කතෝලික අපට දිව්‍ය පූජාව තරම් වරප්‍රසාද ගලා එන උල්පතක් තවත් නැත. දේව වන්දනාවේ උතුම් ම පිළිවෙත දිව්‍ය පූජාව යි. එබැවින් එහි ශුද්ධත්වය, ගරුත්වය, නිරවද්‍ය බව, ගාම්භීර බව යනාදිය සුරැකීමට අපි බැදී සිටිමු.
දිව්‍ය පුජාව තුළ ක්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අභිරහස පූර්ණ වශයෙන් සමරයි. සැම ඉරුදිනක ම හා ණය මංගල්‍ය දිනක ම නොවරදවා ම දිව්‍ය පූජාවට සහභාගි විය යුතු ය. පවුලක් ලෙස මුළු දිව්‍ය පූජාවට ම සහභාගි වීම වැදගත් වේ.
දිව්‍ය පූජාවේ ප්‍රධාන කොටස් 2කි.
- දේව වාක්‍යය පිළිවෙත
- ස්තෝත්‍ර යාගික පිළිවෙත
එලෙසම දිව්‍ය පූජාව පිළිවෙත් 5 කින් සමන්විත වේ. ඒවා නම්,
- ආරම්භක පිළිවෙත
- දේව වාක්‍යය පිළිවෙත
- පුදසුන සුදානම් කිරීමේ පිළිවෙත
- ස්තෝත්‍ර යාගික පිළිවෙත
- ධර්මදූත කාර්ය සඳහා පිටත් කර යැවීමේ පිළිවෙත
මෙම ප්‍රධාන පිළිවෙත් 5 තවත් කුඩා කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකි අතර එම කොටස් පහත සටහනේ දැක්වෙන පරිදි වේ.

දිව්‍ය පූජාවේ කොටස් සහ පිළිවෙත් අඩංගු PDF එක ලබා ගැනීමට CLICK කරන්න. පහත ප්‍රස්තාරය මගින් ඔබට දිව්‍ය පූජාවේ කොටස් සහ ඒවායේ වැදගත්කමත් පිළිබඳව මනා අවභෝධයක් ලබා ගැනීමට හැකිය.

මෙම ප්‍රස්තාරය ලබා ගැනීම සඳහා CLICK කරන්න.
දැන් අපි එම එක් එක් කොටස පිළිබඳව සවිස්තරාත්මකව කරුණු විමසා බලමු.
ආරම්භක පිළිවෙත
ඇතුළුවීමේ පෙරහැර සහ ආරම්භක ගීතිකාව
පුරාණ ගිව්සුමේ ජනතාව ජෙරුසලමේ දේව මාලිගාවට අවුරුදුපතා වන්දනාවේ ගිය ආකාරය සිහිපත් කරමින් අපි ද නව ගිවිසුමේ වන්දනා නඩය ලෙස ක්‍රිස්තුන් වහන්සේ අප හට දිනා දුන් නව ජෙරුසලම, සංකේතවත් කරන ශුද්ධ මණ්ඩපය වෙත ආරම්භක පෙරහැරෙන් ගමන් කරනවා.
ආරම්භක පෙරහැරේ මුලින්ම ගමන් කරන්නේ සුවඳ දුම් බඳුන රැගෙන යන පූජා සහයක දරුවා ය. ඊට පිටුපසින් ශ්‍රී කුරුස හස්ත රැගත් පූජා උදව් දරුවා ගමන් කරන්නේ සැමට පෙනෙන ආකාරයෙන් කල්වාරියේ ශ්‍රී කුරුසිය ඔසවා ගෙන ප්‍රදර්ශනය කරමින් ය. ශ්‍රී කුරුස හස්ත දෙපසින් ආලෝකය, ඉටිපහන් රැගෙන පූජා උදව් දරුවන් හමන් කරයි.
දිව්‍ය පූජාවේදී සාම දෙයක් ම සිදු කරන්නේ ශ්‍රී කුරුසිය පෙරදැරි කරගෙන ය. දිව්‍ය පූජාවේ සෑම පෙරහැරක්ම ආරම්භ විය යුත්තේ ඒ ආකාරයට ය. පෙරහරේ ශ්‍රී කුරුසිය රැගෙන යන විට, ශ්‍රී කුරුසියට ගෞරවයක් ලෙස සුවඳ දුම් සහ ආලෝක පූජාව අනිවාර්යයෙන් සිදු කල යුතු ය.
ඊට පසුපසින් ගමන් කරන්නේ දිව්‍ය පූජාවේ අනෙකුත් තේවාවන් ඉෂ්ඨ කරන තේවාධරයින් ය. උදාහරණයක් ලෙස දේව වාක්‍ය කියවන පිරිස, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දෙන පිරිස, හැඳින්වීම් විශ්වාසකයින්ගේ යාච්ඥා කියවන පිරිස, පිළිතුරු ගීතිකාව ගායනා කරන පිරිස ආදී වශයෙන් ය.
ඊට පිටුපසින් ශ්‍රී සුභාරංචි පාඨ සංග්‍රහය හෙවත් සුවිශේෂ පාඨ පමණක් අඩංගු ග්‍රන්ථය ඉතා ගෞරවාන්විතව කාටත් පෙනෙන ආකාරයෙන් ඔසවා රැගෙන යනු ලබයි. ඒ සුභාරංචි පාඨ සංග්‍රහය සාමාන්‍යයෙන් ගෙනියන්නේ තේවාචාර්යවරයෙක් ය. තේවාචාර්ය වරයෙක් නැත්නම් දේව වාක්‍ය ප්‍රකාශනය සඳහා නිල වශයෙන් පත්කරනු ලැබූ කෙනෙකු විසින් එය රැගෙන යනු ලබයි.
අවසානයේ ගමන් කරන්නේ දිව්‍ය පුජාවේ මූලාසනය හොබවන රදගුරුතුමා හෝ පියතුමා ය. දිව්‍ය පූජාව පියතුමන්ලා කීප දෙනෙකු හවුලේ පවත්වයි නම් (හවුල් දිව්‍ය පූජාවක්) හවුල් දිව්‍ය පූජාවට සහභාගි වන අනෙකුත් ගරු පියතුමන් මූලාසනයේ පියතුමන්ට හෝ රදගුරුතුමන්ට පෙරටුව ගමන් කරනු ලබයි.
කෙසේ වෙතත් ශ්‍රී සුභාරංචි පාඨ සංග්‍රහයටත් දිව්‍ය පූජාවට සහභාගිවන පියතුමන්ලාට මූලාසනයේ රදගුරුතුමාට අතර මැද්දෙන් වෙනත් තේවාධරයින් ගමන් නොකළ යුතු බව මෙහිදී මතක තබා ගත යුතු ය.
ආරම්භක පෙරහැරත් සමගම ආරම්භක ගීතිකාවට ජනතාව සහභාගි වේ. ආරම්භක ගීතිකාව ජනතාව සැදැහැවත් සංඝයක් ලෙස එකමුතු කරන පළමු ක්‍රියාව වේ. ඒ පමණක් නොව ආරම්භක ගීතිකාව ජනවන්දනා වකවානුව හඳුන්වා දෙන්නට ද, ආරම්භක පෙරහැරට අත්වැලක් ලෙස ද, මූලාසනයේ පියතුමන් ප්‍රමුඛ සැදැහැවත් සංඝය පිළිගැනීමක් ලෙස ද යන මේ සියලුම කාරණා සඳහා දායක වේ.
ආරම්භක පෙරහැරෙන් ශුද්ධ මණ්ඩපයට ඇතුළුවූ වහාම මුලින්ම සිදු වන්නේ පූජාසනයට, කල්වාරියේ ශ්‍රී කුරුසියට සහ දිව්‍ය සත්ප්‍රසාද නිවහනට ගෞරවාචාර දැක්වීම යි. දණ නමා නමස්කාර කිරීම, එසේ නොමැති නම් ගැඹුරු නමස්කාරය, පූජාසනය සිපාචාර කිරීම, සුවඳ දුම් පූජාව, පූජාසනය මත තිබෙන ආලෝකය මේ සැම දෙයක්ම ගෞරවයේ සංකේත ලෙස හැඳින්විය හැකි ය.
උදාහරණයක් ලෙස සුවඳ දුම් පූජාව සිදු කරනු ලැබෙන්න ඉහළට නැගෙන අපේ යාච්ඤාව හැටියට ය. එමෙසම සුවඳ දුම් පූජාව සෑම විටම යාගයට සම්බන්ධ වේ. දුම් පූජාව යාගීක සංකේතයක් මෙන්ම උත්සවශ්‍රීය ඇති කරන්නටත් ද භාවිතා කරනු ලබයි. එමෙන්ම පරිසරය පිරිසුදු කරන සංකේතයක් හැටියටත් සුවද දුම් භාවිත වේ.
මේ ආකාර සංකේත රාශියක් මේ පිළිවෙත්වල ගැබ්ව තිබෙන බව අප අවබෝධ කර ගත ගැනීම ඉතා වැදගත් ය.

කුරුසියේ ලකුණ සහ අචාරය
ගෞරවයේ සංකේතවලින් පසු ශ්‍රි කුරුසියේ ලකුණ සටහන් කිරීමෙන් දිව්‍ය පූජාව ආරම්භ වේ. මෙම ශ්‍රී කුරුසියේ ලකුණේ ගැඹුරු තේරුම් කීපයක්ම ඇත. ඒවා නම්,
- අපි දෙවියන් වහන්සේට අයිති දූ දරුවන් බව.
- දෙවියන් වහන්සේ අපව ආරක්ෂා කරන බව.
- ජේසුස් වහන්සේගේ කුරුසියේ දුක් විඳීම මරණය සහ උත්ථානය සිහි කිරීම.
- ශුද්ධවූ ත්‍රිත්වය පිළිබඳව සහ අපගේ ප්‍රසාද ස්නාපනය පිළිබඳව සිහි ගැන්වීම.
එමනිසා ගෞරවාන්විතව ශ්‍රී කුරුසියේ සලකුණ සටහන් කිරීම ඉතා වැදගත් ය.
ඉන් අනතුරුව සිදු කෙරෙන්නෙ රදගුරුතුමා හෝ පියතුමා දේව ජනතාවට ආචාර කිරීමයි. මෙම ආචාරය සාමාන්‍ය සමාජයේ තිබෙන ආචාරවලින් බෙහෙවින්ම වෙනස් වේ. ඒ එම ආචාරයේ දි අපි භාවිත කරන්නේ ශුද්ධ ලියවිල්ලේ වචන වීමයි. විශේෂයෙන්ම ශුද්ධවු පාවුළුතුමන්ගේ ලිපිවලින් ගත් වචන වීමයි. මෙහිදී සාමාන්‍ය ආචාර භාවිත නොකෙරේ. එසේ කිරීම සුදුසු නොවේ.
අප දේව ජනතාවක් වන අතර දෙවියන් වහන්සේගේ තෝරා ගත් ජනතාවකි. එමෙන්ම මෙම දිව්‍ය පුජාව සිද්ධ කරන්නේ ආලේපනය කරන ලද පූජාප්‍රසාදිවරයෙක්ර හෝ රදගුරුවරයෙකි. එම නිසා මේ ජනතාවගේ අනන්‍යතාවය ඉහළය; ශ්‍රේෂ්ඨය. දෙවියන් වහන්සේගේ ජනතාව, දිව්‍යමය පිළිවෙතක් සිදු කරන නිසා, මේ ආචාරය සිද්ධ කෙරෙන්නේ ඉතා විශේෂ ආකාරයකින්. එම ආචාරය නම්,
පූජාප්‍රසාදිතුමා: අප සමිදාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත්, දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත්, ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගිකමත්, ඔබ සියල්ලන් සමග පවතීවා.
සැදැහැවතුන්: ඔබ සමග ද පවතීවා.
හැඳින්වීම
හැඳින්වීම දිව්‍ය පූජාවේ ධාර්මික ප්‍රවේශය ලබා දේ. එමෙන්ම එදිනට ආවේනික සැමරුම වෙත ජනතාව යොමු කරවයි. දේව වන්දනා වසරේ කාලය, දේව වාක්‍ය පිළිවෙතේ තේමාව හා විශේෂ යමක් ඇත්නම් මෙහි දී ඉතා කෙටියෙන් ප්‍රකාශ කරයි.
පශ්චත්තාපික පිළිවෙත (මනස්ථාපනය)
මනස්ථාපනය වීමේ කෙටි පිළිවෙත ක්‍රම තුනකට අනුව සිදු කිරීමේ අවකාශය දිව්‍ය පූජාව තුළ තිබේ.
- පළමු ක්‍රමය මනස්ථාපනයේ යාච්ඤාව උච්චාරණය කිරීමයි. එනම් “සියලූ බලැති දෙවියන් වහන්සේටද” යන යාච්ඤාව යි. එම යාච්ඤාවේදී අපි අපගේ පව්වලට වගකීම පෞද්ගලිකවම සහ සෘජුවම බාර ගනී. එමෙන්ම සාන්තුවරයින්ගේ සමෝස ධර්ම ලාභය පිළිබඳවද අවධානය යොමු කරයි. බොහෝ දුරට දිව්‍ය පූජාවේදී භාවිතා වන්නේ මෙම ක්‍රමයයි.
- දෙවැනි ක්‍රමය නම් ක්‍රිස්තුන් කේන්ද්‍රීය ප්‍රාර්ථනය උච්චාරණය කිරීමයි. මෙහිදී අපගේ අවධානය යොමුවෙන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අභිරහසේ බලය ගැන ය.
- තුන්වෙනි විකල්පය නම් ආසිරි පැන් පිළිවෙතයි. සාමාන්‍යයෙන් මේ ක්‍රමය විශේෂයෙන් භාවිත කෙරෙන්නේ පාස්කු සමයේදී ය. මේ ක්‍රමයේදී අපට සිහිපත් කරන්නේ අපගේ ප්‍රසාද ස්නාපනය තුළින් අප ලබන පව් සමාව ගැන ය.
එම නිසා මේ මනස්ථාපනයේ පිළිවෙත් අර්ථවත්ව සිදුකිරීමට අපි උත්සහ කළ යුතු ය.
*** මෙම ක්‍රම තුනෙන් දෙවන සහ තුන්වන ක්‍රමය ඉතා අල්ප වශයෙන් භාවිතා වේ.
කරුණාව අයැදීම (ස්වාමිනි කරුණා කළ මැනව)
මනස්ථාපනයේ පිළිවෙතේදී ක්‍රිස්තු කේන්ද්‍රීය ප්‍රාර්ථනය භාවිත කළේ නැත්නම් මෙහි දී ක්‍රිස්තු කේන්ද්‍රීය ප්‍රාර්ථනය (ස්වාමිනි, කරුණා කළ මැනව, ක්‍රීස්තුනි, කරුණා කළ මැනව, ස්වාමිනි, කරුණා කළ මැනව) යාච්ඤා කරමින් යළිත් ක්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අභිරහසේ බලයට නතු වේ.
සුරදූත ගීය
මහිම ගීතිකාව ගායනා කරන්නේ ඉරිදා හෝ වෙනත් මංගල්‍ය අවස්ථාවලදී පමණි. එමෙන්ම චතාරිකයේදී සහ ආගමනයේදී මහිම ගීතිකාව භාවිත කරන්නේ නැත.
පියාණන් වහන්සේගේත් පුත්‍රයාණන් වහන්සේගේත් මහිම ප්‍රශංසාව මෙහිදී අපගේ අවධානයට සහ යාච්ඤාවට ලක්වේ. මහිම ගීතිකාවේ අවසානයේ කියැවෙන ක්‍රිස්තුන් වහන්සේ අපගේ එකම ස්වාමියාණන් බව අවධාරණය කෙරෙන කොටස විශේෂයෙන්ම සභා ඉතිහාසයේ ප්‍රාණ පරිත්‍යාගි අවධියට සම්බන්ධ වේ.
මුල් කිතුනු සභාවේ කිතුනුවන්ට රෝම අධිරාජයාට සුවඳ දුම් පූජා කරන්නටත් රෝම දෙවිවරුන්ගේ පිළිමවලට වන්දනා කරන්නටත් රෝම අධිරාජ්‍යය බල කරන ලදී. නමුත් අපගේ මුල් කිතුනුවන් එම පිළිම අසලට ගොස් රෝම අධිරාජ්‍යය ඔවුන්ගේ දෙවියන් නොවේ යැයි නිර්භයව ප්‍රකාශ ලරන ලදී. එලෙසම ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ ස්වාමියාණන් බවත් දෙවියන් වහන්සේ බවත් ඔවුන් නිර්භීතව ප්‍රකාශ කරන ලදී.
මහිම ගීතිකාව අවසානයේ කියවෙන්නේ මෙම වචන වේ.
පොදු යැදුම
දිව්‍ය පූජාව සිදු කරන රදගුරුතුමා හෝ පූජාප්‍රසාදිතුමා මූලාසනයේ සිට උච්චාරණය කරන යාච්ඤා 3 කි. එම යාච්ඤා “මූලාසනයේ යැදුම්” ලෙස හැඳින්වේ.
ඉන් පළමු වැන්න “පොදු යැදුම” යි. එසේ නොමැති නම් “ආරම්භක යැදුම” ලෙස ද එය හැඳින්වේ. එය පොදු යැදුම ලෙස හඳුන්වන්නේ මූලාසනයේ පියතුමා සමස්ත දේව ජනතාවගේම අදහස් එකට එකතු කර ඒවා දෙවියන් වහන්සේට ඔප්පු කරන නිසා ය.
මෙම යැදුම ආරම්භක යැදුම ලෙස හඳුන්වන්නේ එකමුතුවීමේ පිළිවෙත්වලට පසු දිව්‍ය පූජාවේ ප්‍රධාන පළමු කොටස ආරම්භ කරන යාච්ඤාව මෙම යාච්ඤාව නිසා ය. මෙම යාච්ඤා ඉතා ඉපැරණි යාච්ඤා වේ. හතරවන සහ පස්වන ශතවර්ෂයේ සිට මෙම යාච්ඤා දිව්‍ය පූජාවේ දී භාවිතා වේ.
මෙම යාච්ඤාවට නිශ්චිත ව්‍යුහයක් ඇත. යාච්ඤාව ආරම්භ වෙන්නේ යාච්ඤාවට ආරාධනා කිරීමන් ය. ඉන්පසු කෙටි නිශ්ශබ්දතාවයක් පවතී. ඒ නිශ්ශබ්දතාවය ලබා දෙන්නේ ජනතාවට තමන්ගේ අදහස් එකතු කිරීම සඳහායි.
ඉන්පසු පියාණන් වහන්සේව ආමන්ත්‍රණය කර, පියාණන් වහන්සේව වර්ණනා කරයි. අනතුරුව දේවධාර්මිකව එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ ගැළවීමේ ක්‍රියාවලිය කෙටියෙන් විස්තර කර, ඉන්පසු අපගේ ඉල්ලීම් ඉදිරිපත් කරයි. මෙම යාච්ඤාව නිම කෙරෙන්නේ දීර්ඝ ත්‍රිත්ව මැදිහත්කමකින් ය. එම යාච්ඤාව අවසානයේදී ජනතාව “ආමෙන්” කියා තමන්ගේ අනුමැතිය ප්‍රකාශ කරයි.
දේව වාක්‍යය පිළිවෙත
අපගේ දිව්‍ය පූජාවේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ දිව්‍ය පූජාවේ කාර්යභාරයන් ඉෂ්ට කරන තේවාධරයින්, විවිධ පුද්ගලයින් හට අනන්‍යතාවයක් ලබා දීමයි. ඒ අනුව දිව්‍ය පූජාව සිදුකරන ප්‍රධාන මූලාසනයේ පියතුමා, තේවාචාර්යතුමා, දේව වාක්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දෙන පුද්ගලයන්, පූජාසහයක දරුවන්, ගායනා මෙහෙයවන පුද්ගලයන්, පිළිතුරු ගීතිකාව සජ්ජායනය කරන පුද්ගලයන්, විශ්වාසිකයින්ගේ යාච්ඤා ප්‍රකාශ කරන පුද්ගලයන්, පිළිවෙත් සහායකයින් වැනි බොහෝ තේවාධරයින් අපේ දිව්‍ය පූජාවට සම්බන්ධ වේ.
මේ අතර දේව වාක්‍ය ප්‍රකාශ කරන්නන්ට හිමි වෙන්නේ ඉතා වැදගත් ස්ථානයක්. එය දිවැසිවර වගකීමක් ලෙස සැලකේ. එය සුළුවෙන් සලකා නොකළ යුතු ය.
ජනවන්දනා ව්‍යවස්ථාවේ අංක 29 සහ 30 කොටස් වල සඳහන් පරිදි දේව වාක්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන් අනිවාර්යයෙන්ම තෝරා, පුහුණු කර, පත්කළ අය විය යුතු ය. ඔවුන්ගේ කාර්යභාර්ය ඔවුන්ට නිසි ලෙස අවබෝධ කර දිය යුතු ය. එසේ නොමැති නම් අපි මෙම දේව වචනයට සිදු කරන්නේ විශාල අසාධාරණයකි, අගෞරවයකි. සැදැහැවත් සංඝයට කරන්නේ විශාල අසාධාරණයකි.

දිව්‍ය පූජාවේ වගකීම තේවාකාර්යභාරයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම් මූලාසනයේ කාර්යයන් සහ තේවාධර කාර්යයන් ලෙසයි. මූලාසනයේ කාර්යයන් යනු මූලාසනාරූඩ රදගුරුතුමන් හෝ පියතුමන් විසින් පමණක් ඉෂ්ට කෙරෙන කාර්යයන් ය. උදාහරණයක් ලෙස මූලාසනයේ යැදුම්, ස්තෝත්‍ර යාගික යැදුම වැනි දෑ ගත හැකි ය.
අනෙක තේවාධර වගකීම් ය. දේව වාක්‍ය පිළිවෙත මුළුමනින්ම වාගේ තේවාධර වගකීමකි. ඔබ හොඳින් නිරීක්ෂණය කරනවා නම් දේව වාක්‍ය පිළිවෙත තුළදී වැඩිපුර කාර්ය භාර්යයන් ඉෂ්ඨ කරන්නේ පියතුමන් නොව තේවාධරයින් ය. විශේෂයෙන්ම දේව වාක්‍ය ප්‍රකාශ කරන්නන් සහ ගායනා මෙහෙයවන්නන් ය.
තේවාධරයන්ගේ වගකීම්
- දේව වාක්‍ය ප්‍රකාශ කරන්නෙක් ඒ සඳහා සුදානම් විය යුතුය. ඔවුන්ව අයව පුහුණු කළ යුතුය.
- දේව වාක්‍ය ප්‍රකාශ කරන අයට පැහැදිළි කටහඬක් තිබිය යුතුය.
- දේව වාක්‍ය ප්‍රකාශ කරන අයට ඒ සඳහා වෙනමම ජනවන්දනාමය ඇඳුමක් තිබිය යුතුයි.
- දේව වාක්‍ය ප්‍රකාශ කරන අයට දේව වාක්‍ය ප්‍රකාශනය සම්බන්ධයෙන්, දේව වචනය සම්බන්ධයෙන් ශුද්ධවූ බයිබලය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් තිබිය යුතු ය.
- දේව වාක්‍ය ප්‍රකාශ කරන අයට දිව්‍ය පූජාවේ ජනවන්දනාත්මක ප්‍රතිපත්ති සම්බන්ධයෙන්, ඉතිහාසය සම්බන්ධයෙන් සහ දේව වාක්‍ය සංග්‍රහය සංවිධානය වී තිබෙන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය.
බොහෝවිට වර්තමානයේ දේව වාක්‍ය ප්‍රකාශ කරන්නන්ට මේ පිළිබඳව අවබෝධයක් නොමැත. ඔවුන් අවුරුදු ගණනක් මුළුල්ලේ දේව වාක්‍ය ප්‍රකාශ කලද බොහෝ දුරට එහි ඵලදායි බවක් නැත්තේ මෙම අවබෝධය නොමැති නිසා ය.
එමන්ම දේව වාක්‍ය ප්‍රකාශ කිරීම වැඩිහිටි වගකීමකි. සාමාන්‍ය ප්‍රතිපත්තිය වන්නේ අභිවෘද්ධි ආලේපය ලැබුවායින් පසුව දේව වාක්‍ය ප්‍රකාශ කිරීම සඳහා සැදැහැවත් අය පුහුණු කිරීමයි. ඒ අනුව කුඩා ළමුන් මේ සඳහා යොදවා ගැනීම නුසුදුසු බව අපි අමතක නොකළ යුතු ය. (නමුත් සමහර අවස්තාවලදී කුඩා දරුවන් මේ සඳහා යොදා ගැනේ – උදා: දහම් පාසල් දිව්‍ය පූජා සඳහා)
දේව වාක්‍ය ප්‍රකාශ කරන අය ඉතා විනීතව සංයමයෙන් තමන්ගේ ගැඹුරු දිවැසිවර වගකීම ඉෂ්ඨ කරන්නට සැදී පැහැදී සිටිය යුතු ය. එමඟින් බොහෝදුරට දිව්‍ය පූජාවේ ඵලදායිතාවය අත්පත් කරගත හැකි ය.
දේව වාක්‍යය පිළිවෙත හා සබැඳි ඉතිහාසය
දේව වාක්‍ය පිළිවෙතේ කොටස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වෙන්කළ හැකි ය. ඉන් පළමු කොටස පළමු දේව වාක්‍ය ප්‍රකාශනයේ සිට දේශනය දක්වා කොටස ද, දෙවන කොටස විශ්වාස ලක්ෂණය සහ විශ්වාසිකයින්ගේ යාච්ඤාව දක්වා කොටස ද වේ.
ජුදා සිනගෝගවල දේව වාක්‍ය පිළිවෙත සිදුකෙරුණු ආකාරයට සමාන්තර ආකාරයකින් අප ද කිතුනු දේව වාක්‍ය පිළිවෙත සිදු කරනු ලබයි. පුදා සිනගෝගවල බොහෝදුරට සිදු වන්නේ මුලින්ම ව්‍යවස්ථාවලියෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමයි. එනම් පංච පුස්තකයෙන් දේව ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමයි. ඉන් අනතුරුව ගීතාවලියෙන් ගීතිකාවක් සජ්ජායනය කරන අතර ඉන්පසුව දිවැසාවලියෙන් දේව ප්‍රකාශනයක් ඉදිරිපත් කරනු ලබයි. දිවැසාවලියේ ප්‍රකාශනයෙන් පසු දේශනාවත් ඉන් අනතුරුව විශ්වාසකයින්ගේ යාච්ඤාවත් ඔසුන් සිදු කරනු ලබයි.
කිතුනු දේව වාක්‍ය පිළිවෙත සංවිධානය වී ඇත්තේ ද මෙම ආකෘතිය ඔස්සේ ය. නමුත් වෙනස්කම් කීපයක් ඇත. එම වෙනස්කම් පහලින් දක්වා ඇත.
පළමු දේව ප්‍රකාශනය
අපගේ පළමු කියවීම පංච පුස්තකයෙන් පමණක් නොව බොහෝදුරට සමස්ත පුරාණ ගිවිසුමෙන් තෝරා ගැනේ. නමුත් පාස්කු කාලයේදී පළමු කියවීම ගැනෙන්නේ නව ගිවිසුමේ ක්‍රියා පොතනි.
පළමු දේව වාක්‍ය ප්‍රකාශනයන් දෙවියන් වහන්සේ අප වෙත කරන ආරාධනයක් වැනි යි. හැම විටම මුල් පියවර ගන්නේ උන්වහන්සේය.
පිළිතුරු ගීය
පිළිතුරු ගීතිකාව ඉතා වැදගත් වේ. පිළිතුරු ගීය ලෙස ගීතාවලියේ ගීතිකාව සජ්ජායනය කිරීම තවමත් පවතින සිරිතකි. පිළිතුරු ගීතිකාව දෙවියන් වහන්සේගේ ආරාධනයට අපගේ ප්‍රතිචාරය වේ. ඒ වෙනුවට මෙනෙහි කිරීමේ ගීතිකා ගායනා කිරීම කිසිසේත්ම අනුමත නොකෙරේ.
පිළිතුරු ගීතිකාව ශුද්ධවු බයිබලයේ ගීතාවලියෙන් උපුටාගෙන තිබෙන නිසා, පුරාණ ගිවිසුමේදී දේව ජනතාව දෙවියන් වහන්සේට ප්‍රතිචාර දැක්වූ ආකාරයටම අපත් ප්‍රතිචාර දැක්විය යුතු ය. දෙවියන් වහන්සේගේ වචනයට උන්වහන්සේගේ වචනයෙන්ම ප්‍රතිචාර දක්වන්නට හැකි ය. දේව වාක්‍ය පිළිවෙතේ තේමාවට අදාළව එසේ කිරීමට හැකි ය.
දෙවන දේව ප්‍රකාශනය
දෙවන කියවීම කිතුනු අපට විශේෂිත වේ. එමගින් පළමු කිතුනු සංඝවල ජීවිතය කෙසේ ගතවුණාදැයි අපි විමර්ශනය කරනු ලබනවා. මෙනෙහි කරනවා.
සාධුකාරය
දිව්‍ය පූජාවේ නිල උපදෙස් මාලාවට අනුව සාධුකාරය අනිවාර්යයෙන්ම ගායනා කළ යුතුය. සාදුකාරය ගායනා නොකරනවා නම් අත්හැර දැමීම වඩා සුදුසු බව උපදෙස් මාලාවේ නිර්දේශ කර ඇත. එම නිසා ආලේලුයියා ගායනා කරන වකවානුවල ඉතා ජයග්‍රාහිව එලෙස කිරීම ඉතා වැදගත් වේ. චතාරිකයේදී අලේලුයියා වචනය ගායනා නොකළ ද ක්‍රිස්තුන් වහන්සේව ප්‍රශංසා කරන වෙනත් ආකාරයකින් මෙම සාධුකාරය ගායනා කිරීමත් ඉතා වැදගත් වේ.
සාධුකාරය සුවිශේෂය ප්‍රකාශ කිරීමට පැමිණෙන ජේසුස් වහන්සේව පිළිගැනෙන ජයග්‍රාහි ගීතිකාවක් වැනි ය. සාමාන්‍යයෙන් තේවාචාරයවරයා පූජාසනය මත තබා තිබෙන ශ්‍රි සුභාරංචි පාඨ සංග්‍රහය ගෞරවාන්විතව, ගාම්භීරව දේව වාක්‍ය ප්‍රකාශ කරන ආසනය වෙත පෙරහැරෙන් රැගෙන එන්නේ සාධුකාරය ගායනා කරන අවස්ථාවේ දී ය.
සුභාරංචි ප්‍රකාෂය
ජුදා සම්ප්‍රදායේ දිවැසාවලිය වෙනුවට අප සිදු කරනු ලබන්නේ ශුද්ධ වූ සුවිශේෂය ප්‍රකාශ කිරීමයි. අපගේ දිවැසිවරයාණන් වහන්සේ සහ මෙසියස් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. උන්වහන්සේගේ වචනයට සවන් දීම සම්පූරණ වූ දිවසාවලිය ලෙස සැලකේ.
මේ සඳහා මාර්ක්, මතෙව්, ලූක් සහ ජොහන් යන සුවිශේෂ 4 භාවිතා කරන අතර ඉන් මාර්ක්, මතෙව් සහ ලූක් යන සුවිශේෂ වසර තුනක චක්‍රයක් ආකාරයට කියවනු ලැබේ. එනම්,
- පළමු වසරේ මතෙව් සුවිශේෂය ද
- දෙවන වසරේ මාර්ක් සුවිශේෂය ද
- තුන්වන වසරේ ලූක් සුවිශේෂය ද ආදී ලෙස ය.
ජොහන් සුවිශේෂය වසර තුනේදී ම විශේෂිත වෙන් කරන ලද ඉරිදාවල් වලදී කියවනු ලබයි. එම ඉදිරාවල් නම්,
- චතාරික සමයේ තුන්වන ඉරුදින – සමාරීය ස්ත්‍රිය (ජොහන් 4)
- චතාරික සමයේ හතරවන ඉරුදින – ජාත්‍යන්ධයෙකු සුවපත් කිරීම (ජොහන් 9)
- චතාරික සමයේ පස්වන ඉරුදින – ලාසරස්ගේ මරණය (ජොහන් 11)
ඉහත කියවීම් පළමු වසරේදී අනිවාර්යය වන අතර දෙවන සහ තුන්වන වසරවලදී සාමාන්‍ය කියවීම් භාවිතා කල හැකි ය. මීට අමතර පහත දින වලදී ද අනිවාර්යයෙන් ජොහන් සුවිශේෂය භාවිතා වේ,
- ගොබ් ඉරිදා
- මහා සිකුරාදා
- මහා බ්‍රහස්පතින්දා
- පාස්කු ඉරිදා
- පාස්කු සමයේ දෙවන ඉරුදින
- පාස්කු සමයේ හතරවන ඉරුදින
- පෙන්තකොස්ත ඉරුදින
ශ්‍රී සුභාරංචි ප්‍රකාශනය හෙවත් ශුද්ධවු සුවිශේෂ ප්‍රකාශනය දේව වාක්‍ය පිළිවෙතේ උච්චතම අවස්ථාව ලෙස සැලකේ. එහි දී ක්‍රිස්තුන් වහන්සේගේ වචනයට අප සවන් දෙනු ලැබේ.
පළමු සහ දෙවන ප්‍රකාශනයේදි මෙන් නොව නැඟිට උන්වහන්සේට ගරු කරනු ලැබේ. උන්වහන්සේගේ පාස්කු ජයග්‍රහණය අත්විඳි ජනතාවක් ලෙස අපි ජයග්‍රාහිව නැඟී සිටිය යුතු ය. එමෙන්ම ධර්මදූත කාර්ය සඳහා පිටත් වෙන්නට සූදානම් ජනතාවක් ලෙස නැඟී සිටිය යුතු ය.
ශ්‍රී සුභාරංචි ප්‍රකාශනය සිදු කිරීමට පෙර සුවඳ දුම් පූජාව සිදු කරනු ලබයි. සුවිශේෂය ප්‍රකාශ කරනු ලබන්නේ විශේෂ තේවාධරයෙක් විසිනි. විශේෂ ජනවන්දනා පොතක් මේ සඳහා භාවිත කරයි. ශ්‍රී සුභාරංචි ප්‍රකාශ කරනු ලබන තේවාචාර්යතුමා සුවිශේෂය ප්‍රකාශ කරීමට පෙර විශේෂ ආශීර්වාදයක් ලබා ගනී.

සුවිශේෂය ප්‍රකාශ කිරීමට පෙර සහ පසුව විශේෂ යාච්ඤා ඇත. මෙවැනි කාරණා රාශියක් නිසා සුව්ශේෂය, දේව වාක්‍ය පිළිවෙතේ අනෙකුත් ප්‍රකාශන වලට වඩා ඉහළින් ඇති ඉතා උච්චතම අවස්ථාව ලෙස පිළිගැනේ.
දේශනය
දිව්‍ය පූජාවේ දේශනය සිද්ධ කරන්නේ රදගුරුවරය, පූජකවරය හෝ තේවාචාර්යවරය ලද අය පමණි. ගිහි අයට දිව්‍ය පුජාවේදී, ජනවන්දනාවේදී දේශනා කරන්නට අවසර ලබන්නේ නැත.
දේශනාවෙන් දේව වචනය තෝරා බේරා දීම, ගැඹුරින් මෙනෙහි කිරීම සිදු කරයි. පියතුමා හෝ රදගුරුතුමා දෙවා වාක්‍ය ජනතාවට පැහැදිලි කරමින් ක්‍රිස්තු ජීවිතයක් අප තුළ ජනිත කර ගැනීමට අවශ්‍ය ගුණාංග දේශනාව තුලින් අපට පෙන්වා දේ.
දේශනාවේදී සිද්ධ වන්නට අවශ්‍ය වන්නේ ප්‍රකාශ කළ දේව වචනය පහදා දීම සහ අපගේ ජීවිතවලට අභියෝගයක් ලෙස එය ඉදිරිපත් කිරීම යි. එමනිසා සාමාන්‍යයෙන් ආගමික මාතෘකා හැර වෙනත් විස්තර කිරීම් මෙහිදී නොගැලපේ. ප්‍රකාශිත දේව වචනය පැහැදිළි කිරීම සහ එය ජීවිතයට අදාළ කර ගැනීම මෙනෙහි කිරීම මෙහි දී ඉතා වැදගත්.

විශ්වාස ලක්ෂණය
විශ්වාස ලක්ෂණය අපි එකම සැදැහැවත් සංඝයක් ලෙස අපගේ විශ්වාසය අලුත්කරගන්නා අවස්ථාවයි. කවුරු හෝ ඇසුවහොත් කතෝලිකයින් හැටියට ඔබ අදහන්නේ කුමක් දැයි කියා අපට අපගේ විශ්වාස ලක්ෂණය ඉදිරිපත් කරන්නට පුළුවන්. එම නිසා දේව වචනය මෙනෙහි කිරීමෙන් පසු, සෑම ඉරිදාවකම, ගාම්භීර සෑම ජනවන්දනා පිළිවෙතකම අපි අපගේ විශ්වාසය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් එය අලුත් කර ගන්නවා. ඒ තුළ අපි තහවුරු වෙනවා.
