චතාරික සමය අවසාන වීමත් සමඟ ශුද්ධ සභා මාතාව සිය දේව වන්දනා වසරේ වැදගත්ම සමයක් වන ශුද්ධ වූ සතියට එළඹෙන්නේ ගොබ් ඉරිදායිනි. ගොබ් ඉරුදින විශේෂත්වය වනුයේ එදින ජේසුස් වහන්සේ රාජශ්‍රීයෙන් කොටළුවෙකු පිට නැඟී ජෙරිසලමට ඇතුළු වීම සිහිපත් කිරීමයි.

“බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට,
එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී,
යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ
යයි සියොන් වැසියන්ට දන්වන්න”

දුක්‌ඛෝත්සව ඉරුදින හෙවත් ගොබ් ඉරුදින දේව මෙහෙදී පහත දැක්වෙන පොදු කරුණු අනුගමනය කළ යුතු ය. එදින දේව වන්දනා වර්ණය රතු වන අතර එළිමහන් ස්ථානයක ගොබ් අතු ආසිරි ගැන්වීමෙන් මෙහෙය ආරම්භ වේ.

එම එළිමහන් ස්ථානයේ දී පියතුමා රතු වර්ණයෙන් මල් වලින් සරසන ලද විශේෂ ගොබ් අත්තක් ගෙන යාච්ඤා කිරීමෙන් පසු එය ආසිරි ගන්වන අතර ජනතාවද ගොබ් කොළ රැගෙන එම අවස්ථාවට සහභාගී වේ.

ගොබ් අතු ආසිරි ගන්වන ස්ථානයේ මේසය මත,

  • දිව්‍ය පුජා සංග්‍රහය.
  • ආසිරි පැන් ඉසිනය.
  • පියතුමා සඳහා සරසන ලද ගොබ් ඉත්තක් යන කළමනා සූදානම් කර තැබිය යුතු ය.

දුක්ඩෝත්සව ඉරුදින හෙවත් ගොබ් ඉරුදින දේව වන්දනා අනුපිළිවෙල

ආරම්භක පිළිවෙත

  • පෙරහැර සඳහා හැදින්වීම.
  • ආරම්භක ගීය.
  • ගොබ් අතු ආසිරි ගැන්වීම.
  • සුවිශේෂය හා කෙටි දේශනය. (අවස්ථානුකූලව) (මාක් 11:1 -10)
  • ගොබ් අතු රැගත් පෙරහැර පහත පිළිවෙලට පෙළගැසී අල්තාරය කරා ඇදෙයි.
    • සුවද දුම් බදුන දරන්නා (Thurifer).
    • කුරුසය රැගෙන යන්නා – කුරුසිය ගොබ් අතුවලින් සරසනු ලැබේ. (Cross Bearer)
    • ඉටි පහන් රුක් දරන්නන් (Candle Bearer)
    • පුජා සහයකයින්.
    • සුභාරංචි පොත් සංග්‍රහය.
    • අනිකුත් පියතුමන්ලා (සිටීනම් පමණක්).
    • ප්‍රධාන පියතුමා.
    • ගොබ් අතු රැගත් සැදැහැවතුනේ.
  • පොදු යැදුම.

ගොබ් අතු රැගත් පෙරහැර අල්තාරය කරා ගමන් ගන්නා විට “ක්‍රිස්තු රජාණන්ට ස්තෝත්‍ර වේවා” යන ගීතිකාව ගායනා කරනු ලැබේ. ඉන්පසු සාමාන්‍ය පරිදි දිව්‍ය පූජාව පැවැත්වේ.

ගොබ් අතු රැගත් පෙරහැර අල්තාරය කරා ගමන් කරන අවස්තාව.
ගොබ් අතු රැගත් පෙරහැර අල්තාරය කරා ගමන් කරන අවස්තාව.
පියතුමා රතු වර්ණයෙන් මල් වලින් සරසන ලද විශේෂ ගොබ් අත්තක් ගෙන පෙරහරෙන් අල්තාරය වෙත පැමිණීම.
පියතුමා රතු වර්ණයෙන් මල් වලින් සරසන ලද විශේෂ ගොබ් අත්තක් ගෙන පෙරහරෙන් අල්තාරය වෙත පැමිණීම.

දෙව වාක්‍ය පිළිවෙත

  • පළමු දේව ප්‍රකාශනය (යෙසායා 50:4-7).
  • පිළිතුරු ගීය (ගීතාවලිය 22:7-8, 16-19, 22-23).
  • දෙවන දේව ප්‍රකාශනය (පිලිප්පි 2:6-11).
  • සුපුවත් ජයනද.
  • ශුද්ධ වූ සුපුවත. (මතෙව් 26:14-27:66 හෝ මතෙව් 27:11-54). (ස්වාමීන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය පියතුමා සහ තවත් දෙදෙනෙකු ප්‍රකාශ කරයි. පහන් රැගෙන යාම, දුම් පිදීම, ජනකායට ආචාර කිරීම සහ සුවිශේෂ පොත සිපාචාර කිරීම සිදු නොකරයි.)
  • විශ්වාස ලක්ෂණය ප්‍රකාශය කිරීම.
  • විශ්වාසකයින්ගේ යැදුම.

ස්තෝත්‍ර යාගික පිළිවෙත

  • පඬුරු පෙරහැර .
  • පඬුරු මත යැදුම.
  • ස්තෝත්‍ර යාගික යැදුම.
  • දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීම.
  • දිව්‍ය භෝජනයෙන් පසු යැදුම.
  • දැන්වීම්.

සමාප්ති පිළිවෙත

  • අවසාන ආශිර්වාදය.
  • අවසාන ගීය.

දුක්‌ඛෝත්සව ඉරුදින හෙවත් ගොබ් ඉරුදින හැඳින්වීම

මෙදින දේව මෙහෙයේ හැඳින්වීම ලෙස පහත දැක්වෙන හැඳින්වීම භාවිතා කළ හැකි ය.

ක්‍රිස්තූන් වහන්සේ රාජ තේජසින් ජෙරුසලමට වැඩම කිරීම සිහි කරන මෙදින ශුද්ධ වූ සභා මාතාව අපට ආරාධනා කරන්නේ යටහත් පහත් ජීවිත ගත කිරීමටය. එලෙස දිවි ගෙවන අයට දේව කැමැත්ත වටහා ගෙන ඊට අවනත වීම පහසු වන බව ද, ඔවුන්ව දෙවියන් වහන්සේ සැම විටම උසස් කරන බව ද අපට මතක් දෙයි.

අද දිනට නියමිත පළමු දේව ප්‍රකාශනය මගින් දෙවි සමිදාණන් උදෙසා ක්‍රියා කරන්නා විවිධ වූ පීඩාවන්ට ලක් වූවත් ඒ ගැන බිය නොවිය යුතු බව යෙසායා දිවැසිවරයා ප්‍රකාශ කරයි. ශුද්ධ වූ පාවුළුතුමන් පිලිප්පි වරුන්ට යවන ලිපියෙන් උපුටා ගත් දෙවන දේව ප්‍රකාශනය ක්‍රිස්තුන් වහන්සේ දෙව් බව අත්හැර මනුසත් බව රැගෙන කුරුසියේ මරණය දක්වා කීකරු වීම තුළින් දේව කැමැත්තට අවනත වූ ආකාරය පෙන්වා දෙයි. සුපුවත තුළින් ශු. මතෙව්තුමන් ලියා තිබෙන අප ස්වාමින් වහන්සේගේ දුක්ප්‍රාප්තිය ඉදිරිපත් කරයි.

අපද ශුද්ධ වූ දිවියත් කිරීමට අවශ්‍ය වරම් යදිමින් ගොබ් ඉරුදින දිව්‍ය පූජා යාගයට බැති සිතින් සහභාගි වෙමු.

දුක්‌ඛෝත්සව ඉරුදින හෙවත් ගොබ් ඉරුදින විශ්වාසකයින්ගේ යැදුම්

ප්‍රධාන පියතුමා:
අපගේ රජාණෝ ජෙරුසෙලම් නගරයට ඇතුලු වූ සේක. අප ඔසවන්නාවූ ගොක් අතු සහ යැදුම් වල ප්‍රශංසාව අභිභවා යමින් සුභාරංචියේ වචනය උන්වහන්සේගේ දුක් විදීම සහ මරණය ගෙන හැරදක්වයි. එබැවින් අප වෙනුවෙන් දිවි පිදූ දේව පුත්‍රයාණන් මඟින් අපේ යැදුම් පුදකර සිටිමු.

පිළිතුර: ස්වාමිනී,අප කරන යාච්ඤා අසා වදාළ මැනව.

1. ශු. සභා මාතාව උදෙසා යාච්ඤා කරමු.
සැබෑ එඩේරාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන් යටහත් පහත් බව අගයන සැබෑ එඩේරුන් වන්නට, අප ශුද්ධ වූ සභා නායකයින් ඇතුළු සමිදු මිදි උයනේ සේවය කරන සැමට අවශ්‍ය වරම් ලැබෙන පිණිස, අපි යාච්ඥා කරමු.

2. අප රට වෙනුවෙන් යාච්ඤා කරමු.
අප රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රටෙ ඇතිවී තිබෙන සියළුම ගැටළුකාරී තත්ත්වයන්ගෙන් මිදී ස්වයංපෝෂිත රටක් අනාගත පරපුරට දානය කිරීමට අවැසි ශුද්ධාත්ම වරම් අප රට ජන නායකයින් හට ලැබෙන පිණිස, අපි යාච්ඤා කරමු.

3. පීඩාවට පත් වූවන් සඳහා යාච්ඤා කරමු.
විවිධ ආර්ථික සමාජීය ගැටළු, ආරවුල්, වැරදි වැටහීම ශාරීරික පීඩනයට ලක් වූ දේව ජනතාවට ශුද්ධාත්ම මඟ පෙන්වීම හා විශ්වාස ආලෝකය ලැබෙන පිණිස, අපි යාච්ඥා කරමු.

4. අප සංඝය වෙනුවෙන් යාච්ඥා කරමු.
මෙම ශුද්ධ වූ සතිය තුල ජනවන්දනා සැමරීම තුළින් සැබෑ ජීවිත වෙනසක් ඇති කරගැනීමට අවශ්‍ය මඟපෙන්වීම අප සංඝයේ සැමදෙනාට ලැබෙන පිණිස, අපි යාච්ඤා කරමු.

ප්‍රධාන පියතුමා:
සදාතන දෙවි පියාණෙනි, දැඩි ධෛර්යකින් යුතුව ඔබවහන්සේගේ පුතණුවත් අප වෙනුවෙන් දිවි පිදීමට කරුණා වූ සේක. මේ යැදුම් ඔබට පුදන අපටද ඔබ පුත්‍රයාණන්ගේ ඒ භාග්‍යවත් ධෛර්යේ පංගුකාරයන් වීමට වරම් දුන මැන ආමේන්.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *