මතෙව් 13:1-9
උන් වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින්, මෙසේ වදාළ සේක: ”බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේ ය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය: බීජ සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලාගෙන කෑහ.
සමහරක් පස තුනී ගල් බිම්වල වැටී, පස ගැඹුරු නුවූ බැවින් වහා ම පැළ විය. එහෙත්, හිරු නැඟුණු කල, ඒවා දැවී මුල් නැති බැවින් වියළී ගියේ ය. අන් සමහරක් කටු ගස් අතර වැටිණි; කටු ගස් වැවී ඒවා යටකර දැමී ය.
තවත් සමහරක් සරු බිමෙහි වැටී එකකින් සිය ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් තිස් ගුණයක් ද බැගින් පල දැරී ය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”
මාක් 4:1-9
නැවත උන් වහන්සේ මුහුද අද්දර උගන්වන්න පටන්ගත් සේක. එකල ඉතා මහත් ජනකායක් රැස් වූ බැවින් උන් වහන්සේ මුහුදේ ඔරුවකට නැඟී වැඩහුන් සේක. මුළු සමූහයා ද වෙරළ දිගේ සිටියෝ ය.
උන් වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේ දී උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක:
”සවන් දෙන්න! වපුරන්නෙක් වපුරන්නට නික්මිණි. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මඟ අද්දර වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලා කෑවෝ ය.
තව සමහරක් පස තුනී ගල් බිමේ වැටී, පස ගැඹුරු නුවූ නිසා වහා පැළ විය6 හිරු නැඟුණු කල ඒවා දැවී, මුල් නැති බැවින් වියළී ගියේ ය. අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ වැවී, ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරී ය.
තවත් සමහරක් සරු බිමේ වැටිණි. ඒවා පැළ වී, වැඩී, පල දරමින්, එකකින් තිස් ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් සිය ගුණයක් ද බැගින් අස්වැන්න ඉපදවිය. 9 සවන් ඇත්තෝ සවන් දෙත් වා!”
ලූක් 8:4-8
ඒ ඒ නුවරින් මිනිසුන් උන් වහන්සේ වෙත පැමිණ, මහා පිරිසක් රැස්වූ කල උන් වහන්සේ උපමාවකින් මෙසේ වදාළ සේක: ”වපුරන්නෙක් බීජ වපුරන්න නික්මිණි; ඔහු වපුරන කල බීජ සමහරක් මඟ දිගේ වැටී පයින් පෑගිණි; අහසේ කුරුල්ලෝ ඒවා අවුළා කෑහ.
අන් සමහරක් ගල් බිමෙහි වැටී පැළ වූ කෙණෙහි ම දිය සීරාව නැති බැවින් වියළී ගියේ ය. අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ ද ඒ සමඟ ම වැඩී ඒවා යටපත් කර දැමී ය.
අන් සමහරක් සරු බිමේ වැටී, පැළ වූ විට එකකින් සිය ගුණයක් අස්වැන්න ඇති විය.” උන් වහන්සේ මෙසේ වදාරා, තවදුරටත්, ”සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි හඬ නඟා වදාළ සේක.