මෙරට තුළ ජේසූස් ක්‍රිස්තුන් ස්වාමින් වහන්සේගේ ශ්‍රී වණ කැළැල් දැරීමට භාග්‍යය ලත් දේව සේවිකා හෙලේනා තුමිය ස්වර්ගස්ථ වී 2025 පෙබෙරවාරි 08 වනදාට අවුරුදු 94 කි.
කුඩා කාලය
මෙතුමිය ක්‍රි.ව. 1848 වසරේ දී උත්පත්තිය ලබා ඇති අතර 1849 මාර්තු මස 18 වන දින බෝලවත්ත පරලෝක රාජේශ්වරියගේ දේවස්ථානයේ දී ප්‍රසාද ස්නාපනය කිරීමේ දී “හෙලේනා” නම ලබා දී ඇත. විතාන අප්පුහාමිලාගේ දොන් අන්තෝනි පෙරේරා හා අල්ගම කෝරාළලාගේ මදලේනාහාමි නොහොත් හෙළේනා හාමි යන දෙදෙනාට දාව උපන්, පිරිමි දරුවන් සිව් දෙනෙකුගෙන් ද, ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන්ද සමන්විත පවුලේ මෙතුමිය බාලම ගැහැණු දරුවා වූවාය.
ක්‍රි.ව. 1860 දෙසැම්බර් මාසයේදී එවකට බෝලවත්ත ධර්මදූතික මධ්‍යස්ථානය වෙත සපැමිණි එවකට උතුරු අනුපදවියේ රදගුරු ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික අති උතුම් ස්ටීවන් සෙමේරියා හිමිපාණන් වෙතින් එතුමිය සහ මෙතුමියගේ වැඩිමහල් සොහොයුරියන් දෙදෙනා ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ හා අභිවෘද්ධි ආලේපය ලබා ගත් බව සදහන්ය.
කුඩා කාලයේ සිටම ඇය අන් දරුවන්ට සහ සමවයස් තරුණියන්ට වෙනස් වූ ජීවිත පැවැත්මකින් හෙබි කරුණාබරිත හදවතකින් යුක්ත වූ තැනැත්තියක් වූවාය. සිය පියා ප්‍රදේශයේ ප්‍රචලිත යකදුරෙකු වූ අතර, දෙවියන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පැවති අචල ආදරය නිසාම සිය දැනුම් තේරුම් අවදියේ පටන් ම ඇය පියාට කරුණු පහදා සත්‍ය විශ්වාසය වෙත නැවත ඔහු යොමු කරවා ගැනීමටත් ඔහුගේ වත්පිළිවෙත් වලට බාධා පැමිණවීමත් සිදු කළ අතර මේ නිසාම නොයෙක් අවස්ථාවලදී නිවසින් පිටමං කිරීම, දැඩි ලෙස පහර කෑම ආදී ගැහැට විඳීමට ලක් වූවාය.
නමුත් කුඩා කල සිට ම ජේසු සමිදාණන් වෙනුවෙන් ඇය නොපසුබටව මේ සියලුම ගැහැට වින්දාය. කුඩා කාලයේ ප්‍රදේශයේ සිටි භක්තිවන්ත කාන්තාවක් මගින් සිය ධර්මෝපදේශය ලද ඇය ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය කෙරෙහි නිරන්තර ඇල්මක් සහ ගෞරවයක් දැක්වූවාය.
ඇයගේ සේවය
මේ දිනවල රෝසා නමැති ඉතා දැහැමි කාන්තාවක් ගෝනාවිල වාසය කර ඇති අතර, තවත් අවිවාහක කාන්තාවන් කිහිප දෙනෙකු එක්කර ගෙන යාච්ඤා කණ්ඩායමක් මීසම තුළ සංවිධානය කර පවත්වා ගෙන යාමට ඇය මූලික වී ඇත. මෙම කණ්ඩායම මීසමේ දරුවන්ට උපදේශය ඉගැන්වීම, දිළිඳු අයට උපකාර කිරීම හා රෝගීන් බැහැ දැක යාච්ඤා කරමින් ධෛර්යවත් කිරීම වැනි කටයුතු සඳහා උපකාරීවීම ගරු ෆ්ලෝරෙන්ටියුස් ගාර්සියා පියතුමාට ශක්තියක් වීම නිසා, ක්‍රි.ව. 1866 වසරේ දී ශාසනික නීති පද්ධතියක් සකස් කර ඒ යටතේ ඔවුන් සඳහා ගිහි පදනමක් පිහිටුවන ලදී.
මෙකී කණ්ඩායමට ඇතුළත් වීමට හෙලේනා තුමිය මුල දී ඉල්ලා සිටි නැති නමුත් මෙකී කාන්තාවන්ගේ ආදර්ශමත් ජිවන මග නිසා, ඔවුන්ගෙන් භාවනා කිරීම හා කැපවීමෙන් හා භක්තිමත්ව යාච්ඤා කිරීම ප්‍රගුණ කළා ය. මෙවැනි ක්‍රියාකාරකම් අතරේ එතුමියගේ ජේසු සමිදුන් , ඇගේ හෘදය තුළ නැවත නැවත හඬ නගමින් තමාගේ දුඃඛප්‍රාප්තියට පංගුකාරියක් වන ලෙසත් ඒ අනුව තමාට තව තවත් හෘදයාංගමව කිට්ටු වී තමාට අයිති වන ලෙසත් ඉල්ලා ඇත. තමාගේ ආත්මික පියාණන්ගෙන් විමසා ක්‍රි.ව. 1868 දී හෙලේනා තුමිය ද මෙම සැදැහැවත් කණ්ඩායමට එකතු වූවාය.
අති මහත් උනන්දුව හා දැඩි ලෙස මතක තබා ගැනීමේ ආශාව හා යාච්ඤා ජීවිතයද නිසාම, ඉතා කෙටි කලකින් එතුමිය ඇයගේ මෙම සහකාරියන්ට ආදර්ශමත් චරිතයක් විය. නපුරු යක්ෂයාගෙන් පැමිණි උග්‍ර වූ දුර්පරීක්ෂාකාරී පහරදීම් වලිනුත්, ආත්මික අඳුරු බවේ නොඉවසුම් සහගත ක්‍රියා වලිනුත් එතුමිය මහත් සේ පීඩා විඳි අතර ඒවා සියල්ල ඉතා ඉවසිල්ලෙන් විඳ දරා ගත්තා ය. කුමන පරීක්ෂාවක් පැමිණියත්, එතුමිය ඇගේ යාච්ඤා ජීවිතය නිතිපතා පවත්වාගෙන ගිය බව සදහන් වේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය ලැබීම
මෙසේ ජීවිතය ගෙවූ මෙතුමිය ක්‍රි.ව. 1870 සිට කල්වාරිය මත දුක්විඳින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය ලැබුවාය. එසේ ආත්මික පීඩාවන් හමුවේ ශක්තිමත්ව සිටි ඇය දර්ශනාකාරයෙන් ඇමතූ ජේසුස් වහන්සේ, ”නුඹ යක්ෂයාගෙන් හිරිහැර විඳින විට ද සංකා තාපයෙන් පෙළෙන විට ද මම ළඟ සිටියෙමි මත්තටත් ඔබේ පීඩාවල දී ළඟ සිටින්නෙමී” යැයි වදාළ බව සදහන් වේ.
කතෝලික ආගම අත්හැර යක්ෂ වන්දනාව තෝරා ගෙන සිටි ස්වකීය පියාගෙන් ද, වැඩිමහල් සහෝදරයාගෙන් ද, හෙලේනාතුමියට අතිමහත් වදහිංසා, පහර දීම්, ආගම ඇදහීමට ඉමහත් බාධක වැනි කටුක අත්දැකීම් නොකඩවා දිනපතා ම විඳ දරා ගැනීමට සිදු වී ඇත. එහෙත් ඔවුන් කෙරෙහි යන්තමින් හෝ කිසිදු තරහවක් හෝ අමනාපයක් නොපෙන්වමින්, එමෙන්ම කිසිදු මැසිවිල්ලක් නොදොඩා ඒ සියල්ල තමා විසින්ම විඳ දරා ගත්තාය, විශේෂයෙන් සෑම විටෙකම ඔවුන්ගේ සිත් හැරීම උදෙසා මෙම වේදනා ඔප්පු කරමින් දැඩි ලෙස යාච්ඤා කළාය.
ක්‍රි.ව. 1870 අගෝස්තු මස 14 වන දින සහ එම වර්ෂයේ ම දෙසැම්බර් මස 08 වන දින දිව්‍ය පූජාවෙන් අනතුරුව අධික වේදනාවක් හිටිවනම පහළ වූ ඇයට දර්ශනය වූ ජේසු ස්වාමිදරුවන්, ඇගේ මනසට දිගු ඇණ තුනක් දර්ශනය කරමින් එය සිපාචාර කරන්නට ඇයට ලබාදී ”මාගේ උරුමය මෙලොවෙහි ලබාගත්තායින් පසු මොක්පුරයෙහි ද එය භුක්ති විදින්නෙහි” යැයි වදාළ සේක.
එතැන් පටන් ඇය ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය යැයි කිව හැකි වේදනා කලාපයක් අත්විඳීම ආරම්භ වී ඇත. සෑම බ්‍රහස්පතින්දා දිනක දී ම සවස 7.00ට ගුප්ත බලයකින් බිම හෙලන ලදුව ඇය මිනිත්තු 20ක් පමණ කස පහරවල් විඳින්නීය. ඉන් අනතුරුව සිකුරාදා උදේ 6.00 ට පමණයි බර වූ කුරුසයක් දරා සිටින්නාක් මෙන් හදිසියෙන් බිම වැටී පැය භාගයක් පමණ නැඟී සිටීමට නොහැකිව දුක් විඳින ලදී. ඉන් අනතුරුව පෙරවරු 9.00ට පමණ නැවතත් බිම හෙළන ලබන ඇය කුරුසයක් පිට බාවා අත්පා ඇණවලින් එහි සවි කරන ලද්දාක් මෙන් වැතිර සිටින්නෙහිය.
මේ කාලසීමාව අතරතුර සිහි විසඥවීම සිදු නොවුවහොත්, අප්‍රමාණ, වේදනාවක් විඳින ඇය, ක්‍රි.ව. 1870 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට සෑම සිකුරාදා දිනකම මෙම දුක්ප්‍රාප්තියට සහභාගි වීමේ වරප්‍රසාදය ලැබුවාය. එසේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට සවිකිරීමට ඇණ ගැසූ තැන්වලින් තුවාල මතු වී ලේ ගලා යාම සුලභ දර්ශනයක් වුණු අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හිස මත කටු ඔටුන්න තබා තුවාල වී ලේ ගලා ගිය ආකාරයෙන් හිසින් ලේ ගැලීමත්, උරහිස උඩින් ඇටය දක්වා තුවාලය මතු වී වණ කැළැල් ලැබීමත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී පිට මස්තකයේ වන කස පහරවල් පියවි ඇසෙන් නිරීක්ෂණය කර හැකි වන සේ ලැබීමත් සිදුවිය.
මේ අතර මෙම ආශ්චර්යමත් සිද්ධිය මෙරට පුරා ප්‍රචලිත වූ අතර, බොහෝ කතෝලිකයන් මෙන්ම අන්‍යාගමිකයන් ඇය හමුවීමටත්, ඇගේ ආශිර්වාදය ලබා ගැනීමටත් පැමිණියෝය. ආරම්භයේ දී යක්ෂාවේශ වීමක් , යක්ෂ ක්‍රියාවක් ලෙස සලකනු ලැබුවද, මීසම්පාලක සහ ඇගේ ආත්මික පියතුමන් වන සිස්ටර්ෂියන් නිකායික ගෙන් දැනුවත් කිරීමෙන්, එවක උතුරු අනුපදවියේ රදගුරු අති උතුම් අර්නස්ට් ක්‍රිස්ටෝෆර් බොන්ජින් (නි.ම.නි.) රාජගුරුතුමන්ගේ මෙහෙයවීමෙන් ස්වාධීනව සිදුකරනු ලැබූ වෛද්‍ය පරීක්ෂණයක් මගින් සහ ඇය හුදකලා කර දීර්ඝ කාලයක් පුරා සිදුකරන ලද නිරීක්ෂණයන් ඇසුරෙන් මෙය දේවානුභාවයෙන් සැබැවින්ම සිදුවන්නක් බවට සහතික කරගෙන ඒ බවට ශුද්ධාසනයට දැනුවත් කර ඇත.
තවද ලිඛිත සාක්ෂි අනුව, එතුමියගේ උරහිස්වල බරවූ කුරුසිය ගෙන යාම නිසා හම ගැලවී වණ කැළැල් ද කටු ඔටුන්න නිසා හිසේ වණ කැළැල් ද, කස පහරවල් විඳීම නිසා පිට පුරා වණ කැළැල් රාශියක්ද තිබුණු බව ක්‍රි.ව. 1872 කුරුණෑගල වෛද්‍ය පරීක්ෂණයේ දී ඊට සහභාගි වූ මාරි ජොසපින් නමැති ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ මව්තුමිය ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
මෙසේ දුක් විඳින අවස්ථාවන් හිදී අප ස්වාමීන් වහන්සේ එතුමිය සමඟ ඉතා සමීපව කටයුතු කර ඇති බව එක් දිනක්වත් පාසලකට නොගිය ඇය හට යුරෝපයේ සිද්ධීන් ගැන කිතුනු සභාවට ඉදිරියේ දී විඳීමට සිදුවන භයානක අනතුරු ගැනත් කලින් අනාවරණය කිරීමට හැකි වීම මඟින් මනාව ඔප්පු වේ.
ඉවසිල්ලෙන් වේදනා විඳ දරා ගන්නා ලෙස පවසමින් දේව මාතා වහන්සේ ඇය සංසිඳුවා ඇති අන්දම පුදුම සහගතය. අප කතෝලික සභාවද විනාශ කරමින් මහා විප්ලවයක් ඉදිරියේ සිටි, තම උපන් දේශය වූ ස්පාඤ්ඤය ගැන යාච්ඤා කරන ලෙසත් වේදනා ඉවසිල්ලෙන් විඳ දරා ඒ සඳහා ඔප්පු කරන ලෙසත් අවිලාවේ තෙරේසා තුමිය එතුමියගෙන් ඉල්ලා ඇත.
ඇයගේ දර්ශනයන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම
ක්‍රි.ව. 1872 මාර්තු මස 12 වන දින සිට ඇය පිළිබඳ ව ද්විපාර්ශවීය පරීක්ෂණයක් කුරුණෑගල ශු. පවුලේ කන්‍යාරාමයේ දී පැවැත්විය. මෙහි කිතුනු ශාසනික පරීක්ෂණය ක්‍රිස්ටෝපර් බොන්ජින් රදගුරුතුමා විසින්ම ද, වෛද්‍ය ශාස්ත්‍රමය පරීක්ෂණය M.D.(St. Andrews), M.R.C.S.(Eng.), L.S.A.(Lond) වැනි වෛද්‍ය උපාධි රාශියක් ලත් ඉතා පළපුරුදු රජයේ විශේෂඥ වෛද්‍ය ඩබ්. ඩයස් දොස්තර මහතා විසින්ද පවත්වා ඇත.
