පංච පුස්තකයට අයත් සම්ප්‍රදායන්
ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ පළමු පොත් පහ පංච පුස්තකට ලෙස හඳුන්වයි. මෙම පංච පුස්තකය රචනා වී ඇත්තේ විවිධ වූ සම්ප්‍රදායන් 4 ක් මුල් කරගෙන ය.
මෙම ලිපිය මගින් පංච පුස්තකයට අයත් සම්ප්‍රදායන් පිළිබඳව සාකච්ජා කරමු.
මෙම සම්ප්‍රදායන් බිහිවුනේ කෙලෙසද?
ඉශ්රායෙල් ජනතාව ඉතිහාසයක් හා පසුබිමක් ඇති ජනතාවකි. ඔවුනටම ආවේණික වූ ඉතිහාසයක් ඔවුන්ට තිබුණි. ඔවුන්ගේ විශ්වාසය ඔවුන් ඉතිහාසය පුරාවට ලබාගත් අත්දැකීම් සමඟ එකතු කොට පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරන ලදි.
මේ ඉතිහාසය පුරා ලබාගත් අත්දැකීම් ඉශ්‍රායලයේ එක් එක් ජන කොටස් එක් එක් ප්‍රදේශයන් වලදී තමන්ගේ සංකෘතිය සහ විශ්වාසයට අනුව යම් ක්‍රමයකට ගොඩනගා ගන්නා ලදි. මේ ආකාරයෙන් ගොඩනගා ගන්නා ලද විස්තර ඔස්සේ එක් එක් සම්ප්‍රදායන් බිහි විය.
පංච පුස්තකය ලේඛනගතවී තිබෙන සම්ප්‍රදායන් සහ කාල වකවාණු
මෙම සම්ප්‍රදායන් 4 බිහි වී තිබෙන කාලයන් පහත පරිදි වේ.
යාවේ සම්ප්‍රදාය Yahwistic Tradition (ජේ – J) | එලෝහිම් සම්ප්‍රදාය Elohist Tradition (ඊ – E) | ද්විතීය නීති සම්ප්‍රදාය Deuteronomist Tradition (ඩී – D) | පූජක සම්ප්‍රදාය Priestly Tradition (පී – P) | |
වාචික කාලය | ක්‍රි.පූ. 950 දක්වා | ක්‍රි.පූ. 750 දක්වා | ක්‍රි.පූ. 700 දක්වා | ක්‍රි.පූ. 400 දක්වා |
ලිඛිත කාලය | ක්‍රි.පූ. 900 | ක්‍රි.පූ. 722 | ක්‍රි.පූ. 621 | ක්‍රි.පූ. 400 න් පසු |
යාවේ සම්ප්‍රදාය “J”
සුවිශේෂ ලක්ෂණ
මෙම සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේ හඳුන්වන්නේ “යාවේ” යනුවෙනි. “යාවේ” (Yahweh) යන්නෙහි සිංහල අර්ථය සමිඳාණන් වහන්සේ යන්නයි. “යාවේ” (Yehweh) සම්ප්‍රදායට “ජේ – J” අක්ෂරය භාවිතා කරයි.
එයට හේතුව වන්නේ පුරාණ ග්‍රීක පිටපත් ජර්මන් භාෂාවට පරිවර්තනය කිරීමේදී ජර්මන් භාෂාවේ “Y” අක්ෂරය නොමැති නිසා Jahweh ලෙස ලියනු ලැබීමයි. එහෙත් එහි උච්චාරණය “යාවේ” ම වේ. කෙසේ වෙතත් හීබෘ භාෂාවේ ‘ය’ සහ ‘ජ’ අතර වෙනසක් නැත.
යාවේ සම්ප්‍රදාය ලියැවී ඇත්තේ කුමන කාල වකවානුව ක්‍රි.පූ. 9 -10 සියවස කාලය තුළ වේ. මෙය ලියවී ඇත්තේ ජුදා ප්‍රදේශයේ දකුණු රාජ්‍යයේ ජෙරුසලෙම ආශ්‍රිතව ය. යාවේ සම්ප්‍රදායේ ප්‍රධාන නගරය ලෙස සැලකෙන්නේ ජෙරුසලෙම් නගරයයි.
යාවේ සම්ප්‍රදායේ ඉහලින් වර්ණනා කරන්නේ දාවිත් රජ වාසල ගැන යි. යාවේ සම්ප්‍රදාය පංච පුස්තකය මැවීම පිළිබඳ දෙවන කතාවෙන් (උත්. 2:4-25) ආරම්භ වී මෝසෙස්ගේ මරණයෙන් (ද්වී. 34:4 6) නිම වේ.
උත්පත්ති පොත – හරි අඩකටත් වඩා ද, නික්මයාම, ගණන් කතාව, ද්විතීය නීති සංග්‍රහයේ සුළු වශයෙන් ද යාවේ සම්ප්‍රදාය ඇතුලත් වේ.
ලෙවි ව්‍යවස්ථාව පොතේ යාවේ සම්ප්‍රදාය අඩංගුව නැත. යාවේ සම්ප්‍රදාය තුළ කුමන ජුදා සහ සිමොයෝන් ඉශ්රායෙල් ගෝත්‍ර ගැන සඳහන් වේ.
භාෂාමය සහ සාහිත්‍යමය ශෛලිය
යාවේ සම්ප්‍රදායේ දක්නට ලැබෙන භාෂාමය සහ සාහිත්‍යමය විලාශය විස්තර කරන්න පහත පරිදි වේ.
- භාෂාව ඉතා සරලය, පැහැදිලිය, විවිධත්වයෙන් යුක්තය.
- කතා වස්තුව ජීවමානය, ස්වභාවිකය.
- නාට්‍යමය ස්වරුපයක් පෙන්වයි.
- සෑම චරිතයක්ම එඩිතරය. ගාම්භීරය.
- ත්‍රාසජනක සිද්ධි මනා නිපුණතාවයකින් ඉදිරිපත් කරයි.
යාවේ සම්ප්‍රදායේ එන චරිත වලට විශේෂ ලක්ෂණ ආරුඪ කර ඇති බවට ලාබන් තණ්හාධික පුද්ගලයෙකු ලෙස ප්‍රකාශ කර තිබීම හොඳ උදාහරණයක් වේ. යාවේ සම්ප්‍රදායේ සිද්ධීන් පාඨකයාගේ කුතුහලය ඇවිස්සෙන පරිදි ලියා ඇත. “මම්රේහි ආබ්‍රහම් හමුවීමට ආ අමුත්තෝ” යන සිද්ධිය (උත්. 18:1-15) ඒ බවට උදාහරණයකි.
යාවේ සම්ප්‍රදාය තුළ මෙසපොතේමියාවේ සහ ඊජීප්තුවේ පැරණි සාහිත්‍ය කතා වලින් උපුටාගෙන තිබේ කොටස් පහත පරිදි වේ.
- දෙවියන් වහන්සේ කුඹල්කරුවෙකු මෙන් ඉදිරිපත් කිරීම. (පුරාණ ඊජීප්තු හා බැබිලෝනියානු ලෝකය මැවීමේ කතාවල සඳහන් වේ)
- ඒදන් උයන (පැරණි සුමේරියානු අදහසකි) දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා නාස්පුඩු තුළට ජීවන හුස්ම හෙලීම.
- ආදම්ගේ ඉල ඇටයකින් ඒව සෑදීම (සුමේරියානු දෙව් දුවකගේ නමක් හා සම්බන්ධ වේ)
- නෝවාගේ කතාව (බැබිලෝනියාවේ මහා වීර කාව්‍යකින් උපුටාගෙන ඇත)
- බාබෙල් කොත (මෙසපොතේමියානු දේව මන්දිර කෙත් හා සමානය)
තේමා සහ ඉදිරිපත් කරන ධර්මය
යාවේ සම්ප්‍රදාය තුළ මුල් තැන හිමිවී තිබෙන්නේ දේව විශ්වාසයට ය. යාවේ සම්ප්‍රදාය තුළ ඉදිරිපත් කරන වෙනත් ධර්මතා නම්,
- කතුවරුන්ට ස්වභාවධර්මය හා මිනිස් ඉතිහාසය තුළ දෙවිඳුන් හමුවන බව.
- දෙවියන්ගෙන් ඈත්වීමටත්, මෙලොව දුකටත්, වේදනාවටත්, මරණයටත් පාපය හේතුවූ බව පෙන්වයි.
- එහෙත් දෙවියන් වහන්සේ මිනිසා අත්නොහරින බව පෙන්වයි.
තව ද යාවේ සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේ හඳුන්වාදී ඇත්තේ සුපිරි මිනිසා ලෙස “මනුෂ්‍ය විලාශයෙන්” ය. මිනිසෙකු විස්තර කරන ආකාරයට උන්වහන්සේව විස්තර කර ඇත. (උන්වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස ක්‍රියා කරයි, ගමන් කරයි, කතා කරයි). මෙලෙස යාවේ සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේව මිනිසෙකු ආකාරයට විස්තර කර තිබෙන්නේ දෙවියන් වහන්සේ මිනිසාට ඉතා සමීපව වැඩ සිටින බව පෙන්වීමට ය.
යාවේ සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේ මිනිසාට සමීපව වැඩ සිටින බව පෙන්වන උදාහරණ දෙකක් පහත පරිදි දැක්විය හැකි ය.
- ආදම් සහ ඒවට ඇඳුම් සාදා දීම (උත්. 3:21)
- නෝවාගේ නෞකාවේ දොර වැසීම (උත්. 7:16)
එලොහිම් සම්ප්‍රදාය “E”
සුවිශේෂ ලක්ෂණ
මෙම සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේ හඳුන්වන්නේ “එලොහිම්” යනුවෙනි. “එලොහිම්” (Elohim) යන්නෙහි සිංහල අර්ථය දෙවියන් වහන්සේ යන්නයි.”එලොහිම්” (Elohim) සම්ප්‍රදායට “ඊ – E” අක්ෂරය භාවිතා කරන්නේ දෙවියන් වහන්සේට Elohim යන නම භාවිතා කල නිසා ය.
එලොහිම් සම්ප්‍රදාය ලියැවී ඇත්තේ ක්‍රි.පූ. 722 ට පෙර කාල වකවානුවක ය. මෙය ලියවී ඇත්තේ උතුරු රාජ්‍යය ආශ්‍රිතව ය. එලොහිම් සම්ප්‍රදායේ ප්‍රධාන නගරය ලෙස සැලකෙන්නේ ෂෙකෙම් නගරය යි. එලොහිම් සම්ප්‍රදාය තුළ විශේෂ තැනක් හිමිවී තිබෙන ආදී පියවරුන් නම් ජාකොබ් සහ ජෝශප් ය.
එලෙසම මෝසෙස්ගේ ආශිවාදය (ද්වී. 33) එලොහිම් සම්ප්‍රදාය තුළ ජාකොබ්ට සහ ජෝශප්ට විශේෂ තැනක් හිමිවූ බවට තිබෙන සාක්ෂිය කි. එලොහිම් සම්ප්‍රදාය පංච පුස්තකයේ ආබ්‍රහම් කතාවෙන් (උත්. 15) ආරම්භ වී මෝසෙස්ගේ මරණයෙන් (ද්වී. 34:4 6) නිම වේ.
එලොහිම් සම්ප්‍රදාය උත්පත්ති පොත හා නික්මයාම පොත්වල හරි අඩක් පමණ ද, ගණන් කතාව පොතේ පරිච්ඡේද 9 ක ද, ද්විතීය නීති සංග්‍රහය පොතේ පරිච්ජේද 3 ක ද (31, 33, 34 පරිච්ජේද) දක්නට ලැබෙන අතර ලෙවී ව්‍යවස්ථාවේ එලොහිම් සම්ප්‍රදාය අඩංගුව නැත.
ක්‍රි.පූ. 721 දී උතුරු රාජ්‍යය බිඳ වැටීමෙන් පසුව උතුරු රාජ්‍යයේ සිට දකුණු රාජ්‍යයට පැමිණි සරණාගතයන් විසින් මෙම සම්ප්‍රදාය දකුණු රාජ්‍යයට රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ.
භාෂාමය සහ සාහිත්‍යමය ශෛලිය
එලොහිම් සම්ප්‍රදායේ දක්නට ලැබෙන භාෂාමය සහ සාහිත්‍යමය විලාශයන් පහත පරිදි වේ.
- භාෂා ශෛලිය “ජේ” සම්ප්‍රදායට වඩා කලාත්මකය. සරළ ය. සෘජු ය.
- විස්තරාත්මක ශෛලියක් නැත.
- “ජේ” සම්ප්‍රදාය මෙන් ස්වභාවික නොවුවද, අදහස් කල්පනාකාරීව ඉදිරිපත් කර ඇත
- ඉතිහාසය ක්‍රමානුකූලවද, තර්කානුකූලවද උසස් ලෙස ඉදිරිපත් කර ඇත.
එලොහිම් සම්ප්‍රදායේ උසස් හීබෘ භාෂාවක් භාවිතා කර ඇත. ඊසාක්ගේ මහිමාන්විත යාගය (උත්පත්ති 22) එලොහිම් සම්ප්‍රදායේ උසස්ම සාහිත්‍ය කෘතිය ලෙස සැලකේ.
තේමා සහ ඉදිරිපත් කරන ධර්මය
එලොහිම් සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේ ආකාර කිහිපයකටම ඉදිරිපත් කර ඇත, ඒවා නම්,
- මිනිසාට වඩා මුළුමනින්ම වෙනස් වූ දෙවි කෙනෙක් ලෙස.
- මානව විලාශයක් නොමැති දෙවිකෙනෙක් ලෙස.
- මිනිස් අත්දැකීම් වලින් දුරස්ථ සහ මිනිසා සමඟ සමීප සබඳතාවක් නැති දෙවිකෙනෙක් ලෙස.
- දර්ශන, ස්වප්න, පණිවිඩකරුවන් (දේව දූතයන්) මගින් මිනිසාට කතා කරන දෙවිකෙනෙක් ලෙස.
- බහු දේවවාදී උත්තර රාජ්‍යයයේ අන් දෙවිවරුන්ට වඩා උසස් දෙවිකෙනෙක් ලෙස.
- දෙවියන් වහන්සේ සාක්ෂිකරුවෙකු නොව ගිවිසුමේ කොටස්කරුවෙකු ලෙස.
එලොහිම් සම්ප්‍රදායේ ඉදිරිපත් කර තිබෙන ප්‍රධාන තේමාවන් වන්නේ ගිවිසුමේ තේමාවයි. (නික්මයාම ප්‍රධාන තේමාවක් වේ). ඉශ්රායෙල් ජනතාව සහ දෙවියන් වහන්සේ අතර ඇති සම්බන්ධය විස්තර කිරීමට මෙම “ගිවිසුමේ තේමාව” උපයෝගී කරගෙන ඇත.
එලොහිම් සම්ප්‍රදායට අනුව දෙවියන් වහන්සේ හා මුහුණලා කතා කළ හැකි වූයේ මෝසෙස්ට පමණකි. (මිනිසුන් දෙවිඳුන් වෙතට ළං වූයේ භීතියෙන් සහ ත්‍රාසයෙනි – නික්. 3:6).
උතුරු හා දකුණු රාජ්‍යයන් දෙකෙහිම පැතිරුණු “ජේ” හා “ඊ” සම්ප්‍රදායන් දෙකටම පොදු කතා කිහිපයක් පහත පරිදි දැක්විය හැකි ය.
- දෙවියන් වහන්සේ ජනතාවට දේශයක් ගැන දුන් පොරොන්දුව.
- මිසරයේ පීඩන ගැන විස්තර
- මිසරයේ මිදීම – නික්මයාම
- පොරොන්දු දේශය අත්පත් කර ගැනීම
ද්විතීය නීති සම්ප්‍රදාය “D”
සුවිශේෂ ලක්ෂණ
ද්විතීය නීති සම්ප්‍රදාය ලියැවී ඇත්තේ ක්‍රි.පූ.722 – 621 සියවස කාලය තුළ ය. උතුරු රාජ්‍යය ආශ්‍රිතව මෙය ලියවී ඇත. ෂෙකෙම් නගරය ද්විතීය නීති සම්ප්‍රදායේ ප්‍රධාන නගරය ලෙස සැලකේ. ෂෙකෙම්හි පැවැත්වුණු වත්පිළිවෙත් අලුත්වැඩියා කිරීමේ මෙහෙයක් තුළින් “ඩී” සම්ප්‍රදාය බිහි විය.
ද්විතීය නීති සම්ප්‍රදාය දක්නට ලැබෙන්නේ ද්විතීය නීති සංග්‍රහයේ පමණි. උතුරු රාජ්‍යයේ වැටීමෙන් පසු ලේවීවරු තමන් සමඟ ගෙන ආ ආගමික සිරිත් විරිත් මෙම සම්ප්‍රදායේ ගැබ්ව තිබේ. ද්විතීය නීති සම්ප්‍රදාය අයත් වන්නේ ජොෂියා රජුගේ කාලයට (ක්‍රි.පූ. 639 – 609) ය.
ද්විතීය නීති සම්ප්‍රදායේ මෙම පොත ජොෂියා රජුගේ කාලයේ දේව මාලිගාවේ තිබී සම්බවී ඇති බවට විශ්වාස කෙරෙන අතර, විප්‍රවාසය ආරම්භයේදී එනම් ක්‍රි.පූ. 610 දී පමණ ද්විතීය නීති සම්ප්‍රදායේ නව සංස්කරණය සිදු වී ඇත.
ද්විතීය නීති සම්ප්‍රදායේ ඉතිහාසය අර්ථ දක්වා ඇත්තේ දෙවියන් වහන්සේ ජනතාවද දැක්වූ ආදරයේ ප්‍රතිරූපය ලෙස ය.
ද්විතීය නීති සම්ප්‍රදාය ගොඩනගා ඇත්තේ 2 රාජාවලියේ 22 පරිච්ඡේදයේ සඳහන් වන පැරණි ව්‍යවස්ථා පොත මුල්කරගෙන. බොහෝ දෙනෙකුගේ මතය අනුව ද්විතීය නීති සම්ප්‍රදාය ලියා ඇත්තේ ෂෙකෙම් හි නිතිය පිළිබඳ පූජක විශාරදයෙකු හෝ විශාරදයෝ අතින් ය.
මෝසෙස් හා ඔවුන්ගේ ක්‍රියාදාමයන්ට ද්විතීය නීති සම්ප්‍රදාය තුළ වැඩි අවධානය යොමු වී ඇත. සීනායි සිද්ධීන් සහ දෙවියන් වහන්සේගේ නීතිය දීම යන දෑ ද්විතීය නීති සම්ප්‍රදාය තුළ ඉස්මතු කර දක්වන්නට උත්සහ කරන ප්‍රධාන සිද්ධීන් වේ.
මෝසෙස් තුමා ද්විතීය නීති සම්ප්‍රදායේ එන ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වේ. ද්විතීය නීති සම්ප්‍රදාය අනුව එකම වන්දනා ස්ථානය ජෙරුසලෙම් දේව මන්දිරය වේ. ජොෂියා රජු ද්විතීය නීති සම්ප්‍රදාය ඉදිරිපත් කර ඇත්තේ මෝසෙස් තුමාගේ අනුශාසනා තුනක ආකෘතියකට ඇතුළත් කර ය.
භාෂාමය සහ සාහිත්‍යමය ශෛලිය
ද්විතීය නීති සම්ප්‍රදායේ භාෂා ශෛලිය අවවාදාත්මක සහ අනුශාසනාත්මක විලාශයක් ගනී. ද්විතීය නීති සම්ප්‍රදාය අවවාදාත්මක විලාශයකින් ඉදිරිපත් කර තිබෙන බවට සාධක ඇත. එය නම් ඉශ්රායෙල්වරුන්ට කෙලින්ම ආමන්ත්‍රණය කරන ලද අවවාද මාලා දෙකෙක් මෙහි අඩංගු වීමයි.
ද්විතීය නීති සම්ප්‍රදායේ අවවාදාත්මක විලාශයකින් ජනතාවට ආරාධනා කරන්නේ ගිවිසුම හා බැඳෙන්නටත්, ඊට පක්ෂපාති වන්නටත් ය.
තේමා සහ ඉදිරිපත් කරන ධර්මය
ද්විතීය නීති සම්ප්‍රදාය තුළ ඉදිරිපත් කරන ධර්මය, ආගමික පණිවිඩයන් මෙලෙස දැක්විය හැකි ය.
- ගිවිසුමට පක්ෂපාති වීමට නම් නීතිය පිළිපැදිය යුතුය.
- ගිවිසුමට පිළිතුරු දීම, නීතිය පිළිපැදීම දේව වන්දනාව බව.
- ගිවිසුමට පිළිතුරු දීම සෑම අවස්ථාවකදීම සිදුවිය යුතු බව.
- දේව වදනට සවන් දීමට ආරාධනා කරයි.
- දේව වචනය මගින් ප්‍රකාශ වන දෙවියන් වහන්සේ සියල්ල අභිබවා වැඩ සිටින බව.
- දේව දර්ශනයට පමණක් නොව හඬ ශබ්දයට පවා මිනිසා බිය වූ බව
- දෙවියන් වහන්සේ සියල්ල අභිබවා වැඩ සිටින බව.
- දෙවියන් වහන්සේ අන් හැම දෙවි කෙනෙකුටම වඩා වෙනස් බව. (ද්වී. 12:29-31)
දේව වචනයට සවන් දීමටය ද්විතීය නීති සම්ප්‍රදාය මගින් ජනතාවට ආරාධනා කරයි. ද්විතීය නීති සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේව විග්‍රහ කර ඇත්තේ දෙවියන් වහන්සේගේ මුහුණ, අත් පා ආදිය “ධර්මය විග්‍රහ කරන උපමාවක්” බවත් එමගින් උන්වහන්සේ බලය, ශක්තිය සහ වැඩ සිටීම ප්‍රකාශ කරන බවත් ය.
කොයි ආකාරයකට හෝ ප්‍රතිමා මගින් හෝ උන්වහන්සේ පිළිබිඹු කිරීම (ද්වී. 5:8) ද්විතීය නීති සම්ප්‍රදාය අනුව තහනම් වේ. ද්විතීය නීති සම්ප්‍රදාය තුළ ගිවිසුම් දාගැබ දෙවියන් වහන්සේගේ ආසනය නොව, දේව වචනය හෝ නීතිය තැම්පත් කර තිබෙන ස්ථානය ලෙස (ද්වී. 10:3-5) ගිවිසුම් දාගැබ නිර්වචනය කර ඇත.
ද්විතීය නීති සම්ප්‍රදාය අනුව තෝරාගත් ජනතාව හඳුන්වන්නේ පොදු සංඝයා හෝ සභාව ලෙස ය. ද්විතීය නීති සම්ප්‍රදාය අනුව එම සභාව දිරිගැන්විය යුත්තේ ජාතිය රැක ගැනීමට ය.
පූජක සම්ප්‍රදාය “P”
සුවිශේෂ ලක්ෂණ
බැබිලෝනියානු විප්‍රවාසයෙදී සිදුවුණු සිද්ධීන් නිසා ඉශ්රායෙල් ජනතාවගේ විශ්වාසය නව මාදිලියකට ඉදිරිපත් කිරීම සඳහා පූජක සම්ප්‍රදාය ලියවිල්ල සම්පාදනය කරන ලදී. පූජක සම්ප්‍රදාය සම්පාදනය කරන ලද්දේ පූජකවරුන් විසිනි.
ක්‍රි.පූ. 500 දී පමණ පූජක සම්ප්‍රදාය ලියැවී ඇත. පූජක සම්ප්‍රදාය අනෙක් සම්ප්‍රදායන් සමඟ මිශ්‍ර කර ඇත්තේ ක්‍රි.පූ. 422 කාල වකවානුවේ දී ය. ජුදා ප්‍රදේශයේ දකුණු රාජ්‍යයේ ජෙරුසලෙම හා බැබිලෝනියාව ආශ්‍රිතව පූජක සම්ප්‍රදාය ලියවී ඇත.
පූජක සම්ප්‍රදාය පහත දැක්වෙන කරුණු සඳහා විශේෂ තැනක් හිමි වේ.
- ජනවන්දනා වත්පිළිවෙත් හා පුජක චාරිත්‍ර වලට
- අභ්‍යන්තර පවිත්‍රභාවය හා ශුද්ධවන්තභාවයට
- ගතානුගතික අදහස් වලට
පූජක සම්ප්‍රදාය ලියවිල්ල සඳහා බොහෝ සෙයින් භාවිතා කර ඇත්තේ වංශාවලිය සහ සංඛ්‍යා ලේඛන ය. පූජක සම්ප්‍රදාය පංච පුස්තකයේ උත්පත්ති කතාවේ මුල් පරිච්ඡේදයෙන් ඇරඹී මෝසෙස්ගේ මරණය කොටසින් (ද්වී. 34:1-9) නිම වේ.
පූජක සම්ප්‍රදාය පහත දැක්වෙන පොත්වල දක්නට ලැබේ.
- නික්මයාම – පූජක සම්ප්‍රදායට අයත් විශාලම කොටස (අවසාන පරිච්ජේද 6) .
- ගණන් කතාව – පළමු පරිච්ජේද 10
- ලෙවී කතාව – සම්පුර්ණ කතාවම පූජක සම්ප්‍රදායෙන් ලියවී ඇත
- උත්පත්ති පොත සහ ද්විතීය නීති සංග්‍රහය – සුළු වශයෙන් ඇත
පූජක සම්ප්‍රදාය තුල දෙවියන් වහන්සේ ඉදිරිපත් කරන්නේ පහත පරිදි වේ.
- දෙවියන් වහන්සේට මනුෂ්‍ය ස්වරූපය ආරුඪ නොකරයි
- දෙවියන් වහන්සේ සියල්ලන්ටම ඉහළින් වැඩ සිටී
- දෙවියන් වහන්සේ අති උත්කෘෂ්ඨ ලෙස ඉදිරිපත් කරයි.
- දෙවියන් වහන්සේ මිනිසා අභිබවා දේව කැමැත්ත සහ වචනය මගින් ක්‍රියා කරයි.
භාෂාමය සහ සාහිත්‍යමය ශෛලිය
පූජක සම්ප්‍රදායේ දක්නට ලැබෙන භාෂාමය සහ සාහිත්‍යමය විලාශය නම්,
- පුන පුනා කීමක් දක්නට ලැබීම
- උදාහරණ ලෙස උදය උදා විය. එය ………….. දවස විය / විමසන සේක / සිදුකරන සේක.
- ඒකාකාර වීම
- අටුවා ටීකා ලෙස විස්තර කොට තිබීම
තේමා සහ ඉදිරිපත් කරන ධර්මය
පූජක සම්ප්‍රදාය තුළ ඉදිරිපත් කරන ධර්මය, ආගමික පණිවිඩයන් කිහිපයක් පහත පරිදි දැක්විය හැකි ය.
- ආරම්භයේදී මිනිසා දෙවියන් වහන්සේ සමඟත් මුළු විශ්වය සමඟත් සාමයෙන් විසී ය.
- දෙවියන් වහන්සේට යටත්ව අන් මැවිල්ල කෙරෙහි අධිපතිකම් කිරීමටත්, මැවීමේ කාර්‍යයට හවුල් වීමටත් ආරාධනා කරයි.
- සබත් නීතියට යටත් වීම දෙව් මිනිස් සබඳතාවේ සලකුණක් බව.
- පක්‍ෂපාති වූ අශිවාදය ලබා ජනතාව දේව අභිමුවෙහි ජීවත් විය යුතු බව.
පූජක සම්ප්‍රදාය අනුව දෙවියන් වහන්සේ මැවීම සඳහා යොදා ගෙන ඇත්තේ වචනයයි. පූජක සම්ප්‍රදාය අනුව දෙවියන් වහන්සේගේ බල මහිම ප්‍රකාශ වූයේ මෝසෙස්ට ය. එලෙසම පූජක සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේ සහ ජනතාව අතර මැදිහත්කරු වූයේ පූජකවරුන් ය.
පූජක සම්ප්‍රදායට අනුව දෙවියන් වහන්සේට විරුද්ධ වන්නෙකු කළ යුත්තේ චාරිත්‍රමය වන්දි ගෙවීමේ පිළිවෙතකට අනුකූලව කටයුතු කිරීම යි.
පූජක සම්ප්‍රදායට අනුව සබත් දිනයට සහ එදින ජනවන්දනාවට විශේෂ ස්ථානයක් ලැබුණු අතර සබත ශුද්ධ වූ දවසක් ලෙස සැලකීය. සබත විවේක ගන්නා දිනයක් ලෙස සලකනු ලැබී ය. එලෙසම සබත් දිනය දෙවියන් වහන්සේව සම්මුඛ වන දිනයක් ලෙස සලකනු ලැබී ය. (නික්. 24:16)