කිතුනු දිවියේ පදනම ක්‍රිස්තු අභිරහස වන පාස්කු අභිරහස හා බැඳී පවතී.
අපගේ දිවියේ ස්වාමියාණෝ ද, රජාණන් ද ලෙස කිතු සමිඳුන් මෙලොව උදා කළ ඒ ගැලවීම ඔවුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය තුළින් මෙලොව පරලොව සියල්ලන්ට ප්‍රකාශ කොට දෙවා වදාළ සේක.
කිතුනුවන් ලෙස අපගේ අධ්‍යාත්මික දිවියේ පරමාර්ථයන් වන පරිශුද්ධවත් බව හා ගැලවීම සනාථ කරන්නට ඔවුන් වහන්සේ මෙමඟින් අපට කදිම මහා ආදර්ශයක් ලබා දුනි.
කිතුනු දිවියේ වරප්‍රසාදීය සමය වන චතාරික සමය ක්‍රම ක්‍රමයෙන් පසු කරමින් ඔවුන් වහන්සේගේ පාස්කු අභිරහස සුපරිස්මරණය සුදානම් ව සිටින නව ගිවිසුමේ දේව ජනතාවක් ලෙස ශුද්ධ වූ සතිය අපට සුවිශේෂී වේ.

ගොබ් ඉරුදින හෙවත් දුක්ඛෝත්සවයේ ඉරුදින
“බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට,
එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී,
යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ
යයි සියොන් වැසියන්ට දන්වන්න”
ශු. ලියවිල්ලේ (මතෙව් 21:1-15, මාක් 11:1-11, ලූක් 19:28-44, ජොහන් 12:12-19) යන පාඨ තුළ දක්නට ඇති ලෙස ජේසු සමිදාණෝ රාජශ්‍රීයෙන් ශු. නගරය වූ ජෙරුසලමට පිවිස, ගැලවීමේ කර්තව්‍යයට මුල පිරූ අයුරු මැනවින් පෙන්වා දී ඇත.
මෙහි දී තමන් වහන්සේගේ දූත මෙහෙවර සාක්ෂාත් වන්නට ඔවුන් වහන්සේ සැබෑ රජාණන් ලෙස මෙලොව සියල්ලන්ට ප්‍රකාශ වූ සේක. ශු. සතියේ ආරම්භක දිනය ලෙස සැලකෙන මෙදින අදටත් ජනවන්දනා වසරේ සුවිශේෂී දිනයකි.

ගොබ් කොළ
කිතුනු දිවියේ රජාණන් ලෙස කිතු සමිදාණන්ට යටත් වීමේ හා සාක්ෂි දැරීමේ සලකුණක් ලෙස ගොබ් කොළ අතින් ගෙන පෙරහැර පැවැත්වීම කිතුනුවන් විසින් ගොබ් ඉරුදින සිදු කරනු ලබයි.
මෙදින දිව්‍ය පූජාවේ ශු. ලියවිල්ල තුළ එකී දුක්ඛෝත්සවය පිළිබිඹු කරන්නට සමදර්ශක සුභාරංචි වලට අනුව ජේසු සමිදාණන්ගේ දුක්ප්‍රාප්තිය ප්‍රකාශ කරනු ලැබේ.

මහ බ්‍රහස්පතින්දා හෙවත් ප්‍රේමාඥාවේ බ්‍රහස්පතින්දා
මෙදින අපට ඇති සුවිශේෂී වටිනාකම වන්නේ ශු. ලියවිල්ල පෙන්වා දෙන අයුරින්,
- ප්‍රේමයේ මහා ආඥාව ප්‍රකාශ කිරීම (ජොහන් 13:31-35),
- දිව්‍ය සත්ප්‍රසාදය සහ පූජකවරය යන දේව ප්‍රසාද නිධාන ස්ථාපිත කිරීම (ලූක් 22:14-23, මතෙව් 26:26-30, මාක් 14:22-36, 1 කොරින්ති 13:1-20) සහ
- සැබෑ නායකත්වයේ සහ බැහැපත්කමේ සලකුණ ලෙස පාද දෝවනය කිරීම (ජොහන් 13:1-20) යන සිද්ධීන් තුන වේ.
- මෙදින මල් උයනේ යාච්ඤාව සංකේතවත් කරමින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ විශේෂ මණ්ඩපයක් වෙත වැඩම කොට, සියලු දෙනා උන්වහන්සේ සමඟ ගැඹුරු යාච්ඤාවකට සම්බන්ධ වේ.
මෙදින උදය කාලය තුළ සැමරිය යුතු එක් දිව්‍ය පූජාවක් ඇත. එනම් ශු. තෛලය ආසිරි ගැන්වීමේ දිව්‍ය යාගය සහ පූජක පොරොන්දු අලුත් කිරීමේ දිව්‍ය යාගයයි. මෙය පදවියේ රදගුරුතුමා ස්වකීය පූජක සංඝය සමඟ සිදු කරයි. එනමුඳු ප්‍රායෝගික හේතුත් මත මෙය ශු. සතියේ ඕනෑම දිනයක පැවැත්වීමට අවසර ඇත.
එදින සවස (හිරු බැස්මත් සමඟ ම) පාස්කු දින ත්‍රිත්වය ඇරඹේ. එය සංකේතාත්මක ව පිළිබිඹු කරමින් දිව්‍ය යාගය තුළ දී මහිම ගීය ගායනා කරනු ලබයි. ඒ සමඟම පාස්කු පිළිවෙත ඇරඹෙන අතර එය දින ත්‍රිත්වයක් පුරා ගලා යයි. කතෝලික දේව වන්දනා පිළිවෙතේ දීර්ඝතම මෙන් ම ගාම්භීර පිළිවෙත මෙය වේ.
දිව්‍ය සත්ප්‍රසාදය සහ පූජකවරය ස්ථාපිත කරන ලද්දේ අද වැනි දිනකය
චතාරිකයේ නිමාව සනිටුහන් කරමින් මෙතැන් සිට අප පාස්කු දින ත්‍රිත්වයට (මහා තුන්දින ධ්‍යානය) පිවිසෙන්නෙමු. නොහොත් කතෝලික දේව වන්දනා පිළිවෙතේ ප්‍රධාන ම පිළිවෙත ආරම්භ කරන්නෙමු. මෙම පිළිවෙත පාස්කු ඉරුදින දක්වා අඛණ්ඩව ගලා යයි. කිතුනු අපගේ දිවියේ කේන්ද්‍රස්ථානය සහ ප්‍රධානතම සංසිද්ධිය වන කිතු තුමන්ගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය යන පාස්කු අභිරහස සුපරිස්මරණය කිරීමට බැති සිතින් පෙළ ගැසෙමු.
මහිම ගීයට හැඳින්වීම
අද දිව්‍ය යාගය තුළ දී, දේව වන්දනා වසරේ උතුම් ම සමය වන පාස්කු දින ත්‍රිත්වයේ ආරම්භය සනිටුහන් කරමින් සහ ස්වාමීන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කිරීමට ප්‍රවිෂ්ඨ වීම සංකේතවත් කරමින්, මහිම ගීය ගායනා කරනු ලබයි. ඒ අවස්ථාවේ දී දේවස්ථානයේ සීනු නාද කරන අතර මෙතැන් පටන් ආලේලුයියා සෙනසුරාදා දක්වා දෙව් මැදුරේ සීනු නාද කිරීම සහ සංගීතය වාදනය කිරීම නවතා දමා දුක් ප්‍රාප්තියේ කටුක බව පිළිබිඹු කරන්නට වද බෙරය (CLAPPER) නාද කෙරේ. මෙමගින් දෙසවනේ නිරාහාරය සංකේතවත් කෙරේ.
පාද දෝවනය
ජොහන්ශුභාරංචියේ 13 වන පරිච්ඡේදයට අනුව පුරාණ පාස්කු පිළිවෙතේ පාද දෝවනය දාසයන් විසින් සිදු කරන ලද ක්‍රියාවක් වුව ද, එදා ක්‍රිස්තුස් වහන්සේ විසින්, තම සේවකකම සහ නායකයාගේ බැගෑපත් බව පෙන්නුම් කරමින්, තම ගෝලයන්ගේ පාද දෝවනය කරන ලදි.
මෙම සැබෑ ශ්‍රාවකත්වය සහ බැගෑපත්කමට නව අරුතක් එක් කරමින් අද දිනයේ දී පූජාප්‍රසාදි තුමන් විසින් තෝරාගන්නා ලද විශ්වාසිකයන් 12 දෙනෙකුගේ පාද දෝවනය කරනු ලැබේ. මෙමගින් නව ගිවිසුමේ නායකත්වයට සහ ශ්‍රාවකත්වයට කදිම නිදසුනක් දේව ජනතාවට අත්දැකීමට සලස්වනු ලැබේ.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩම කිරීම
ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියට පෙර, උන්වහසේ තම ගෝලයන් සමඟ මල් උයනට ගොස් තනිව තම පියාණන් සමඟ යාච්ඤා කළ සේක. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ විශේෂ මණ්ඩපයක් කරා වැඩම කිරීමේ පිළිවෙත තුළින් එදා ජේසුස් වහන්සේ මල් උයන කරා ප්‍රවිෂ්ඨවීමේ සිද්ධිය සංකේතවත් කරන අතර අද දින දිව්‍ය යාගයෙන් පසුව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ප්‍රසිද්ධ වන්දනාව සඳහා ස්ථාපිත නොකෙරේ.
තවද දිව්‍ය සත්ප්‍රසාද නිවහන හා පූජාසනය හිස්ව තබන අතර පූජාසනයේ ඇතිරිලි සියල්ල ඉවත් කරනු ලැබේ.

මහා සිකුරාදා
ජේසුස් වහන්සේ කපාල කඳු මුදුනේ කුරුස ගසක තුන් පැයක් එල්ලී සිට තම ප්‍රාණය ලෝක සත්ත්වයා වෙනුවෙන් පූජා කළ දිනය මහා සිකුරාදා ලෙසින් හඳුන්වනු ලැබේ. මෙදින කිතුනුවෝ,
- තම ස්වාමින් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහිපත් කරමින් මනස්ථාපනයෙන් ගත කරති
- එක්වරු ශීලය රකිති
- පාද නමස්කාරයේ යෙදෙති
- සවස් භාගයේ දේවස්ථානයේ දුක්ප්‍රාප්ති මෙහෙයට සහභාගී වෙති
- කුරුසිය සිපාචාර කරති
- අවසානයේ ක්‍රිස්තුස් වහන්ස්ගේ ශ්‍රී දේහය පාමුල වැටී එතුමන්ට ගෞරව දක්වති

මුල් යුගයේ සිට ම මහා සිකුරාදා දින මනස්ථාපනයේ, ශෝකයේ සහ දැඩි නිරාහාරශිලයේ දිනයක් ලෙස සැලකුණි. මහා සිකුරාදා මෙහෙයේ ප්‍රධාන කොටස් තුනක් දැකිය හැකිය. එම කොටස් එකිනෙකට සම්බන්ධතාවයෙන් යුක්තය.
බොහෝ රටවල මහා සිකුරාදා දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ය. මෙදින ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ සුවිශේෂ අවස්ථා විදහා දක්වන පාස්කු නාට්‍ය තැන තැන වේදිකා ගත වේ. පසන්, ලතෝනි ගායනා මෙහි දී ඉදිරිපත් කිරීම සිරිතකි. ශුද්ධෝත්තම පියතුමා, ශු. සභාව, සභා පාලකයන්, රාජ්‍ය නායකයන්, කිතු සමිඳුන් හඳුනාගෙන නොමැති පුද්ගලයන්, ජුදා ජාතිකයන්, රෝගීන්, සිරකරුවන් වැනි පීඩා වූවන් උදෙසා මහා සිකුරාදා දින දේවස්ථානය තුල විශේෂ යාච්ඤාවක් පවත්වනු ලැබේ.
ශ්‍රී කුරුසියේ වන්දනාව
පෙරහරකින් ගෙන එන දම් හෝ සුදු පැහැති රෙදි කඩකින් වැසූ කුරුස ප්‍රතිමාව අවස්ථා 3 ක දී කොටසින් කොටස නිරාවරණය කර කිතුනු බැතිමතුන්ට පෙන්වමින්, එය සිපාචාර කිරීමක් සිදු කරයි. මෙය ජෙරුසලමේ සභා චාරිත්‍ර වලින් ගලා ආ සම්ප්‍රදායකි.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දීම
මෙම පිළිවෙත මුල් කාලයේ මහා සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබුණි. මෙය, මධ්‍යතන යුගය වන විට ලොව පුරා කිතුනු බැතිමතුන් අතර ඇති වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි වූ භක්තියාදරය සහ එවකට සිටි සාන්තුවරුන්ගේ ඉගැන්වීම් පදනම් කොටගෙන ඇතිවූ පිළිවෙතකි.
මහා සිකුරාදා දේව වාක්‍ය පිළිවෙත
- පළමු දේව ප්‍රකාශනය: යෙසායා 52:13 – 53:12
- දෙවන දේව ප්‍රකාශනය: හෙබ්‍රෙව් 4:14-16 – 5:7-9
- සුවිශේෂ වාක්‍ය: ජොහන් 18:1 – 19:2
අද දේව වාක්‍ය තුලින් පිළිබිඹු වන අදහස නම් “කීකරුමකම” ය.
- ලෝකයට පාපය සහ දුර්විපාක පැමිණියේ ආදම් සහ ඒවගේ අකීකරු කම නිසා ය. පළමුවන දේව ප්‍රකාශන තුළ දුක් විඳින සේවකයාගේ කීකරුකම ඉශ්රායෙල් ජනතාවට ගෙන එන ගැලවීම පෙන්වයි.
- හෙබ්‍රෙව් වරුන්ට ලියන ලිපිය, කීකරුවීම කොතරම් දුෂ්කරදැයි කීමට, දේව පුත්‍රයා පවා කඳුළු, දුක් ගැහැට මැද කීකරුකම උගත් බව මතක් කරයි.
- කීකරුවීම, එඩිතරවීමක් ලෙස පෙන්වා දීමට ශු. ජොහන් සුවිශේෂය ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය තුළ “එඩිතර වීරත්වයක්” පෙන්වයි.
කිසිවෙකුට උන්වහන්සේ පාලනය කළ නොහැකිය. අත්අඩංගුවට ගන්නට ආ සොල්දාදුවන් බිම වැටීම, තමන්ට අසාධාරණ විනිශ්චයක් ලබා දුන් පුද්ගලයාට මරණ මංචකයේ සිටත් අභියෝග කිරීම, පේදුරු බිය වැදී උන්වහන්සේව ප්‍රතික්ෂේප කරද්දීත් උන්වහන්සේ එඩිතරව තම අනන්‍යතාවය තහවුරු කිරීම තුළින් මේ එඩිතර ක්‍රිස්තුන් වහන්සේව අපට ඉදිරිපත් කරයි.
එසේ නම් මහා සිකුරාදා දින අපට “මළ ගමක්” නොවේ. හඬා වැලපෙන අවස්ථාවක් නොවේ. මහා සිකුරාදා යනු ක්‍රිස්තුස් වහන්සේ මෙන් එඩිතරව කිතුනු වටිනාකම ජීවත් කරවමින්, සාක්ෂි දරමින් නිර්භීත ශ්‍රාවකයන් වන්නට, දේව ආරාධනාවකි.
ආලේලුයියා සෙනසුරාදා
ලොව පුරා විසිර සිටින සියලුම ක්‍රිස්තු භක්තිකයන්ට අති සුවිශේෂ වූත් අති උතුම් වූත් රාත්‍රියක් ලෙස ශුද්ධ වූ සභා මාතාව ආලේලුයියා සෙනසුරාදා රාත්‍රිය නම් කරයි. එදා දෙවිපියාණන් වහන්සේ ආදි මව්පියන්ට පොරොන්දු වූ ආකාරයට සකල මිනිස් වර්ගයා පාපයෙන් මුදවා ගැනීමට තම එකම පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මනුෂ්‍ය ස්වරූපයෙන් මෙලොවට ඒවා වදාළ සේක.
අවසානයේ එතුමන් අතිශයින් දුක්කිත් වූත් කුරිරු වූත් කුරුසියේ මරණයකට පත්කරන ලදි. එහෙත් උන්වහන්සේ පරාජය කිරීමට මරණයට පවා නොහැකි විය. මරණයෙන් පසුව උන්වහන්සේ විජයග්‍රහණයෙන් 3 වන දා උත්ථාන වූ සේක. මේ උත්ථානයත් සමඟම උන්වහන්සේ අප ජීවිත නව මගකට යොමු කරමින් පාපිෂ්ඨ ජීවිතයෙන් අප එතෙර කළ සේක.
මේ රාත්‍රියේ ශු. සභා මාතාව එක් පවුලක් ලෙසට එක්වී සිටින්නේ අප ගැලවුම්කරුවාණන්ගේ විජයග්‍රාහී උත්ථානය සැමරීමටයි. උත්ථාන වූ අප ගැලවුම්කරුවාණන් සදාකාලිකව අප මධ්‍යයේ වැඩ වසන සේක.
ආලේලුයියා සෙනසුරාදා පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය
මෙම මෙහෙය තුළ දක්නට ලැබෙන විවිධ සංකේත සහ සලකුණු තුළින් උත්ථානවූ සමිඳාණන් අපට අනාවරණය වන සේක. මෙදින පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය ප්‍රධාන කොටස් 4 කින් සමන්විත ය.
- ආලෝකයේ මෙහෙය
- ශ්‍රී ශුද්ධ වූ දේව වාක්‍ය පිළිවෙත
- ප්‍රසාද ස්නාපන පිළිවෙත
- දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත
මෙහෙයේ සැකැස්ම
- සම්පූර්ණ මෙහෙය සඳහා හැඳින්වීම
- ආලෝකයේ මෙහෙය
- ශ්‍රී ශුද්ධ වූ දේව වාක්‍ය පිළිවෙත
- සුරදූත ගීය
- පොදු යැදුම
- සුවිශේෂය සහ දේශනය
- ප්‍රසාද ස්නාපන පිළිවෙත
- විශ්වාසිකයින්ගේ යැදුම්
- පඬුරු පෙරහැර
- දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත
- අවසන් පිළිවෙත
ආලෝකයේ මෙහෙය
මෙම මෙහෙය ප්‍රධාන කොටස් 4 කින් සමන්විත ය.
- ගින්දර ආශීර්වාදය
- පාස්කු ඉටිපහන් දැල්වීම සහ සලකුණු කිරීම
- පහන් පෙරහැර
- පාස්කු මංගල ගීතය
සම්පූර්ණ මෙහෙය සඳහා හැඳින්වීමෙන් පසුව දෙව් මැදුරේ පහන් සියල්ල නිවා දමන අතර ආලෝකයේ මෙහෙය ආරම්භ කිරීම සඳහා හැඳින්වීමක් කරනු ලැබේ. එළිමහනක තනන ලද ගිනිමැලයක් පියතුමා විසින් දල්වා ගින්දර ආශීර්වාද කරන අතර එමගින් අන්ධකාරයේ ගිලී සිටින අපට ක්‍රිස්තුස් වහන්සේ සදාතන ආලෝකය බව පසක් කර දෙයි.

- A – Ω ඇල්ෆා සහ ඔමේගා – ජේසුස් වහන්සේ ආරම්භයත් අවසානයත් වන සේක
- ගින්දර – ජේසුස් වහන්සේගේ උත්ථානය
- කුරුසිය – ජේසුස් වහන්සේ හා සදාකාලික ජීවිතය
- ඇණ පහ – ජේසුස් වහන්සේගේ ශ්‍රී වණ කැළල්
- වර්ෂය – වර්තමාන වසර – දෙවිඳුන්ගේ සදාකාලික විසීම
ඉන් දල්වන පාස්කු ඉටි පහන හා එහි යොදා ඇති සංකේත අපට පසක් කර දෙන්නේ,
- කුරුසියේ සෘජු රේඛාව – ක්‍රිස්තුස් වහන්සේ ඊයේත් අදත්
- කුරුසියේ හරස් රේඛාව – ආරම්භය සහ අවසානය ද
- කුරුසියේ උඩ A අකුර – මුලකුර හා
- කුරුසියේ යට Ω අකුර – අග අකුර ද වන සේක.
- වසරේ පළමු අංකය – ඔවුන් වහන්සේට කාලයත් යුගයත් අයිතිය
- වසරේ දෙවන අංකය – ඔවුන් වහන්සේට අනන්ත කාලයේ දී ද
- වසරේ තුන්වන අංකය – සෑම යුගයෙහිම ද
- වසරේ සතරවන අංකය – මහිමය සහ ආධිපත්‍ය අත් වේවා.
ඉටි පහනේ කුරුසි ආකාරයෙන් සවි කරන ලද ඇණ 5 – ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී වණ කැළැල් 5 සංකේතවත් කරයි.
- ක්‍රිස්තු සමිදාණෝ
- තමන් වහන්සේගේ ප්‍රභාවත්
- සිරි වණ කැළැල් මගින්
- අප ආරක්ෂා කර
- සුරකින සේක්වා

දේව ජනයා තම අත ඇති ඉටි පහන් දල්වාගෙන පහන් පෙරහැරට සහභාගි වෙමින් උන්වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරයි. එම පෙරහැරෙන් දේවස්ථානයට ඇතුළුවන ජනයා පාස්කු මංගල ගීතය ගායනා කරනු ලබයි.

පාස්කු මංගල ගීතය සඳහා හැඳින්වීම
ශු. සභා සම්ප්‍රදායේ පැවත එන ඉතා පැරණි ප්‍රශංසා ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකි ය. මෙමගින් ගැලවීමේ ඉතිහාසයේ දෙවි පියාණන් පෑ වික්‍රමයන් පිළිබඳවත් උන්වහන්සේ අප ආදි මව්පියන්ට පොරොන්දු වූ ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධීරයෙන් අපගේ පාපිෂ්ඨ ජීවිත සෝදා උන්වහන්සේගේ උත්ථානය මගින් අපට නව ජීවිතයක් ලැබුණු බවත් පසක් කර දෙයි.
*** මෙම අවස්ථාවට ජනතාව සහභාගී වන්නේ පාස්කු ඉටි පන්දම් දල්වාගෙන ය.
ශ්‍රී ශුද්ධ වූ දේව වාක්‍ය පිළිවෙත
මෙය පාස්කු පූර්ව රාත්‍රී මෙහෙයේ දෙවන අදියරයි. පුරාණ ගිවිසුමෙන් ගත් දේව වාක්‍ය හතකුත්, නව ගිවිසුමෙන් ගත් දේව වාක්‍ය දෙකකුත් (සුවිශේෂය ඇතුළුව) මෙහි දී මෙනෙහි කරනු ලැබේ.
පුරාණ ගිවිසුමෙන් ගත් පාඨයන්ගෙන්, දෙවියන් වහන්සේගේ මැවිල්ලේ මුදුන් මල්කඩ මනුෂ්‍යයා බවත්, මිනිසා පාප අඳුර තුළ මංමුලාව සිටිය දී දේව ආදරය මිනිසා පසුපස ලුහුබැඳ ආ ආකාරයත් අපට පසක් කර දෙන අතර, නව ගිවිසුමේ පාඨයන් තුළින් ජේසුස් වහන්සේගේ උත්ථානයේ මහිමයත් අපට කියාපායි.
ශ්‍රී ශුද්ධ වූ දේව වාක්‍ය පිළිවෙත
පළමු දේව ප්‍රකාශනයට හැඳින්වීම
සියලු බලැති දෙවිඳුන් මුළු විශ්වයේම මැවුම්කරුවාණෝ ය. මැවිල්ලේ මුදුන් මල්කඩ වන මිනිසා හට ලැබෙන ආරාධනය නම්, මැවිල්ල හඳුනාගෙන එය ආරක්ෂා කරමින් එහි දියුණුව තකා කටයුතු කිරීමයි. එමෙන්ම උත්පත්ති පොතේ කතුවරයා දේව මැවිල්ලට නව පන්නරයක් දෙමින්, මැවිල්ල තුළ ශුද්ධවත් ජීවිතයක් ගත කිරීමට අපට ආරාධනා කරයි.
දෙවන දේව ප්‍රකාශනයට හැඳින්වීම
දෙවියන් වහන්සේ මහලු ආබ්‍රහම්ට ත්‍යාග කළ එකම පුත්‍රයා වූ ඊසාක් තමන්ට යාග කිරීමට අණ කිරීම තුළින් ආබ්‍රහම්ගේ විශ්වාසය අභියෝගයට ලක් කරයි. අචල විශ්වාසයෙන් පිරුණු ආබ්‍රහම් ගැන විස්තර කරන උත්පත්ති කතුවරයා, කිතුනු ජනතාවට ඇරයුම් කරන්නේ ස්ථිරසාර විශ්වාසයේ කිතුනු ජීවිතයකට ය.
තුන්වන දේව ප්‍රකාශනයට හැඳින්වීම
ඉශ්රායෙල් ජනතාව වනාහි බලපරාක්‍රම දෙවිඳුන් විසින් විශේෂාකාරයෙන් තෝරා ගත් පිරිසකි. අවුරුදු ගණනක් ඊජිප්තු දේශයේ වහල් බවට නතු වී සිටි මොවූහු, මෝසෙස් තුමන්ගේ නායකත්වය යටතේ පොරොන්දු දේශයට අවතීර්ණ වූ අයුරු මෙම දේව ප්‍රකාශනය තුළින් මනාව පැහැදිළි කරයි.
සතරවන දේව ප්‍රකාශනයට හැඳින්වීම
මෙම දේව ප්‍රකාශනය තුළින් යෙසායා දිවැස්ප්‍රසාදි තුමා දෙවිඳුන්ගේ ඉමහත් ආදරය සහ කරුණාව පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. එමෙන්ම ජනයා උන්වහන්සේගේ ආදරයට පිටුපා ගිය විට ඔවුනට දඬුවම් කළ නමුත් ජනතාවට දැක්වූ ආදරය බිඳුවක් හෝ අවම නොකළ බව පවසයි. එමෙන්ම එම ආදරය කිසි දිනක අඩු නොවන තිරසාර ආදරයක් බව ද උන්වහන්සේ මෙම දිවැසාවලිය තුළින් පොරොන්දුවක් දෙයි.
පස්වන දේව ප්‍රකාශනයට හැඳින්වීම
මෙහි දී දෙවියන් වහන්සේ තමන් වහන්සේ හා තම ජනයා අතර ඇති කරගත් ගිවිසුම තම සෙනඟට නැවත මතක් කර දෙයි. දේව ජනතාවගේ අකීකරුකම සහ උඩඟුකම හේතු කොටගෙන උල්ලංඝනය වූ පැරණි ගිවිසුම වෙනුවට නව ගිවිසුමක් ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ ප්‍රකාශනය මෙහි දී දිග හැරේ. මෙම ගිවිසුමේ කොටස්කරුවන් වනු සඳහා අප සියල්ලන්ට විශ්වීය ඇරයුමක් කරන එතුමාණෝ සත්‍ය මනස්ථාපනය තුළින් ඊට ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව පසක් කර දෙයි.
සයවන දේව ප්‍රකාශනයට හැඳින්වීම
ඉශ්රායෙල් ජනයාට වන විපත පිළිබඳව බාරුක් දිවැසිවරයා මෙම දේව ප්‍රකාශනය මගින් අවධාරණය කරයි. දේව වචනය සහ අභිප්‍රාය බුද්ධිමත් ලෙස හඳුනා ගැනීමට හැකි වූවන්, වාසනාවන්ත සහ දේව වරප්‍රසාදයේ ජනතාවක් බව විස්තර කරන කතුවරයා එම වරප්‍රසාදයේ මහිමය අන්‍ය ජාතීන්ට ද උදාකර දීමේ වැදගත්කම පෙන්වා දෙයි.
සත්වන දේව ප්‍රකාශනයට හැඳින්වීම
මෙය පුරාණ ගිවිසුමෙන් ගැනෙන අවසාන දේව ප්‍රකාශනයයි. විශ්වයේ මැවුම්කරු වූ දෙවියන් වහන්සේට ද්‍රෝහි වූ ජනතාව දෙස උන්වහන්සේ කරුණා හදවතින් බලන බවත්, සියල්ල අමතක කොට ජීවිත පෙරළියකට උන්වහන්සේ අපට ආරාධනා කරන බවත් මෙම දේව ප්‍රකාශනය තුළින් අපට මතක් කර දෙයි.
*** පුරාණ ගිවිසුමෙන් උපුටාගත් කියවීම්වලින් පසුව පුදසුන මත පහන් දල්වනු ලැබේ.
සංදේශ සඳහා හැඳින්වීම
*** සුරදූත ගීතය ගායනා කිරීමත් සමඟම දේවස්ථානයේ සීනු නාද කරනු ලැබේ. ඉන්පසු පාවුළු තුමන්ගේ සංදේශය කියවනු ලැබේ.
උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ යලි නොමැරෙන බව අප මතකයට රැගෙන එන පාවුළු තුමා, මිනිස් අපගේ පාපී බවෙන් මැරී බෞතිස්ම ස්නාපනය තුළින් නව ප්‍රබෝධයක් සහ සදාකල් පවතින නව ජීවිතයකට උත්ථාන විය යුතු අන්දම පැහැදිළි කරයි. පාපිෂ්ඨ ජීවන රටාවට නැවත හසු නොවී නිතරම යහපත්ව ජීවත්වීමේ අවැසිතාවය පිළිබඳව මෙම ප්‍රකාශනය තුළින් අවධාරණය කරයි.
ප්‍රසාද ස්නාපන පිළිවෙත
*** සුවිශේෂය සහ දේශනයෙන් පසුව ප්‍රසාද ස්නාපන පිළිවෙත ඇරඹේ
එම පිළිවෙතේ කොටස් මෙසේ ය,
- පිළිවෙතට හැඳින්වීම
- ජලය ආශීර්වාදය
- ප්‍රසාද ස්නාපන පොරොන්දු අලුත් කිරීම (නැවත ඉටි පහන් දල්වා ගනු ලැබේ)
- නව ජලයෙන් ජනතාව ආසිරි ගැන්වීම
*** මෙම පිළිවෙතට සියලු සාන්තුවරයන්ගේ ප්‍රාර්ථනාව ද ඇතුළත් කරගත හැකි ය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන හදාරා උන්වහන්ස්ගේ ක්‍රිස්තු දේහයේ අලුතින් සාමාජිකයන් වන්නට බලාපොරොත්තු වන වැඩිහිටි පුද්ගලයන්ට ප්‍රසාද ස්නාපනය දානය කිරීම මෙම පිළිවෙතේදී සිදු කෙරේ. එසේනම් අලුතින් ප්‍රසාද ස්නාපනය ලබන අයට තම විශ්වාසය අත්දකින්නට අවැසි වරම් ඉල්ලා අපි සැම මෙම දිව්‍ය මෙහෙයේ දී යාච්ඤා කළ යුතු ය.
දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත
ප්‍රසාද ස්නාපන පිළිවෙතෙන් පසුව විශ්වාසිකයින්ගේ යැදුම සහ පඬුරු පෙරහැර අවසානයේ දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත ආරම්භ වේ. එහි දී බොදුන් පිළිවෙත පවත්වා විශේෂ පාස්කු ආශීර්වාදය සමඟම අවසාන ගීතිකාවෙන් ආලේලුයියා සෙනසුරාදා පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය අවසාන වේ.