විශ්වාසිකයින්ගේ යැදුම්
විශ්වාසිකයින්ගේ යාච්ඥාව යන වචනය අපි මුලින්ම අවබෝධ කරගන්නට අවශ්‍ය වේ. එම යැදුමට විශ්වාසිකයින්ගේ යාච්ඤාව ලෙස හඳුන්වන්නේ එය යාච්ඤා කරන්නේ ප්‍රසාද ස්නාපනය ලද කතෝලිකයින් පමණක් නිසයි. එම නිසා ප්‍රසාද ස්තාපනය නොලද අනෙක් අයට මේ යාච්ඤාවට සහභාගිවීමට අවසර නැත. විශ්වාසිකයින්ගේ යාච්ඤාව ගායනය කිරීම අවශ්‍ය නොවේ.
කාටත් පැහැදිළි ආකාරයට ප්‍රකාශයට පත් කිරීම ඉතාමත්ම ප්‍රමාණවත් වේ. එමන්ම විශ්වාසිකයින්ගේ යාච්ඤාවේදී අපි ආමන්ත්‍රණය කරන්නේ දෙවිපියාණන් වහන්සේට පමණි. සරලව, පැහැදිළිව, සෘජුවම අපගේ අදහස් අවශ්‍යතාවයන් ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත් වේ.
අපගේ ඉල්ලීම් වලට පමණක් නොව අනික් අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ද අප මේ අවස්ථාවේදී යාච්ඤා කරනු ලබයි.
පුදසුන සුදානම් කිරීමේ පිළිවෙත
පඬුරු පෙරහැර
පූජාසනය සූදානම් කිරීමේ පිළිවෙත ආරම්භ වන්නේ පඬුරු පෙරහරෙන් ය. පඬුරු පෙරහැරට සම්බන්ධවීමට අවසර තියෙන්නේ ප්‍රසාද සේනාපනය ලද අයට පමණි. මෙය සභා ඉතිහාසයේ මුල් අවධියේ සිටම පැවතුනු දෙයකි. එබැවින් කිසිම අවස්තාවක දී අන්‍යාගමිකයින් මේ සඳහා සහභාගි කරවීම කිසිසේත්ම අනුමත නොකෙරේ.
පඬුරු පෙරහැරක ප්‍රධාන පරමාර්ථ තුනකි. එනම්,
- මුල්ම පරමාර්ථය නම් පූප සහ මිදිරස ගෙන ඒමයි. පූප සහ මිදිරස ගෙන නොඑන්නේ නම් එය පඬුරු පෙරහැරක් වන්නේ නැත.
- දෙවනුව වැදගත් වෙන්නේ නැති බැරි අසරණ දුගී දුප්පත් අය වෙනුවෙන් පඬුරු රැගෙන ඒමයි.
- තුන්වෙනුව ආත්මික එඬේරුන්ගේ නඩත්තුව සඳහා පඬුරු ප්‍රදානය කිරීමයි.
බොහෝ විට අප ගෙනෙන පඬුරු නැති බැරි අයට දීමට හැකි පඬුරු නොවේ. සමහර පඬුරු සංකේත පමණි. එසේ සංකේතාත්මක පඬුරු ගෙන යාම ඉතා ඵල රහිතය. සංකේත පඬුරු නැති බැරි අසරණ අය අතරේ බෙදා දිය නොහැකි ය.
එමෙන්ම ගෙනෙන පඬුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තවත් වැරදි ක්‍රියාවකි. අපගේ සුවිශේෂයේ ප්‍රතිපත්තිය වන්නේ දකුණත කරන දෙය වමතනොදනීවා යන්නයි. එම නිසා ගෙනෙන පඬුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම කිසිසේත්ම අවශ්‍ය නොවේ.
මඟුල් පූජාවල පඬුරු පෙරහැරවල්වලදි ඉතා කුඩා දරුවන් යොදා ගැනීම කිසිසේත්ම අනුමත නොකෙරේ. සාමාන්‍යයෙන් පළමුවර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන තෙක් ළමුන් පඬුරු පෙරහැරේ යාම නොකළ යුතු ය.
පඬුරු පෙරහැරේ අප ගෙන යන පූප සහ මිදිරස හැරුණු කොට වෙනත් කිසිම දෙයක් පූජාසනය මතතබන්නේ නැත. පූජාසනයෙන් සංකේතවත් වන්නේ ක්‍රිස්තුන් වහන්සේ යි. පූප සහ මිදිරස සුදානම් කිරීමේදී රදගුරුතුමන් හෝ පියතුමන් භාවිත කරන යාච්ඤා ඉතා ඉපැරණි ඒවා ය.
ජුදා යැදුම් සම්ප්‍රදායේ එන ප්‍රශංසා යැදුම් හැටියටයි මේවා සැළකේ. ඒවා “බෙරකොත්” ලෙස හැඳින්වේ. එම නිසා පඬුරු පෙරහැරෙන් අනතුරුව හැකි අවස්ථාවලදී ජනතාවට මෙම යැදුම් දෙකට සහභාගි වන්නට අවස්ථාව සලසා දීමත් වැදගත් වේ.
මිදියුෂ කුසලානය සූදානම් කිරීමේදී පියතුමා වතුර බින්දුවක් මේ මිදියුෂට එකතු කරයි. මෙහි විශේෂ අර්ථයක් තිබේ. එහි අර්ථය නම් මිදියුෂින් සංකේතවත් වන දෙවියන් වහන්සේගේත්, ජේසුස් වහන්සේගේත් දිව්‍යමය බවට, දුර්වල අපේ මනුෂ්‍යත්වය මුසුවීම යි. එනම් දෙවියන් වහන්සේගේත් ජේසුස් වහන්සේගේත් මහා දිව්‍යමය බවට දුර්වල අපගේ මනුෂත්වය මිශ්‍ර කිරීමයි.
එමෙන්ම පියතුමා රදගුරුතුමා පෙරහැර අවසානයේදී තමන්ගේ දෑත් සෝදා ගනු ලබනවා. මෙයින් අර්ථවත් වන්නේ දිව්‍ය පූජාව සිදු කරන රදගුරුතුමා හෝ පියතුමා හෝ පෞද්ගලිකවම මේ අති සුවිශුද්ධ යාගය සිද්ධ කරන්නට සූදානම් වන බවයි.

පඬුරු මත යැදුම
දිව්‍ය පූජාවේ ඉතාමත් වැදගත් ශුද්ධවන්තම යාච්ඤාව වන ස්තෝත්‍ර යාගික යැදුම පූජාසනය සූදානම් කිරීමෙන් පසුව ආරම්භ වේ. මෙම යාච්ඤාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් මෙන්ම ඉතා ගැඹුරු බයිබලීය දේවධාර්මික පදනමක් ද ඇත. එමෙන්ම මෙම යාච්ඤාවට ඉතා විශේෂ වූ ව්‍යුහයක් ද ඇත. මෙම යාච්ඤාවේ ඉතිහාසය පාස්කු මංගල භෝජනය දක්වා දිවේ.
ජුදා මිනිසුන්ගේ යාච්ඤා සම්ප්‍රදාය හැදෑරීමේ දී ජුදා මිනිස්සු බෙරකොත් යන යාච්ඤා ක්‍රමය ලෙස ප්‍රශංසා යාච්ඤා ක්‍රමය භාවිත කළ බව පෙනී යයි. ජුදා මිනිසුන්ගේ බොදුනට පෙර සහ බොදුනෙන් පසු යැදුම් සම්ප්‍රදායක් ගැන අපට බයිබලයෙන් ම කරුණු හදාරන්නට හැකි වේ.
මේ බොදුනට පසු යැදුම සහ බොදුනට පෙර යැදුම්වලට වෙන වෙනම පරමාර්ථ තිබිණි. මෙම යැදුම්වලදී විශේෂයෙන්ම යාච්ඤා කළේ පේරුසලම පිළිබඳව ය. තවද මෙම යැදුම්වලදී පොළොවේ සරුසාර බව වෙනුවෙනුත්, මනුෂ්‍යයාගේ විමුක්තිය වෙනුවෙනුත් යාච්ඤා කරන ලදී.
දෙවියන් වහන්සේ මනුෂ්‍යා සහ සොභාදහම වෙනුවෙන් කළ දේවල් නිසා දෙවියන් වහන්සේට මිනිස්සු පුරාණයේ සිට ප්‍රශංසා කල සේක.
ස්තෝත්‍ර යාගික පිළිවෙත
ආරම්භක සංවාදය සහ ප්‍රශංසා පෙරවදන
මෙහි දී මුලින්ම ප්‍රශංසා පෙරවදන උච්චාරණය කරනු ලැබේ. එම පෙර වදන ආරම්භ කරනු ලබන්නේ සංවාදයකින් ආකාරයෙනි. ඉන් අනතුරුව එන කොටසේදි එම ප්‍රශංසාවට හේතුවන කාරණා ඉදිරිපත් කරනු ලැබේ. එම කොටස අවසන් වෙන්නේ ‘සුවිශුද්ධය’ යාච්ඥාවට අවශ්‍ය කරන පෙරවදන සපයමින්ය. එම නිසා එම කොටස පූර්ව සුවිශුද්ධය ප්‍රකාශනය ලෙසද හැඳින්වේ.
සුවිශුද්ධය
සුවිශුද්ධය යන ප්‍රශංසාව ගායනා කිරීම ඉතාමත් උචිත වේ. එම ගායනයෙන් පසු දෙවියන් වහන්සේගේ සුවිශුද්ධභාවය අපි නැවතත් තහවුරු කරන්නේ අපර සුවිශුද්ධ වගන්තියෙන් ය.
පළමු ශුද්ධාත්ම ආරාධනාව
ඉන් අණතුරුව පළමු ශුද්ධාත්ම ආරාධනය නමැති විශේෂ අවස්ථාව පැමිණේ. මෙහි දී පියතුමා තමන්ගේ දෑත් පූප පළඟානාව සහ මිදියුෂ කුසලාන මත විහිදා දක්වනු ලැබේ. ඉන් සංකේතවත් කෙරෙන්නේ පූප ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය බවටත්, මිදියුෂ ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී රුධීරය බවටත් හරවන මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේට ආරාධනා කිරීමයි.
අන්තිම රාත්‍රි භෝජනය අවස්ථාවේදී ජේසුස් වහන්සේ ප්‍රකාශයට පත් කළ ඒ ශ්‍රී වදන් කැප කිරීමේ වදන් ලෙස ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කරනවා. ඉතා ගෞරවාන්විතව ගාම්භීරව අපි මේ අවස්ථාවේදී ඒ අති උතුම් මොහොත සිහියට නගා ගන්නවා. යළි ජීවත් කරවනවා.
විශ්වාසයේ අභිරහස ප්‍රකාශ කිරීම
කැප කිරීමේ ශ්‍රී වදන්වලට පසු ඉතාම උතුම් ප්‍රකාශයක් අපි ගායනයෙන් මේ අවස්ථාවේදි ප්‍රසිද්ධියේ හඬනගා ඉදිරිපත් කරනවා. “අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු” ලෙස මෙහි දී පියතුමා පවසනු ලබයි. කුමක් ද මේ ප්‍රකාශ කරන අභිරහස? ඒ අභිරහස නම් පාස්කු අභිරහසයි.
ක්‍රිස්තුන් වහන්සේ අප වෙනුවෙන් දුක් විද කුරුසියේ ශ්‍රී මරණයට පත්වී උත්ථාන වූ බවත්, නැවත වඩින බවත් අපි ප්‍රකාශ කරන ගාම්භීර මොහොත මෙය වේ. එය ගායනා කිරීම ඉතාමත් ම වැදගත්. ඒ වෙනුවට වෙනත් ගීතිකා ඛණ්ඩ යොදාගැනීම කිසිසේත්ම අනුමත කරන්නේ නොකෙරේ.
පරිස්මරණය, ඔප්පු කිරීම සහ දෙවන ශුද්ධාත්ම ආරාධනාව
ස්තෝත්‍ර යාගික යැදුමේ දෙවන කොටසේදී අපට ව්‍යුහයක් හැටියට කොටස් රාශියක් මුණ ගැසේ. ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය, උත්ථානය පරිස්මරණය කිරීම නැතහොත් යළි ආවර්ජනය කිරීම මුලින්ම සිදු වේ.
ඔප්පු කිරීමේ කොටසට අපි සම්ප්‍රාප්ත වෙන්නේ ඉන් පසුවය. ඔප්පු කිරීමෙන් පසු දෙවන ශුද්ධාත්ම ආරාධනය කොටස ය. එනම් මෙහි දී අප සියළු දෙනාවම ක්‍රිස්තුන් වහන්සේගේ ශුද්ධාත්මික ක්‍රිස්තු දේහය බවට හරවන ලෙසට අපි ශුද්ධාත්මයාණන් වහන්සේට ආරාධනා කරනු ලබයි.
පළමු ශුද්ධාත්ම ආරාධනයෙන් අපි ශුද්ධාත්මයාණන් වහන්සේට ආරාධනා කරනු ලබන්නේ පූප සහ මිදිරස ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය බවට පත් කරන්නට ය. නමුත් දැන් ආරාධනා කරන්නේ අප සියලු දෙනාවම ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය බවට හරවන ලෙසට ය.
ඒ අනුව ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ලබා ගැනීම යනු පූප සහ මිදිරස ලබා ගැනිම පමණක් නොව සැදැහැවත් සංඝයට සාංඝික වීමක් බව මෙහි දී අපට සිහිපත් කෙරේ.
ඉල්ලීම්
ඉන් අනතුරුව අපි සන්තුවරයින්ගේ සමෝස ධර්මලාභය වෙනුවෙන් යදිනු ලබයි. එනම් ජීවත්ව සිටින පුද්ගලයන්, සභා නායකයින් එමෙන්ම මෙලොවින් වියෝ වී ස්වර්ග රාජ්‍යයේ සිටින පුද්ගලයන්, ස්වර්ග රාජ්‍යයට යන්නට බලාපොරොත්තුවෙන් පිරිසිදුවෙමින් ඉන්නාවු ආත්මයින් මේ සියලු දෙනා වෙනුවෙන්ම අපි යාච්ඤා කරනු ලබනවා.
