Mother Mary

මරිය තුමියව “ජීවමාන සත්ප්‍රසාද කරඬුව” ලෙස හැඳින්වීම කතෝලික දේවධර්මයේ ගැඹුරු අර්ථයන් දරන සංකල්පයකි. මෙය මරිය තුමියගේ උත්තරීතර භූමිකාවත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වයත් මැනවින් විදහා දක්වයි.

මෙය හුදු සංකේතයක් පමණක් නොව, ගැලවීමේ ඉතිහාසයේ මරිය තුමියගේ සුවිශේෂී භූමිකාවත්, දෙවියන් වහන්සේගේ මහිමයත්, මනුෂ්‍ය සංහතියට උන්වහන්සේගේ ප්‍රේමයත් විදහා දක්වන්නකි.

පැරණි ගිවිසුමේ සප්‍රසාද කරඬුව – දේව ප්‍රසන්නතාවයේ සංකේතය

පැරණි ගිවිසුමේ සප්‍රසාද කරඬුව (Ark of the Covenant) යනු ඉශ්‍රායෙල්වරුන් අතර දෙවියන් වහන්සේගේ සැබෑ පැමිණීම (Divine Presence) සංකේතවත් කළ අතිශුද්ධ වූ වස්තුවකි. එය තුළ තිබුණේ,

  • දස පනත සහිත ගල් පුවරු: දෙවියන් වහන්සේගේ වචනය සහ උන්වහන්සේගේ කැමැත්ත.( නව ගිවිසුම තුළ මාංශ ගත වූ වචනය නම් ජේසුස් වහන්සේය )
  • මන්නා භාජනය: කාන්තාරයේදී දෙවියන් වහන්සේ තම සෙනඟට දුන් ජීවනය දායක ආහාරය.( මන්නා ආහාරයට ගත් සියල්ලන් මියගියද,නව ගිවිසුම ජීවන දායක ආහාරය ගත් කිසිවෙක් මිය යන්නේ නැති බවට ජේසුස් වහන්සේ වදාළ සේක. )
  • ආරොන්ගේ වියළි සැරයටිය: දෙවියන් වහන්සේගේ පූජක තේරීම හා අධිකාරිය.( නව ගිවිසුම තුළ උත්තම පූජකයා නම් ජේසුස් වහන්සේය )

මේ සියල්ලම දෙවියන් වහන්සේ තම සෙනඟ සමඟ ඇතිකරගත් ගිවිසුමේ සංකේත විය. කරඬුව පැවති තැන දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය හා මහිමය විය. එය දුටු විට මිනිසුන්ට ඇති වූයේ ගෞරවාන්විත බියකි. කිසිවෙකුට එයට අත තැබීමට හෝ සමීප වීමට නොහැකි විය.

මරිය තුමිය – නව ගිවිසුමේ ජීවමාන සත්ප්‍රසාද කරඬුව

මරිය තුමියව “ජීවමාන සත්ප්‍රසාද කරඬුව” ලෙස හඳුන්වනු ලබන්නේ, ඇය පැරණි ගිවිසුමේ අනුරුවක් වන සත්ප්‍රසාද කරඬුවට වඩා උසස් හා පරිපූර්ණ ආකාරයකින් දෙවියන් වහන්සේව දරා සිටි බැවිනි.

දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන කිරීම: පැරණි කරඬුව දෙවියන් වහන්සේගේ ලිඛිත වචනය (දස පනත) දරා සිටියේය. නමුත් මරිය තුමිය දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තම කුස තුළ දරා ගත්තාය. ශු. ජොහන් 1:14 පවසන පරිදි, “ධර්මයාණෝ මාංසගතව අප සමඟ වැඩ විසූ සේක.”

මරිය තුමිය තුළින් වචනය මාංසවත් වීම, ලිඛිත වචනයට වඩා උසස්, ජීවමාන, ස්පර්ශ කළ හැකි යථාර්ථයකි.

ස්වර්ගීය මන්නාවට වඩා උසස් සත්ප්‍රසාදය

පැරණි කරඬුව තුළ කාන්තාරයේදී ඊශ්‍රායෙල්වරුන්ට ජීවනය දුන් “මන්නා” තිබුණි. ජේසුස් වහන්සේ “ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. ” (ශු. ජොහන් 6:35, 48-51) ලෙස තමන්වම හඳුන්වා දුන් සේක.

උන්වහන්සේගේ ශරීරය සහ රුධිරය සැබෑ ආහාරය හා පානය ලෙස ක්‍රිස්තියානි ජීවිතයට ජීවනය දෙයි. මරිය තුමිය තම කුස තුළ දරා සිටියේ, ජීවමාන සත්ප්‍රසාදය වන ජේසුස් වහන්සේවය.

නව සහ සදාතනික ගිවිසුම

පැරණි කරඬුව සංකේතවත් කළේ මෝසෙස් සමඟ ඇති කරගත් ගිවිසුමයි. නමුත් මරිය තුමිය තම කුස තුළ දරා සිටියේ ලෝකාරම්භයේදී දුන් නව සහ සදාතනික ගිවිසුම වන ජේසුස් වහන්සේවයි.

ජේසුස් වහන්සේගේ මරණය සහ උත්ථානය තුළින්, දෙවියන් වහන්සේ මනුෂ්‍ය සංහතිය සමඟ නව ගිවිසුමක් ඇති කරගත් සේක. මරිය තුමිය මේ ගිවිසුමට පාදක වූ උන්වහන්සේට මවක් විය.

සාන්තුවරයන්ගේ ඉගැන්වීම් සහ සභා ධර්මෝපදේශය

ශු. අම්බ්‍රෝස් (St. Ambrose) සහ St. John Damascene වැනි මුල් කාලීන සභා පියවරුන් මරිය තුමියව “දෙවියන් වහන්සේ දරා සිටි කරඬුව” ලෙස හැඳින්වූහ. ඔවුන් දුටුවේ පැරණි කරඬුව දෙවියන් වහන්සේගේ මහිමය තාවකාලිකව දරා සිටින දෙයක් ලෙස පමණක් වන අතර, මරිය තුමිය සදාකාලිකවම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ව දරා සිටි, වඩාත් උසස් හා පූජනීය බදුනක් බවයි.

ඇය දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පිරුණු, නිර්මල තැනැත්තියක් බව (නිර්මල පිළිසිඳ ගැනීම) ඔවුන් අවධාරණය කළහ. පව් රහිත මවකට පමණයි පව් රහිත දෙවියන් වහන්සේව දරා සිටීමට හැකි වන්නේ.

කතෝලික සභා ධර්මෝපදේශය මගින් මරිය තුමියගේ නිර්මල පිළිසිඳ ගැනීම (Immaculate Conception) සහ ස්වර්ගාරෝහණය (Assumption) යන ධර්මතා මගින් ඇයගේ ශුද්ධත්වයත්, පව් රහිතභාවයත්, දෙවියන් වහන්සේට පරිපූර්ණව යටත් වීමත් අවධාරණය කරයි.

ඇයගේ “එම” (fiat – “ඔබගේ කැමැත්ත වේවා!”) මගින්, දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම සඳහා ඇය සම්පූර්ණයෙන්ම යටත් වූවාය. මේ සියල්ල ඇයව “ජීවමාන සප්‍රසාද කරඬුව” ලෙස හැඳින්වීමට අඩිතාලම සපයයි.

බයිබල් පාඨ සහ ගැඹුරු අර්ථයන්

  • ශු. ලූක් 1:39-45 (මරිය තුමිය එලිසබෙත් බැහැදැකීම) මෙම සිදුවීම පැරණි ගිවිසුමේ දාවිත් රජු සත්ප්‍රසාද කරඬුව ජෙරුසලමට ගෙන ඒම හා සසඳා බැලිය හැකිය (2 සාමුවෙල් 6)
  • දාවිත් රජු කරඬුව ඉදිරියේ “නැටුවේය” (2 සාමුවෙල් 6:14). එලිසබෙත් තුමියගේ කුසෙහි සිටි දරුවාද “ප්‍රීතියෙන් කුස තුළ පිම්මේය” (ලූක් 1:44).
  • දාවිත් රජු පුදුමයෙන් “ස්වාමීන් වහන්සේගේ කරඬුව මා වෙතට එන්නේ කෙසේදැයි” විමසුවේය (2 සාමුවෙල් 6:9). එලිසබෙත් ප්‍රකාශ කළේ “මාගේ සමිදාණන් වහන්සේගේ මව මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද?” (ලූක් 1:43)ලෙසය.
  • සත්ප්‍රසාද කරඬුව ඔබෙද්-එදොම්ගේ නිවසට මාස තුනක් රැගෙන ගොස්, එම නිවසට ආශීර්වාද ලැබුණි (2 සාමුවෙල් 6:11). මරිය තුමිය එලිසබෙත් තුමිය සමඟ මාස තුනක් රැඳී සිටි අතර,එතුමියට හා ඇගේ පවුලට ආශීර්වාද ලැබුණි.

මෙම සමානකම් මගින් මරිය තුමිය යනු නව ගිවිසුමේ සප්‍රසාද කරඬුව බවට වූ අදහස ශක්තිමත් කරයි.

එළිදරව්ව 11:19 හි සඳහන් පරිදි දෙවියන් වහන්සේගේ දේව මාලිගාව ස්වර්ගයෙහි විවෘත වූ අතර, උන්වහන්සේගේ ගිවිසුමේ කරඬුව දේව මාලිගාව තුළ දක්නට ලැබිණි. මෙහිදී “කරඬුව” යන්න සමහර දේවධර්මාචාර්යවරුන් විසින් මරිය තුමියට යොමු කරන බවට අර්ථකථනය කරයි.

ඊළඟ පදයෙහි (එළිදරව් 12:1) “සූර්යයා පැළඳගෙන, පාද යට සද මඩල ද හිස මත තාරකා දොළොසකින් යුත් කිරුළක්ද ඇති ස්ත්‍රියකි ” ගැන සඳහන් වේ. මෙම ස්ත්‍රිය මරිය තුමිය ලෙස කතෝලික සභාව හඳුනා ගනී.

මේ අනුව, දෙවියන් වහන්සේගේ කරඬුව සහ මරිය තුමිය අතර සම්බන්ධයක් ඇති බවට තර්ක කළ හැකිය.

“මරිය තුමිය ජීවමාන සත්ප්‍රසාද කරඬුව” යනු මරිය තුමියගේ උත්තරීතර භූමිකාව, ඇයගේ නිර්මලත්වය, දෙවියන් වහන්සේට වූ පරිපූර්ණ කීකරුකම සහ ගැලවීමේ සැලැස්මේදී ඇය දැරූ කේන්ද්‍රීය දායකත්වය පැහැදිලි කරන දේවධර්මීය සංකල්පයකි.

ඇය දෙවියන් වහන්සේගේ අති ශුද්ධ වූ පුත්‍රයාණන්ව තම කුස තුළ දරා සිටි, පව් රහිත, ජීවමාන “බදුන” වූවාය. මෙමගින් මරිය තුමියට දක්වන ගෞරවය, දෙවියන් වහන්සේගේ මහිමයට සහ උන්වහන්සේගේ පුත්‍රයාණන්ට දක්වන ගෞරවයක් බවට පත්වේ.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *