ක්‍රිස්තියානින්ගේ පිහිටෙනි (දේවමාතා ප්‍රාර්ථනාව ඇසුරින් – 20 කොටස)
ලතින් ප්‍රාර්ථනාවේ හමුවන AUXILIUM CHRISTIANORUM යන යැදුම් පාඨය ඔස්සේ සිංහලෙන් “ක්‍රිස්තියානින්ගේ පිහිටෙනි” හා ඉංග්‍රීසි බසින් Help of Christians යන අයැදුම් ගොඩනැඟී ඇත.
මරියෝත්තමාවෝ හැම කල්හීම දේව ජනතාවගේ සහයට ඉදිරිපත් වූහ. එදා කානාහී විවාහ මංගල්‍යය අවස්ථාවේ පිහිට වූ සේ ඕතිමෝ සැමකල්හීම ක්‍රිස්තියානින්ට පිහිට වන්නාහ.
ඈත අතීතයේ පටන් ග්‍රීසියේ හා ඊජිප්තුවේ මුල් කිතුනුවෝ දෙව්මවුන් හැඳින්වීමට බොඑතෙයියා (Boeteia) යන වදන යොදාගෙන ඇත. එයින් අදහස් කෙරුණේ ස්වර්ගයේ සිට ආධාර රැගෙන එන පුද්ගලයා යන්නයි.
ශු. ජෝන් ක්‍රිසොස්තම් තුමා 345 දී දෙව්මවුන් අරබයා යදින්නෙ “අහෝ මරියනී, ඔබ දෙවිඳුන්ගේ බලවන්තම පිහිටාධාරයයි” යනුවෙනි.
මෙහිදී වෙසෙසින්ම අවධානයට යොමුවන්නේ විවිධ දුර්ලබ්ධීන් හා වැරදි ක්‍රිස්තියානි ඉගැන්වීම් පැතිර ගිය අවස්ථාවල ඒවා මැඩලීමට මරියෝත්තමාවෝ ඉදිරිපත් වූ අයුරුත් ඒ වෙනුවෙන් ඕතොමෝ සාන්ත සභාවට පිහිට වූ අයුරුත් ය. ඒ ඔස්සේ දේවමාතාවන් හට ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මෑණියන් යන විරුදාවලිය ඈඳී ඇත.
මෙහිදී සුවිශේෂී ලෙස කරලියට එන්නේ ක්‍රි.ව. 1571 දී ඔටෝමන් තුර්කිවරුන් පරදා කිතුනු හමුදා ලෙපන්ටෝ නම් ස්ථානයේදී ලද ජයග්‍රහණයයි. එහි ප්‍රතිඵලයක් ලෙස V පියුස් පාප් වහන්සේ “ක්‍රිස්තියානින්ගේ පිහිටෙනි” යන අයැදුම දේවමාතා ප්‍රාර්ථනාවට එකතු කළේය.
පසුකාලීනව 1814 දී VII පියුස් පාප් වහන්සේ තමන් නැපෝලියන්ගේ සිරභාරයෙන් මිදීම උදෙසා දෙව්මවුන්ට කරන ස්තුතියක් ලෙස මැයි මාසයේ 24 දා දිනය ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර මෑණියන්ගේ මංගල්‍යය ලෙස ස්ථාපිත කළේය.
පසුකාලීනව පිහිටාධාර මාතාවන් සම්බන්ධයෙන් වූ භක්තිය ප්රවර්ධනයෙහිලා දායක වූයේ ශු. ජෝන් බොස්කෝ තුමාය. එතුමා ඇරඹූ සැලේසියානු නිකායේ ආරක්ෂිකාව ලෙස නම් කෙරුණේද පිහිටාධාර මෑණියන් ය.
පැරණි යැදුම්වලද මේ දැක්ම හමුවේ. දේවමෑණියන්ට යාච්ඤාවේ අපි යදින්නෙ ” ස්වාමිදරුවන්ගේ සුවිශුද්ධවූ මෑනියනී අපි ඔබගේ සරණය සොයමිනි එමු…” යැයි කියමිනි. මංගල්‍යය ආරාධනාවේ අපි යදින්නෙ “අපේ ආධාරයෙනි මංගල්යයස්තු ” කියමිනි.
සදාසරණ මාතා බැතිය ද මේ සමඟ නෑකම් කියන්නකි. පිහිටාධාර මෑණියන්ට කැපකළ බැසිලිකා දේවස්ථානය ඉතාලියේ ටියුරින් නුවර පිහිටා ඇති අතර මෙරට ඒ නමින් කැපකළ දේවස්ථානයක් මීගමුව සැලේසියානු පැවිදි ආරාමය තුළ පිහිටා ඇත.
මා මව්නී අති ප්‍රේමනීය, මේ ලෝකේ මගෙ ආධාර ……..
නිති සරණය දෙන මරිමව කඩ නොව…….
දුබල අපට සෑමදා සරණ වන මවේ……
ප්‍රශංසනීය මාතෘනි ලබා දෙන් පිහිටෙනි…..
ආදි ගීතිකා පද රැසක් මීට සාක්ෂි දරයි.
ක්‍රිස්තියානින්ගේ පිහිටෙනි, අප නිසා යාච්ඤා කළ මැනව.
සටහන : මාධව ජයකොඩි