අපගේ බස තුළ දේවමෑණියන් ‘වික්ෂෝප මාතාවන්’ ලෙස හැඳින්වූවද, ඉංග්‍රීසි භාෂාව තුළ දේව මෑණියන් වින්ද දුක, වේදනාව හා සම්බන්ධකොට භාවිතා කරන නම් කිහිපයක් ඇත. Our lady of Dolours(අවර් ලෙඩි ඔෆ් ඩොලර්ස්), Our lady of the seven Sorrows (අවර් ලෙඩි ඔෆ් ද සෙවන් සරොස්), Our lady of seven Dolours (අවර් ලෙඩි ඔෆ් සෙවන් ඩොලර්ස්) යනු ඒ සමහර නාමයන්ය.
ලතින් භාෂාවෙන් එතුමිය හඳුන්වන්නේ ‘මාටෙර් ඩොලරොසා’ (Mater Dolarosa) යනුවෙනි. මේ සියලු නාමයන් තුළ ගැබ්ව ඇත්තේ දේවමාතාවන් ජීවිත කාලය පුරාවටම වින්ද දුක සහ වේදනාව පිලිබඳ කරුණුය. මෙයට පාදකවන්නේ ජෙරුසලම් දේව මාලිගාවේ දී මරියාවන් ජේසු බිළිඳුන් පුදදුන් මොහොතේදී සිමියොන් දිවැසිවරයා පැවසූ වදන් ය. “එසේ ය ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත.
මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත් හි රහස් කල්පනා එළිදරව් වන පිණිසය (ශු. ලූක් 2/ 35). එබැවින් දේවමාතාවන් තම ජීවිතය තුළ වින්ද වේදනාවන් සත කිමෙක් දැයි අපි විමසා බලමු.
- සමිඳුන් දේව මාලිගාවේ දී පුද දුන් විට සිමියොන් දිවැසිවරයා ප්‍රකාශ කළ වදන්(ශු. ලූක් 2: 33 – 35).
- හෙරොද්ගේ කඩු පහරින් ජේසු බිළිඳුන් බේරාගැනීම සඳහා වේදනාව පිරුණු හදවතකින් මිසරයට පලා යෑම (ශු. මතෙව් 2: 13 – 15)
- දේව මාලිගාවේ දී ජේසු සමිඳුන් නැතිවීම (ශු. ලූක් 2: 41- 50)
- කුරුස ගමනේදී මරියාවන්ට ජේසු සමිඳුන් මුණගැසීම (ශු. ලූක් 23: 27).
- කල්වාරි කන්ද මුදුනේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පත්වීම (ශු. ජුවාම් 19: 25 – 27).
- ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ ශ්‍රී සිරුර කුරුසියෙන් බාන ලදුව තම උකුලේ හොවා ගැනීම (ශු. මාක් 15: 43 – 45).
- උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය සොහොනක තැන්පත් කිරීම (ශු. ජුවාම් 19: 38 – 42).
වර්ෂ 1232 දී ඉතාලියේ ටස්කනි නැමති නගරයේ සිටි තරුණයින් දොළොස් දෙනෙකු එකතු වී ‘මරියාවන්ගේ සේවකයෝ’ (Order of the Servants of Mary) හෙවත් ‘සර්වයිට් ඕඩර්’ (Servite Order) පටන් ගත් අතර ඔවුන්ගේ ප්‍රධානතම යැදුම් මෙහෙයක් ලෙස මරියාවන්ගේ මෙම වේදනාත්මක සිද්ධීන් 7 හා බැඳුණු යැදුම් මෙහෙය ගොඩ නගා ගත් බව ඉතිහාසය තුළ පැහැදිලිය.
දේව මෑණියන්ගේ මෙම වේදනාවන් හා බැඳුණු කළු බෙන්තිඤ්ඤය (Black Scapular) ඔවුන්ගේ නිර්මාණයක් විය. වික්ෂෝප 7 වෙනුවෙන් කරන මෙම යෙදුම් මෙහෙය දොළොස් වන ශතවර්ෂය තුළ වර්ධනය වූ නමුදු දේවමාතාවන් අත්දුටු වේදනාවන් ගැන බොහෝ ලිපි ලියැවෙන්නට පටන් ගත්තේ එකොළොස්වන ශත වර්ෂයේ පටන්මය.
1423 දී ජර්මනියේ කොලෝන් නගරයේ තිබූ රදගුරු සම්මේලනයකදී ගත් තීරණයක් අනුව මෙම භක්ති අභ්‍යාසය, මංගල්‍යයක් ලෙස එම ප්‍රදේශ තුළ සැමරීම ආරම්භ වූ අතර පළමුව එය සමරන ලද්දේ උත්ථාන සමයේ තුන්වන ඉරුදිනට පසුව එන සිකුරාදාය.
මෙම භක්ති අභ්‍යාසය වර්ෂ 1600 දී ප්‍රංශය පුරා ඉතා ප්‍රචලිත වූ අතර 1727 අප්‍රියෙල් 22 දිනදී XIII වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියාණන් විසින් ගොබ් ඉරිදා ට පෙර පැමිණෙන සිකුරාදාව ‘වික්ශෝප සිකුරාදා’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. අදටත් වික්ශෝප සිකුරාදා ව අප සමරනු ලබන්නේ ගොබ් ඉරිදා ට පෙර එන සිකුරාදාය.
එසේම 1913 දී X වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් සැප්තැම්බර් 15 දා දිනය වික්ෂෝප දේව මාතාවන්ගේ මංගල්‍යය සමරනු ලබන දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. එබැවින් අද දක්වා වික්ෂෝප මාතාවන්ගේ මංගල්‍යය, සභාව සමරනු ලබන්නේ සැප්තැම්බර් පහළොස් වැනිදාය.
සියලු වේදනාවන් හමුවේ දෙවියන් වහන්සේ අත්නොහැර දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ගැඹුරු ඇදහිල්ලක් තුළ ජීවිත වේදනාවන්ට මුහුණ දෙන්නට වික්ෂෝප මාතාව අපට කියා දෙන්නීය.
“වික්ෂෝප මාතාවෙනි- අප නිසා යාච්ඤා කළ මැනවි”. ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැන ගැනීම සඳහාද මෙය හැකි නම් SHARE කරන්න.