දේව වන්දනාත්මක වර්ෂයට අනුව සෑම වසරකම අළු බදාදා දිනෙන් චතාරිකය/ කොරොස්ම කාල පරිච්ඡේදයට අපි ඇතුළු වන්නෙමු. මෙය “වරප්‍රසාදයීය කාලයක්” ලෙස තවදුරටත් හඳුන්වනු ලබයි. වරප්‍රසාදයීය කාලයක් ලෙස හඳුන්වනු ලබන්නේ මේ කාල පරාසය තුළ අපි ඇති කරගනු ලබන අවංක මනස්ථාපනය අරභයා, අපට දායාද වන දේව ප්‍රේමයයි.
අළු බදාදා දිනයේ මූලික ම විෂේශත්වය වන්නේ “දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේ ය” කියන දේව ප්‍රකාශය සිහිපත් කරන දිනය වීමයි. කිතුනු විශ්වාසයට අනුව ලොව මැව් දෙවියන් වහන්සේ මිනිසාව මවන්නේ පොලොවේ තිබෙන පස් (දූවිල්ල). එම පස් ගෙන දෙවියන් වහන්සේ එයට ජීවන හුස්ම හෙලීමෙන් මිනිසාව මවනවා.
එහෙම නිර්මානය කරපු මනුශ්‍යයා නැවතත් දුවිල්ල බවට එහෙමත් නැත්නම් කවදාහරි මේ මහපොලවට පස් වෙනවා කියන සදාතනික ධර්මතාව සිහි කරන්නේ මේ සුවිෂේශි දවසේ.
එදාට ලංකාවේ සෑම දේවස්ථානයකම වගේ දේව මෙහෙයක් (දිව්‍ය පූජාවක් ) පවත්වලා ගොක් කොල පුලුස්සන ලද අලු ආශිර්වාද කරලා ඒවා සංකේතාත්මකව තම නලලේ ආලේප කර ගන්නා නිසාම තමයි ඒ දිනයට අළු බදාදා කියන නම ලැබිලා තියෙන්නේ.
ලංකාවේ වගේම තමයි ලෝක වාසි ක්‍රිස්තු භක්තිකයනුත් එක වගේම මේ දිනය සමරනවා.
ඒ වගේම තමයි කිතුනු බැතිමතුන් චතාරික කාලය එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ ජුදා හේවායන්ට හසු වීමේ සිට කුරුස ගසේ උකුත් වීම දක්වා සිද්ධි දාමය සිහි කරන කාලය පටන් ගැනීම සිදු වන්නේත් මේ අළු බදාදා දිනයට පසුවයි. කොටින්ම කියනවනම් කිතුනු බැතිමතුන් මේ කාල සීමාව හදුන්වන්නේ දුක්ප්‍රාප්ති කාලය කියලයි. මොකද මේ කාලයේදී තමයි කිතුනු දහම ලොවට ප්‍රකාශ කල ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහි කරන්නේ.
මේ කාල සීමාව තුල මස් මාංශ අනුභවයෙන්, නිරාහාර ශීලය රැකීමෙන්, විනෝද ගමන් බිමන් යෑමෙන් ඈත් වී දහමට සිත යොමු කිරීමට කිතුනු බැතිමතුන් වග බලා ගන්නවා. ඒ වගේම අළු බදාදා දිනය එක්වරු ශීලය රැකීමේ සහ ගොඩමස් වැළකීමේ දිනයක්.
මෙම සමය පාස්කු ඉරුදා ට යෙදෙන ජේසු සමිඳුන්ගේ ජයග්‍රාහී උත්ථානය සඳහා කිතුනු ජනතාව සූදානම් කෙරෙන ආධ්‍යාත්මික වශයෙන් වැදගත් දින 40ක කාලයකි. මේ කාල සීමාව අවසන් වන්නේ ජේසුස් වහන්සේ මරනින් නැවත නැගිටින එහෙමත් නැත්නම් මරනින් උත්ථාන වන පාස්කු ඉරිදායින්.
අළු බදාදා දින දේව වාක්‍යය
මනස්ථාපනය සැබෑ වරප්‍රසාදයීය මාවතය. ඇති කරගනු ලබන සැබෑ අවංක, ගැඹුරු මනස්ථාපනය (metanoia යන ග්‍රීක යෙදුම) මෙම කාල පරාසය තුළ දිස්වන ශුද්ධ ලියවිලි පාඨයන් මඟින් මනාව පිළිබිඹු වේ.
අළු බදාදා දින දිව්‍ය පූජා යාගය ඔස්සේ අපට දායාද වන ශුද්ධ ලියවිලි පාඨයන්, විශේෂයෙන් පළමු කියවීම (ජෝවෙල් 2:12-18) සහ ශු. සුවිශේෂ පාඨය (මතෙව් 6:1-6, 16-18) සම්පූර්ණ චතාරික කාලය තුළම රැව් පිළිරැව් දෙන තේමා පටුන අප අවධානයට ලක් කරයි.
ජෝවෙල් දිවැසිවරයාගේ දිවැසි වැකිය ” වත ඉරාගෙන නොව සිත ඉරාගෙන” (ජෝවෙල් 2:13) මුළු චතාරික කාලයම මනාව සාරාංශ කොට දක්වයි. තවද, ඇති කරගනු ලබන බාහිර/ පිටස්තර සූදානමට වඩා (ලෞකික) තිබිය යුතු අභ්‍යන්තර/ ඇතුලාන්ත වෙනස (Profound transformation of heart and mine) සුවිශේෂී බව අවධාරණය කරයි.
එමෙන්ම, ආකල්පමීය, සදාචාරාත්මක පැවැත්ම ඉස්මතු වන අයුරින් චතාරික කාලය දේව වන්දනාත්මකව සැකසී ඇති බව තවදුරටත් කිතුනු අපට “අළු බදාදා” මඟින් සිහිපත් කරයි.
“…සිත ඉරා ගෙන…” මෙම තේමා පටුන විචිත්‍ර කරනු ලබන තවත් අනු තේමා ත්‍රිත්වයක් දෙස ද අදට යෙදී ඇති සුපුවත මඟින් අනාවරණය කරනු ලබයි. යාච්ඤාව, දන්දීම සහ එක්වරුශීලය. මෙමඟින් ස්වාමීන් වහන්සේගේ හා ගැඹුරින් බද්ධ වීමට බෞතීස්මය ලද සෑම කිතුනුවකුම බැඳී සිටින බව නොරහසකි.
යාච්ඤාව, දන්දීම සහ එක්වරු ශීලය සම්බන්ධව ගැඹුරින් අවබෝධ කරගැනීමට උත්සුක වීම මෙයින් උද්දීපනය වන තවත් එක් වගකීමකි. මේ ත්‍රිත්වය දෙස මෙහි දී කතිකා කිරීමට වඩා මේ සම්බන්ධව වෙනම කතිකාවක් දියත් කිරීම වඩා ප්‍රායෝගිකය.
තවද, “අළු තැවරීම” මානව ජීවිතයේ සීමාසහිත බව සංකේතාත්මකව අපට සිහිපත් කරයි. සීමාසහිත දිවි පැවැත්ම තුළ සීමාරහිත ලෞකික අභිලාෂයන් සහ ප්‍රාර්ථනා තිබිය නොහැකි බව ද අවධාරණය කරයි.
අළු බදාදා දිනයේ ඉතිහාසය
කතෝලික සභාවේ මුල් යුගවල අළු බදාදා ගැන කිසිදු සඳහනක් නැත. චතාරිකය සඳහා හතළිස් දිනක කාල පරිච්ජේදයක් තීරණය කරන ලද්දේ ක්‍රි.ව. 325 දී පළමු වන සිල්වෙස්ටර් (ක්‍රි.ව. 314-335) පාප්වහන්සේ ගේ සමයේදී ය. ඒ වසරේ පැවැති නිසියානු මන්ත‍්‍රණ සභාවේ තීරණයක් අනුවය. හතරවන සියවස වනවිට චතාරිකය
ගණනය කරන ලද්දේ උස්ථාන ඉරුදින හෙවත් පාස්කුවට ඉරිදා දින හයකට පෙර සිට ය. ඒ අනුව දින 42ක් විය. ඉරුදිනයන් අත්හළවිට දින 36කි. එය දින 40 කර ගැනීම සඳහා පෙර සතියෙන් දින 4ක් එකතු කර චතාරිකය බදාදා දිනයක ආරම්භ කිරීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව චතාරිකය ආරම්භ කරන දිනය අළු බදාදා ලෙස නම් කෙරිණි.
අළු බදාදා දිනට ඒ නම යෙදුනේ කෙසේ ද?
එදින අළු බදාදා වූයේ පව්කාරයන්ට ප්‍රසිධියේ දඬුවම් නියම කිරීම එදින ආරම්භ කිරීමටත් එම පව්කාරයන් දේවස්ථානයෙන් පිටමං කරනු ලැබ පිටත දී සිය ශරීරවල අළු තවරා ගනිමින් තම ප්‍රසිද්ධ දණ්ඩන කාලය ආරම්භ කිරීමත් සමගය. මෙම දණ්ඩන කාලය අවසාන පාස්කු රාත්‍රී මෙහෙය අවසානයේ දී පව්කරුවන් නැවත සාන්ත සභාවේ සාමාජිකත්වයට ඇතුළත් කර ගන්නා ලදී.
අද ද මෙම නළලත අළු තැවරීම අළු බදාදා දේව මෙහෙයේ පිළිවෙතක් ලෙස යොදා ගැනේ. එය කතෝලික සභාවට මුලින් ම නිර්දේශ කරන ලද්දේ ක්‍රි.ව. 1091 දී දෙවන උර්බානු පාප්තුමා (ක්‍රි.ව. 1088-1099) විසිනි. ඒ වෙනුවෙන් හෝ සමුළු තීරණයක් අනුවය. ඒ අනුව අද ද අපි නළලත අළුතවරා ගෙන දූවිල්ලෙන් තැනූ මිනිස් දූවිල්ලකට ම යළි හැරෙන බව සිහිපත් කරන්නෙමු.
පුරාණ ගිවිසුම සහ අළු බදාදා දිනය
ශුද්ධ බයිබලයේ පුරුණ ගිවිසුමේ ද අළු තවරා ගැනීමේ අවස්ථා ගණනාවක් සඳහන්ය. එහි විස්තර පොතේ 4:1 හි මෙලෙස සඳහන්ය. “සිදු වූ සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු ශෝකයෙන් සිට වස්ත්‍ර ඉරාගෙන ඇඟේ අළු තවරා ගෙන ගෝනි රෙදි හැඳගෙන ඉමහත් දුකින් හඬ වැළපෙමින් නගරය මැදින් ගියේය.”
පුරාණ ගිවිසුමේ ජෝබ් ගේ කතාවේ “මම මා ගැනම ලජ්ජා වෙමි. දූවිල්ලෙහි හා අළුවල හිඳ මනස්තාප වෙමි. (42:8) සඳහන්ය.
“මම නිරාහාරව ගෝනි රෙදි හැඳ අළු තවරාගෙන යාච්ඤා වෙනුත් කන්නලව්වෙනුත් දෙවි පියාණන් වහන්සේ යදින පිණිස….” ආදී වශයෙන් දිවැසිවර දානියෙල් සඳහන් කරයි. (දානියෙල් 9:3)
දිවැසිවර ජෝනාගේ පොතේ 3:5-6 සඳහන් වන්නේ සළු ඉවතලා දළ රෙදි හැඳ අළු පිට හිඳ ගත් පුවතකි.
නව ගිවිසුම සහ අළු බදාදා දිනය
නව ගිවිසුම් දී මනස්ථාපනය සඳහා අළු යොදා ගැනීම ගැන දැක්වේ.
මතෙව් සුබාරංචියේ 11:20 -21 මෙලෙස දක්වයි. “එම්බා කොරෝගියෙ එම්බා බෙත්සයිදාව ඔබට වන විපතක මහත… ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා කීර්හි සහ සීදොන් හි කළා නම් ඒ නගර වැසියන් මීට බොහෝ කලින් ගෝනි රෙදි හැඳ අළු යෙහි හිඳ මනස්තාප වූ බව පෙන්වනු ඇත.
මෙම කරුණම ලූත් සුබාරංචිය 10:13 දැක්වේ. මේ අනුව අළු තැවරීමේ පිළිවෙතට දිග ඉතිහාසයක් තිබේ. එහෙත් මෙයි අළු බදාදා හුදු අළු තැවරීමකට සීමා නො කොට එහි ඇති දේව ධාර්මික වටිනාකම හා හරය තේරුම් ගෙන කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව සඳහන් කළ යුතුය.