shudaathma agamana mangalyaya

පෙන්තකොස්ත දිනය! මෙය වසරේ අනෙකුත් දිනවලට වඩා සුවිශේෂී දිනයක්. මීට වසර 2000 කට පමණ පෙර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගාරෝහණය වී දින 50 කට පසු, උන්වහන්සේගේ ගෝලයන් ජේරුසලමේ උඩුමහල් කාමරයක රැස්ව සිටියදී සිදු වූ අතිමහත් සිදුවීමක් අපි අද සිහිපත් කරමු.

එය සරලවම සුළඟක හෝ ගින්නක දර්ශනයක් නොව, මනුෂ්‍ය ඉතිහාසයේ ගමන් මග සදහටම වෙනස් කළ, දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියාවක් විය.

ශුද්ධාත්මයාණන්ගේ පහළ වීම අලුත් ගිවිසුමේ සැබෑ ආරම්භය සනිටුහන් කළේය. එය තවදුරටත් චාරිත්‍ර වාරිත්‍රවලට හෝ දේවමාළිගාවකට සීමා වූ ආගමක් නොවීය. ශුද්ධාත්මයාණන් තුළින් දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ සෙනඟ තුළට, ඔවුන්ගේ හදවත් තුළටම වැඩිය සේක. “ඉන්පසු, සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරමි.” (ජොවෙල් 2:28) යන අනාගතවාක්‍යය සැබෑ වූයේ මෙදිනයි.

පැරක්ලෙටෝස් (Paracletos) කියන්නේ ග්‍රීක වචනයකි. අලුත් ගිවිසුමේ, විශේෂයෙන්ම ජොහන් ශුභාරංචියේ, ශුද්ධාත්මයාණන් විස්තර කරන්න මේ වචනය පාවිච්චි කර තිබේ. සිංහල බයිබලයේ මේ වචනය විවිධ ආකාරවලින් පරිවර්තනය කර ඇත.

  • අස්වැසිලිදායකයා
  • උපකාරකයාණෝ
  • සැනසිලිදායකයා
  • ආරක්ෂකයා
  • මැදිහත්කරු
  • නීතිඥයෙක්

මේ හැම වචනයකින්ම ශුද්ධාත්මයාණන්ගේ කාර්යභාරයේ එක් පැතිකඩක් ඉස්මතු කරනවා. “Paracletos” කියන වචනය සෑදී තියෙන්නේ ග්‍රීක වචන දෙකක එකතුවෙනි.

  • (para) – “ළඟ”, “පැත්තෙන්”, “සමඟ”
  • (kaleo) – “කැඳවනවා”, “ආරාධනා කරනවා”

මේ අනුව, “Paracletos” කියන්නේ “පැත්තෙන් කැඳවා ගත් තැනැත්තා” හෝ “උදව්වට ළඟට එන තැනැත්තා” කියන අදහසයි. පුරාණ ග්‍රීක සමාජයේ මේ වචනය නීතිමය සන්දර්භයක් තුළ නිතරම භාවිතා වුණා.

උසාවියේදී යමෙකුට සහය වෙන්න, උපදෙස් දෙන්න, හෝ වෙනුවෙන් කතා කරන්න පැමිණෙන පුද්ගලයෙක්ව “Paracletos” කියලා හැඳින්වූවා. ඒ කියන්නේ ඔහු නීතිඥයෙක්, උපදේශකයෙක් හෝ ආරක්ෂකයෙක්.
ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගයට ගිය පසු, උන්වහන්සේගේ ගෝලයන්ට තනිවෙන්නට ඉඩ නොදී, තමන්වහන්සේ වෙනුවට පැමිණෙන කෙනෙක් ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේව පොරොන්දු වුණා (ශු.ජොහන් 14:16, 14:26, 15:26, 16:7).

මේ අනුව, ශුද්ධාත්මයාණන්වහන්සේ අපට,

  • උපකාර කරන සේක: අපගේ දුර්වලතා, අපගේ නොදැනුවත්කම සහ අභියෝග හමුවේ අපට ශක්තිය හා මග පෙන්වීම ලබා දෙන සේක.
  • සැනසීම දෙන සේක: දුක, බිය, සහ වේදනාවන් හමුවේ අපව සනසමින්, බලාපොරොත්තුව ලබා දෙන සේක.
  • උපදෙස් දෙන සේක: දෙවියන්වහන්සේගේ කැමැත්ත තේරුම් ගැනීමටත්, සත්‍යය කරා අපව ගෙන යාමටත් උපකාර කරන සේක.
  • මැදිහත් වන සේක: අප වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත් වී යාච්ඤා කරන සේක (රෝම 8:26-27).
  • ආරක්ෂා කරන සේක: අන්ධකාරයේ බලවේගවලින් සහ නොමඟ යෑම්වලින් අපව ආරක්ෂා කරන සේක.

මෙම සිදුවීමෙන් පසු සිදු වූ වෙනස්කම් මොනවාදැයි සිතා බලමු. බියෙන් හා සැඟවී සිටි ගෝලයන්, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් පිරී, නිර්භීතව හා බලවත් ලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කරන්නට පටන් ගත්හ. පේදුරු තුමන්ගේ එක් දේශනාවකින් පමණක් තුන්දහසක් දෙනා ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරුණේ ශුද්ධාත්මයාණන්ගේ බලය නිසාවෙනි.

මේ අනුව, “Paracletos” යන වචනයෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ ජීවිතයේ ඉතා සමීප, ක්‍රියාශීලී සහ අත්‍යවශ්‍ය භූමිකාවක් ඉටු කරන බව පැහැදිලි කරනවා. උන්වහන්සේ අපට නිරන්තරයෙන්ම සහයෝගය දෙමින්, අපව බලගන්වමින්, දෙවියන්වහන්සේගේ අරමුණු ඉටු කිරීමට අපව සූදානම් කරන සේක.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *