-Formans) නම් පිටිසරබද ගම්මානයේ අධ්‍යාත්මික පෙරළියක් ඇතිකොට ප්‍රංශ විප්ලවයේ ඛේදනීය ප්‍රතිඵලයනට අභියෝග කළ සරල සාමාන්‍ය මීසම් සේවක පියතුමෙක් සමරා අද සාන්ත සභා මාතාව ආනන්දයට පත්වන්නීය.

1786 ඉපිද ප්‍රංශ විප්ලවයේ අත්දැකීම් මැද ගෙවුණු ළමා වියක් උරුම කරගත් ජීන් බැප්ටිස්ට් මාරි වියානි කුඩා කල සහභාගි වූයේ රහසිගත දිව්‍ය පූජාවන්ටය. හේ ප්‍රථම වරට ජේසු ලැබුවේ මුළුතැන්ගෙයක රහසින් බව කියැවේ. මේසා ගැහැට මැද වැඩුණු වියානි තරුණයා කඩා වැටුණු ප්‍රංශ කිතුනු අධ්‍යාත්මය ප්‍රතිස්ථාපනය කරනුවස් පූජකවරය ලැබීමට ඉදිරිපත් වූයේය.

තුරුණු වියේ පසුවූ නව පියතුමාගේ පළමු මීසම බවට පත්වූයේ නැගෙනහිර ප්‍රංශයේ ඒන් හී ආර්ස් මීසමයි. එහිදී එතුමන් නෙත ගැටුණේ පාළුවට ගිය පල්ලිය හා විවිධ දුරාචාරයන්ට නිදහසේ ඇදීගිය ජනතාවකි. සටන ඇරඹිණ.

වියානි සුවාමිට සටන තිබුණේ සාතන් සමගය. එතුමා ඉන් ජයගත්තේය. ආර්ස් මුළුමනින්ම පරිවර්තනය විය. සැබැවින්ම එම පරිවර්තනය ඉබේ වූවක් නොව වියානි සුවාමිගේ යහපත් වෑයමේ සුබ ප්‍රතිඵලයකි.

වියානි සුවාමිගේ දිවිය ගෙවුණේ මීසම් ගෘහයේ බිත්ති හතරට කොටුව නොව ආර්ස් ගම පුරා මංමාවත් වලය, කඩපිල් වලය, පරිහානිය වෙත යාමේ අවදානමක් ඇත්තවුන් අසලය. මිහිපිට නිරයක් වැනිවූ ආර්ස් ගම ස්වර්ගයක් කරන්නට එතුමා විදි කම්කටොලු සුළුපටු නොවේ. පාපොච්චාරණ අසුනේ පැය දහසයක් පමණ රැදුණු අවස්ථා පවා තිබූ බව කියැවේ.

කෙසේ වෙතත් පූජා ප්‍රසාදි වරයාගේ අධ්‍යාත්මිකත්වයට කළ හැකි දෑ බොහෝ බව එතුමා පසක් කළේය. තම සැදැහැවතුන් වෙනුවෙන් එතුමා පූජා වූවායැයි කීවොත් වඩා නිවැරැදිය. ඒතුළින් එතුමා ශේෂ කර ඇත්තේ මහා ආදර්ශයකි. ඒනිසාම එතුමා මීසම් සේවක පියතුමන්ලාගෙ නාම සාන්තුවරයා ලෙස පසුකාලීනව නම් කෙරිණි.

1859 අගෝස්තු 04 දා එතුමා මියගිය කල එතුමාගේ අවමඟුලට පියතුමන් 300ක් මෙන්ම සැදැහැවතුන් හයදහසක් පමණ සහභාගි වීමෙන් එතුමා කළ මෙහෙවර පිළිබඳ තහවුරුවක් ලැබිය හැක.

එතුමාගේ දේහය තැන්පත් කොට ඇති ආර්ස් හී ප්‍රධාන බැසිලිකාව වන්දනාකරුවන්ගෙන්ගේ පුදබිමකි. මෙරට එතුමා නමට කැපකළ දේවස්ථාන දෙකක් දැකිය හැක. එනම්,

  1. රත්නපුර පදවියේ බුළුතොට කඩමුදුණ දේවස්ථානය
  2. කුරුණෑගල පදවියේ වල්පිටගම මීසමේ නවසිගහවත්ත දේවස්ථානය

එතුමා මීසම් සේවක පූජාප්‍රසාදින් වහන්සේගේ නාම සාන්තුවරයා වන අතර, අගෝස්තු 04 වන දින එතුමාගේ මංගල්‍යය දිනය වේ.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *