මෙම ලිපියෙන් අප පිවිසෙන්නේ ශුද්ධ ලියවිල්ල හා බද්ධ වූ දේව මාතාවන් හා බැඳුණු විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව ඉගෙන ගැනීමට ය. ඒ අතරින් අපට පළමුව මුණගැසෙන නාමය “නව ගිවිසුම් කරඬුවේ මාතාවෝ” යන්නයි.
පාරාවෝගේ දේශයේ සිට පොරොන්දු දේශය තෙක් ඊශ්‍රායල් ජනතාව පැමිණි ගමනේ දී ඔවුන් ඔසවා ගෙන පැමිණියේ ගිවිසුම් කරඬුවයි. දාවිත් රජු ඊශ්‍රායලයේ අබු ගොෂ් නගරයේ සිට නටමින්, උඩ පනිමින් ,දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ජෙරුසලම් නගරය දක්වා රැගෙන පැමිණියේ මෙම ගිවිසුම් කරඬුවයි.
සොලමන් රජු විසින් ජෙරුසලමේ තැනූ දේව මාලිගාවේ අතී සුවිශුද්ධ තැන තැන්පත් කරන ලද්දේ මෙම ගිවිසුම් කරඬුවයි. ඉශ්රායෙල් ජනතාව දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට, ප්‍රශංසා කිරීමට ජෙරුසලම් දේව මාලිගාවට පැමිණියේ මෙම ගිවිසුම් කරඬුව එහි ස්ථාපිත කළ තිබූ නිසයි.
එබැවින් පුරාණ ගිවිසුමේ ‘ගිවිසුම් කරඬුව’ යනු දෙවියන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීමයි. මෙම ගිවිසුම් කරඬුව ඇතුළත තැන්පත් කර තිබූ විශේෂ භාණ්ඩ තුනක් හා දේවමාතාවන්ගේ ජීවිතය අතර ගැඹුරු සම්බන්ධතාවයක් ඇති බව දේවධර්ම විශාරදයෝ ප්‍රකාශ කරති.
- පුරාණ ගිවිසුමේ ගිවිසුම් කරඬුව තුළ ගල්පුවරු මත කොටන ලද දෙවියන් වහන්සේගේ නීතිය තැන්පත් කර තිබූ අතර දේවමාතාවන්ගේ ගර්භාෂයේ තැන්පත් වූයේ දෙවියන් වහන්සේ වූ ශ්‍රී වචනයාණොය. “වචනය තෙමේ මාංශ ගත වුනේය” ( ජුවාම් 1:14).
- පුරාණ ගිවිසුම් කරඬුව තුළ ඊශ්‍රායල් ජනතාව පාළුකරයේ දී ලත් මන්නා රත්තරනින් සෑදූ මංජුසාවක තැන්පත් කර තිබූ අතර, මරියාවන්ගේ ගර්භාෂයේ තැන්පත් වූයේ ජීවන දායක භෝජනය වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. (ශු. ජූවාම් 6:22-59).
- පුරාණ ගිවිසුමේ ගිවිසුම් කරඬුව තුළ ඊශ්‍රායල් ජනතාව අතර පූජකයකු වූ ආරොන්ගේ යෂ්ටිය තැන්පත් කර තිබූ අතර මරියාවන්ගේ ගර්භාෂයේ තැන්පත් වූයේ උත්තම පූජකයාණන් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ම ය.
එබැවින් මෙම කරුණු හුවා දක්වමින් දේවමාතාවන් “නව ගිවිසුමේ නව ගිවිසුම් කරඬුව” ලෙස කතෝලික සභාව හඳුන්වන්නී ය. ඉශ්රායෙල් ජනතාව ගිවිසුම් කරඬුව තුළ දෙවියන්වහන්සේගේ වැඩසිටීම අත් දුටු අතර, සමස්ත ලෝකයම දෙවියන්වහන්සේගේ වැඩසිටීම අත්දැක්කේ මරියාවන්ගේ කුසින් බිහි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ය.
“එම්මානුවෙල් යන්නෙහි තේරුම දෙවියන් වහන්සේ අප සමගය” (ශු. මතෙව් 1:23). පුරාණ ගිවිසුමේ ගිවිසුම් කරඬුව අද අප අතර නැත. එහෙත් මරියාවන් ලොවට බිහිකළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානව අද අප අතර ඇත. දෙවියන් වහන්සේ අප අතරට රැගෙන ආ “නව ගිවිසුම් කරඩුවේ මාතාවෙනි – අප නිසා යාච්ඤා කළ මැනවි” ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනගැනීම සඳහා මෙය හැකි නම් share කරන්න.