දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණය වනාහි කතෝලික සභාව පමණක් නොව ඕතඩොක්ස් සභාව හා පෙරදිග සෙසු කිතුනු සභාවන්ද විසින් පිළිගනු ලබන්නකි. අගෝස්තු 15 දා මෙය අරබයා කෙරෙන සැමරුම එම සභා සැමටමත්, ලූතරානු හා ඇංග්ලිකාන සභාවන්ටත් සම්බන්ධ වූවකි.
අනාදිමත් කාලයක සිට කිතුනු ප්‍රජාව විසින් පිළිගත් මරියාවන්ගේ ඔසවා ගැන්ම පිළිබඳ පෙරදිග හා අපරදිග ඉගැන්වීම් අතර ඉතා කැපීපෙනෙන වෙනස්කමක් තිබිණි. එනම් පෙරදිග සභා එය දේව මාතාවන්ගේ සැතපීම (Dormition of the Theotokos) ලෙස ඈත අතීතයේ පටන්ම සමරද්දී ලතින් සභාව එය දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණය ලෙස පසුකාලීනව සමරනු ලැබීමය.
මින් මතුවන ප්‍රධාන වෙනස්කම නම් පෙරදිග සභා එතුමියගේ මිහිමත ජීවිතයේ අවසානය හෙවත් මරණය පිළිබඳ තබන ලද විශ්වාසයයි. ඒ සභා වල එතුමියගේ මරණය නිරූපිත පැරණි අයිකොන් චිත්‍ර මෙන්ම ඉගැන්වීම් දැකිය හැක්කේ එබැවිනි. මෙම ඉගැන්වීම් පෝෂණය වී ඇත්තේ 3/4 සියවස් වලට අයත් අසම්මත සුබාරංචි ග්‍රන්ථ වලිනි. එම ග්‍රන්ථ වල ආභාසයෙන් පෙරදිග සභා පුළුල් ලෙස පිළිගත්තේ ඕතොමන් අපෝස්තුලුවරුන් විසින් පිරිවරන ලදුව සාමකාමීව මියගිය බවකි.
ඒ අවස්ථාවේ එහි නොසිටි තෝමස් තුමාට එතුමියගේ දේහය දැකීමට අවශ්‍ය බව කීවෙන් සොහොන විවෘත කළ බවත් එවිට එය හිස්ව තිබූ බවත් ය.ඒ අනුව ඕතොමෝ සුරලොවට වැඩි බවත් ය. මේ විශ්වාසය අනුව අදටත් ජෙරුසෙලමේ මරිය තුමිගේ සොහොන් ගැබ නම් දේවස්ථානයක් පවතී.
බටහිර සභාවේ මේ ඉගැන්වීම ප්‍රචලිත වූයේ ඊට වඩා වෙනස් අයුරකිනි. එනම් එතුමිය මරණයට පත්නොවී ආත්ම ශරීර සමග සුරලොවට වැඩි බවයි. මෙය වඩා පෝෂණය වූයේ ශුද්ධ ලියවිල්ලේම හමුවන එලියා, ඒනොක් වැනි චරිත මගිනි.
xii පියුස් සුදතුම් පියා ලොව සියළු රදගුරුතුමන්ලාගෙන් විමසා ලද බහුතර අනුමැතිය මත 1950 නොවැම්බර් 01 දා නිකුත් කළ ” මුනිෆිචෙන්ටිස්සිමුස් දේඋස් ” නම් අපෝස්තලික ව්‍යවස්ථාව මගින් එතුමියගේ ස්වර්ගාරෝපණය වේද සත්‍යතාවක් ලෙස ප්‍රකාශ කළේය. එහිදී එතුමියගේ මෙලෝ දිවිය නිමා වූ ආකාරය පිළිබඳ කිසිවක් නොපවසා එය විවෘතව තබන ලදි.
ඉන් එහිදී නිර්වචනය කෙරුණේ එතුමියගේ පරිපූර්ණ පුද්ගල භාවය එනම් ආත්ම ශරීර භාවය තුළ එතුමිය මහිමාන්විත භාවයට ඔසවනු ලැබූ බවයි.
වේද සත්‍යතාව පසුකාලීන වූවද ස්වර්ගාරෝපිත රැජිනට කැපකළ දේවස්ථාන අතීතයේ සිටම මෙරට ඉදිවිය. කොළඹ 12 සුබ මරණයේ අප ස්වාමිදූ දේවස්ථානය සුවිශේෂී වන්නේ ඉන් පෙරදිග මතය ඉස්මතු වන බැවිනි.