ස්තෝත්‍ර යාගික යැදුම අවසානයේ සෑම දිව්‍ය පූජාවකදීම ස්වර්ග සම්පත්තිය ගැන මෙනෙහි කරනු ලබයි. දේවමාතාවන් වහන්සේ, අපෝස්තුළුවරු, ප්‍රාණ පරිත්‍යාගින්, එමෙන්ම විශේෂයෙන් අපි සිහිපත් කළ යුතු ශුද්ධවන්තයින් මේ සෑම දෙනාගේම යාච්ඥා මැදිහත්කම තුළ කෙදිනක හෝ අපි සියලු දෙනාම විඳින්නට බලාපොරොත්තු වන ස්වර්ග සම්පත්තිය සිහිපත් කරමින් ස්තෝත්‍ර යාගික යැදුම නිමාවට පත් කරනු ලැබේ.
මේ සියල්ල අවසානයේදී ක්‍රිස්තුන් වහන්සේ මගින් ක්‍රිස්තුන් වහන්සේ සමග ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි, ශුද්ධත්මයාණන් වහන්සේගේ සහභාගිත්වය තුළ දෙව්පියාණන් වහන්සේට මහා සාධුකාරයක් ඔප්පු කරනු ලැබේ. ජනතාව ‘ආමෙන්’ කියා ගාම්භීරව ගායනයෙන් මහා සාධුකාරයක් දෙමින් මේ මහා ප්‍රශංසාව අනුමත කරනු ලැබේ.
මෙම මහා සාධුකාරය ගායනා කරන්නේ මූලාසනයේ පියතුමා සහ හවුල් දිව්‍ය පුජාවට සහභාගිවන පියතුමන් පමණකි. සැදැහැවත් සංඝය මීට සහභාගි නොවේ. සැදැහැවත් සංඝයේ යුතුකම වෙන්නේ ‘ආමෙන්’ කියා මෙම මහා ප්‍රශංසාව අනුමත කිරීමයි.
භෝජනයේ පිළිවෙත
ස්වර්ගයේ වැඩ සිටින යැදුම
ස්තෝත්‍ර යාගික යැදුමට පසු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගැනීමටයි අපි සූදානම් වේ. එය ආරම්භ කෙරෙන්නෙ ස්වාමීන් වහන්සේ අපට ඉගැන්වූ යාච්ඤාවෙන්ය. “ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි” කියා අප එක පවුලක් ලෙස එකතු වී යාච්ඤා කරනු ලබයි. එම නිසා මෙම යාච්ඤාව නුහුරු තාලවලට ගායනා කිරීමට වඩා සියල්ලන්ට එකට එකතුවෙලා යාච්ඤා කිරීමට අවස්ථාව ලබාදීම ඉතා වැදගත් වේ.

සාම පැතුම
ඉන්පසු අපට හමු වන්නේ සාම පිළිවෙතයි. ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේගේ උත්ථානයෙන් පසු ශ්‍රාවකයින්ට දර්ශනය වී උන්වහන්සේගේ උත්ථානයේ සදාතනික සාමය ප්‍රාර්ථනා කල සේක. අපිද එකිනෙකාට ප්‍රාර්ථනා කරන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු ප්‍රාර්ථනා කරන සාමය නොව, ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානයේ බල මහිමයෙන් පරිසමාප්ත වුණු සාමයයි.

පූප කැඩීම
ඉන් අනතුරුව සිද්ධවෙන්නේ පූප කැඩීමයි. පූප කැඩීමෙන් අපි සංකේතවත් කරන්නෙ ජේසුස් වහන්සේ තමන් වහන්සේව කඩා බෙදා දුන්න බවයි. අපි උන්වහන්සේගේ එකම ශරීරයට සහභාගි වන, සාංඝික වන, එකම බෞතිස්මය ලද එකම විශ්වාස ලක්ෂණයක් ප්‍රකාශ කරන ජනතාවක් බවයි.
එකම පූපයට සාංඝික වීමෙන් අපගේ තිබෙන එකමුතුබව පිළිබිඹු කරයි. ක්‍රිස්තුන් වහන්සේ තුළ එකමුතු වීම මෙහිදී විශේෂාකාරයකින් සංකේතවත් කරනු ලැබේ. අපි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නේ ඉතාමත්ම ගෞරවයකින් සහ ගැඹුරු විශ්වාසයකිනි. එම නිසා අපි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නට දණ ගසද්දී පියතුමා අපට ශ්‍රී පූපය පෙන්වා “ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය” කිය පවසන විට අපි “ආමෙන්‍්” කියා පිළිතුරු දී ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ලබා ගන්නේ එම නිසා ය.
ආමෙන්‍් යන්නෙහි අර්ථය එය එසේම වේ යන්නයි. එනම් අපි එය විශ්වාස කරනවා යන්නයි. එනම් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රි ශරීරයට ශුද්ධාත්මික දේහයට අපි සාංඝික වෙන්නට එකඟ වන බවයි.

පූප මිදිරස බඳුන් පිරිසිඳු කිරීම
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමෙන් අනතුරුව පියතුමා ශ්‍රී පූප සහ මිදියුෂ බහාලූ ඒ බඳුන් පිරිසුදු කරනු ලබයි. මේ වෙලාවේදී නිවේදන ඉදිරිපත් කිරීම සුදුසු නොවේ. නිවේදන ඉදිරිපත් කිරීම සිදුවිය යුත්තේ බොදුනින් පසු යැදුමට පසුවයි.
ධර්මදූත කාර්ය සඳහා පිටත් කර යැවීමේ පිළිවෙත
අවසාන ආශීර්වාදය
ආශිර්වාදයෙන් අපව පිටත්කර යවන්නේ ධර්මදූත ක්‍රියාවලියකට යි. දෙවියන් වහන්සේගේ වචනය ඇසූ අපි, ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් පෝෂණය වුණු අපි, ශුද්ධාත්මික ක්‍රිස්තු දේහයට සාංඝික වුණු අපි දැන් පිටත්ව යා යුත්තේ ක්‍රිස්තුන් වහන්සේගේ ආදරයේ පණිවුඩය අපේ එදිනෙදා ජීවිත තුළ පීවත් කරවන්නටයි.
අවසාන ගීතිකාව
අවසාන ගීතිකාව ලෙස සාමාන්‍යයෙන් දේවමාතාවන් වහන්සේට හෝ ශුද්ධවන්තයින්ගේ ගෞරවය සඳහා හෝ නිර්මාණය වුණු ගීතිකා ගායනා කිරීම සිදු කෙරේ. නමුත් නමුත් දේවමාතාවන් වහන්සේට හෝ ශුද්ධවත්තයින්ගේ ගෞරවය පිණිස ගීතිකා දිව්‍ය පුජාවේ අනිකුත් අවස්ථා වලදී ගායනා කරන්නට අවසර නැත.
එමෙන්ම දිව්‍ය පූජාව අවසාන වූ වහාම දේවස්ථානයෙන් කඩිමුඩියේ පිට නොවී, සුළු මොහොතක් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට යාච්ඤා කිරීම, උන්වහන්සේට පෞද්ගලිකව ම ස්තූති කිරීම කල හැකි නම් එය ඉතා අගනේ ය.
බයිබල් දැනුම මිනුම විභාගයේ ප්‍රශ්න පත්‍ර
තියෙනවාද
දහම් පාසල් බයිබල් තරඟ සඳහා දරුවන් වෙත ලබා දුන් ප්‍රශ්න පත්‍ර මෙම පිටුවෙන් ඔබට download කරගත හැකි ය.
https://catholicency.com/baibal-tharaga-prashna-pathra/
අපගේ නවතම ලිපි ලබා ගැනීම සඳහා පහත link එකෙන් අපගේ Whatsapp සමූහය සමඟ එකතු වන්න.
https://chat.whatsapp.com/IpDGB31SEVGBo5852bOrRu