පුදුමය නම්, ඩයස් දොස්තර මහතා රෝමානු කතෝලික නොවන රෙප්‍රමාදු ආගමිකයෙකු වූවත් “හෙලේනා තුළ කිසිදු වංචනික බවක් හෝ වෙනත් අසාමාන්‍ය ක්‍රියාවක් නැති බවත්” සහතික කරනු ලැබීමයි. ඒ වාර්තා අදත් ශුද්ධාසනයේ ලේඛනාගාරයේ සංරක්ෂිතය. ඇය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තියට සහභාගී වන අවස්ථාවන්වල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විවිධ දර්ශනයන්ද ලැබීමට භාග්‍ය වන අතර, තත්කාලීන සභාවට එල්ල වූ විවිධ දුෂ්කරතා ගැන සේම ඇයගෙන් යාච්ඤාවන් ඉල්ලූ අසරණ පුද්ගලයන් ගැන ද ඇය දර්ශන ලැබු බව සදහන් වේ.
එසේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඇය ලැබූ දර්ශනයන් සමූහයක් පිළිබඳව අති උතුම් අර්නස්ට් ක්‍රිස්ටෝෆර් බොන්ජින් (නි.ම.නි.) රාජගුරුතුමන් පමණක් එළිදරව් කිරීමට ද ඇය වගබලා ගත් බවද කියැවේ.
සිය දිවි මගේ අවසාන කාලය ධර්මෝපදේශ දරුවන්ට පන්ති පැවැත්වීමෙන් සහ අවට ගම්වල සත්‍ය විශ්වාසය නොඅදහන්නන් හට ධර්මෝපදේශ පන්ති පැවැත්වීමෙන් නිහඬ මෙහෙවරක් ගත කළ හෙලේනාතුමිය , වසර 82ක් ආයු වළඳා 1931 පෙබරවාරි මස 08 වන දින ස්වර්ගස්ථ වූවා ය. එවකට කොළොම්පුර අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්සේගේ අවසරය පිට හෙලේනාතුමියගේ මෘතදේහය ගෝනාවිල දේවස්ථානයේ මුළු දිනයක්ම තබා 10 වන දින දිව්‍ය පූජාවෙන් පසු ගෝනාවිල කතෝලික සුසාන භුමියේ මිහිදන් කරන ලදී.
ගෝනාවිල ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ දෙව්මැඳුර තුළ ගරු හෙලේනා තුමිය විසින් ආරම්භ කරන ලද ශ්‍රී වත මණ්ඩල භක්තිය අද දක්වාම නොකඩවා පවතින අතර, සෑම වසරකම සැප්තැම්බර් මාසය මැද දී ශ්‍රී වත මණ්ඩල වාර්ෂික මංගල්‍යයක් පවත්වනු ලැබේ. විශේෂයෙන් වසරේ සෑම සිකුරාදා දිනකම දිනය පුරාම පෞද්ගලික වන්දනාමාන කිරීමද සවස ශ්‍රී වත මණ්ඩල නුවානය හා දිව්‍ය පූජාවද පැවැත්වේ. එය අද දක්වාම නොකඩවා පවත්වාගෙන එනු ලැබේ.

එතුමිය සාන්තුවරයට එසවීමේ ගමන් මග
වර්තමානයේ සභා නියමයන්ට අනුකූලව සාන්තුවරයට එසවීමේ ගමන් මගේ ගමන් කරමින් සිටින හෙලේනාතුමිය 2016 මැයි මස 19 වන දින සාන්තුවරයට පත් කිරීමේ නිල ක්‍රියාවලිය ආරම්භ කිරීමට ශුද්ධාසනයේ අනුමැතිය ලබා දේවදාසි තත්ත්වය (දේව සේවිකා) හිමිකර ගනු ලද්දාය.
මෙම සාන්තුවර ක්‍රියාදාමයේ හලාවත පදවි උපආයාචනාධිකාර පියතුමන් ලෙස පදවි ලේඛනාගාර භාර ගරු ඩේසියස් මැදගොඩ ක්‍රියාකළ අතර, හෙලේනා තුමියගේ ශුද්ධවන්ත ජීවිතය පිළිබඳ පර්යේෂණාත්මක කෘතිය හෙවත් Postio Historica ලේඛනගත කිරීමට බාර කර ඇත්තේ දිව්‍ය ගැලවුම්කාර නිකායේ ගරු විමල් තිරිමාන්න පියතුමාටය.
මෙහි පළමු පියවරක් ලෙස සාන්තුවර ක්‍රියාදාමයේ පදවි පර්යේෂණ වාර්තාව සකසා මෙම අනුස්මරණ දිනයේදී එය ශුද්ධාසනයේ සාන්තුවර භාර සංසදය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වාර්තාව සකස් කිරීමට හලාවත පදවියේ ගරු බෙනට් ශාන්ත, නිරංජන් දයාලාල්, අරෝෂ් ප්‍රියංග සහ ඩිලන්ත නිර්මාන් යන පියතුමන්ලා දායක වූ අතර, මේ සඳහා සාක්ෂි සටහන් ග්‍රාම වාසීන්ගෙන්ද ලබා ගන්නා ලදී.
මෙහි ප්‍රධාන මූලාශ්‍ර සටහන ලෙස හෙලේනා තුමියගේ ආත්මික පියාණන් වන සිස්ටර්ෂයන් නිකායික ගරු ෆ්ලෝරෙන්ටියුස් ගාර්සියා පියතුමාගේ දිනපොත් සහ හලාවත පදවි පළමු රාජගුරුප්‍රසාදි අති උතුම් එඩ්මන්ඩ් පීරිස් (නි.ම.නි.) හිමිපාණන්ගේ හෙලේනා චරිතය නම් කෘතියද සුවිශේෂී වේ.
මේ වසරේ අනුස්මරණ දිනය නිමිතිකොට ගෙන හෙලේනා තුමියගේ ශුද්ධවන්ත භාවය පිළිබඳව පදවි පර්යේෂණ වාර්තාව ශුද්ධාසනය නියෝජනය කරමින් මේ කාර්යයේ ආයාචනාධිකාර ආචාරිණි ක්‍රිස්ටිනා මහත්මියද සම්බන්ධ වීමට නියමිතය.
වත්මන් හලාවත රදගුරු අති උතුම් දොන් විමල් සිරි ජයසූරිය හිමිපාණන්ගේ මගපෙන්වීම තුළ , වත්මන් ගෝනවිල මීසම් සේවක ගරු ජූඩ් ඩයස් පියතුමන්ගේ මූලිකත්වය තුළ ගෝනාවිල ශ්‍රී වත මණ්ඩල සමිතිය සහ හෙලේනා කාන්තා සමිතිය මෙම කාර්යය සංවිධානය කර ඇති අතර, ඔබ හට එතුමියගේ මැදහත්කමින් යම් ඔබගේ අවශ්‍යතාවයන්හිදී එතුමියගේ මැදිහත්කම ඉල්ලා යාච්ඤා කර ඔබට විශ්වාස කල හැකි අන්දමේ සුවයක් හෝ බලාපොරොත්තු ඉටු වීමක් සිදුවී නම්, එය ලිඛිතව මීසම් භාර ගරු පියතුමා වෙත යොමු කරන්න.
ලිපිනය – ගරු මීසම්භාර පියතුමා, ශු. ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානය, ගෝනවිල, දංකොටුව, ශ්‍රී ලංකාව



සටහන – අසේල දසනායක
ලක්දිව කතෝලික ඉතිහාසය