diwya pujawa pilibada shuddawanthayange adahas

දිව්‍ය පූජාවේ වැදගත්කම හා එහි ප්‍රාතිහාර්යාත්මක බව ගැන කිතුනු සභාව තුළ විවිධ කාල පරාසයන් තුළ මෙලොවට පහළ වූ ශුද්ධවන්තයන් පළ කළ නිරීක්‍ෂණයන් සහ ඔවුන්ගේම ජීවිත අත්දැකීම් මෙම ලිපිය තුලින් ඔබ වෙත ගෙන එන්නෙමු.

01. ශුද්ධ වූ බොනවැන්චර්තුමා : එතුමා පවසන ආකාරයට දිව්‍ය පූජාවේ ආශ්චර්යයන් කොපමණද කිවහොත් ඒවා අහසෙයි තරු මෙන් හා ලෝකයේ මුහුදු වෙරළවල ඇති වැලි කැට මෙන්ය. එතුමා දිව්‍ය පූජා යාගය ගැන මෙසේද පවසයි. “දෙවියන් වහන්සේ අල්තාරය මතට වැඩම කරන විට උන්වහන්සේ කන්‍යමරියතුමියගේ කුසයේ මිනිසත් බව ගත් අවස්ථාවේදී සිදුවූ දේම අදත් දිව්‍ය පූජාව තුළ සිදුවේ. දිව්‍ය පූජාව සහ කල්වාරි යාගය එක හා සමානය. සෑම දිව්‍ය පූජාවකදීම ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරය අප වෙනුවෙන් නැවතත් වගුරුවනු ලබන සේක.”

02. සාන්ත අගුස්තීනුතුමා : “දිව්‍ය පූජාවේදී ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධිරය අප වෙනුවෙන් නැවතත් අලුතින් ගලා හැලෙන සේක. එක් දිව්‍ය පූජාවක් තරම් පොළොවේ කිසිවක් හෝ ස්වර්ගයෙහි කිසිවක් දෙවියන් වහන්සේට මහිමය අත්කර නොදෙන අතරම අපටද යහපතක් හෝ වාසියක් අත්කර නොදෙනු ඇත. පව්කාරයන්ගේ සිත් හැරීම උදෙසා දිව්‍ය පූජාව ඔප්පු කිරීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල අත්පත් වේ.”

03. සාන්ත ලෝරන්ස්තුමා: “දිව්‍ය පූජාව වැනි දෙවියන් වහන්සේට තෘප්තිය ගෙන දෙන සහ අපට ප්‍රයෝජනවත් අන් කවර යැදුමක්වත් ඒ හා සමාන ඉතා බලවත් වූ යහපත් කාර්යයක්වත් තවත් නැත.”

04. සාන්ත ජෝන් ක්‍රිසොස්තම්තුමා : “දිව්‍ය පූජාවට කල්වාරි යාගයේ උතුම් වටිනාකමක් ඇත. දිව්‍ය පූජාව සිදු වෙද්දී එම දිව්‍යමය ගොදුර අල්තාරය මත පූජාවක් වශයෙන් බිලිවීම, මහත් ආදර භක්තියකින් විඳීමට පැමිණෙන්නාවූ අසංඛ්‍ය දේවදූතයන් පිරිසකගෙන් එම ශුද්ධ භූමිය පිරීයනු ලබයි.”

05. සාන්ත ගේ‍රගරිතුමා : “දිව්‍ය පූජාවේදී ස්වර්ගය විවර වී දේව දූතයෝ සම්භාරයක් ශුද්ධ වූ යාගයට සහභාගි වීමට පැමිණෙති”

06. සාන්ත තෝමස්තුමා : එතුමා උගන්වනුයේ දිව්‍ය පූජාව අල්තාරය මත නැවතත් අලුත්වන කල්වාරි යාගයන් මිස එයට නිසි ලෙසකින් හෝ අඩුවක් නොවන බව සහ සෑම දිව්‍ය පූජාවකින්ම මිනිසාට කුරුසියේ යාගය මඟින් මෙන්ම යහපත හා ලාභ ප්‍රයෝජන අත්කර දෙන බවයි.

07. ජෙරුසලමේ සාන්ත තිමෝතිතුමා: “දිව්‍ය පූජාව නොමැති නම් මිනිසුන්ගේ පව් නිසා මේ වන විටත් ලෝකය විනාශ වී ගොසින් හමාරය.”

08. සාන්ත ලෝරන්ස් ජස්ටීනියන්තුමා : “අප දිව්‍ය පූජාව මඟින් ලබන්නාවූ මැනිය නොහැකි තරම් වූ විශාල අනුග්‍රහයන් සහ දේවාශීර්වාදයන් මිනිස් දිවකින් විස්තර කළ නොහැකිය. දිව්‍ය පූජාවට සහභාගි වීමෙන් පව්කාරයන් හට ක්‍ෂමාව ලබාගනියි. යහපත් මිනිසුන් තව තවත් ශුද්ධවන්ත වෙයි. අපගේ වැරදි නිවැරදි වේ. අපගේ දුසිරිත් මුලිනුපුටා දමනු ලබයි.”

09. සාන්ත ෆොනේරියස්තුමා : “බොහෝ දුර ගෙවාගෙන යන වේදනාකාරී වන්දනා ගමන්වලට වඩා අප යහපත් සිතින් සහභාගි වනු ලබන එක් දිව්‍ය පූජාවකින් දෙවියන් වහන්සේට වැඩි ප්‍රීතියක් අත්කර දෙන අතරම අපද වැඩියෙන් යහපත හා වරප්‍රසාදයන් ලබාගනියි.”

10. සාන්ත අල්පෝන්සුස්තුමා: “දිව්‍ය පූජාව වටිනාකමින් අපරිමිත අගයක් ගනියි. දේව දූතයන්ගේ සහ ශාන්තුවරයන්ගේ සියලුම යාච්ඤාවන් සහ යහපත් ක්‍රියාවන් අසීමිත වූ කුසලයන් වුවත් ඒ සියල්ලට වඩා දෙවියන් වහන්සේගේ මහිමය දිව්‍ය පූජාව තුළින් අත්කර දෙයි.”

11. සාන්ත බි්‍රජට්තුමිය : “දිනක් මම දිව්‍ය පූජා යාගයට උදවු කරමින් සිටින විට අති විශාල දේව දූතයෝ සංඛ්‍යාවක් අහසින් පහතට බැස පියතුමා දෙස නෙත් අයාගෙන ශුද්ධ වූ අල්තාරය මතට රැස්වන ආකාරය මා දුටුවා. මුළු ස්වර්ගයම මේ උතුම් වූ යාගය දෙස මහත් ඕනෑකමින් බලා සිටිනවා මට පෙනුණා.”

12. ක්ලානියාවේ සාන්ත ඕඩෝතුමා : “ලෝකයේ ප්‍රීතිය සහ සතුට ඇතිවන්නේ දිව්‍ය පූජා යාගයෙනි.”

මෙලෙස තවත් ශුද්ධවන්තයන් ගණනාවක් දිව්‍ය පූජාවේ ඇති වැදගත්කම සහ එහි ඇති බලමහිමය ගැන ප්‍රකාශ කොට ඇත. එලෙස ඔවුන් දිව්‍ය පූජාවට භක්තියෙන් සහභාගි වීම තුළ ලැබූ දේව දීමනා සහ ප්‍රාතිහාර්යයන් ගැන ප්‍රකාශ කළ තොරතුරු ගණනාවක්ද පොත්පත්වල ලියැවී ඇත.

සාන්ත ඉග්නේසියස්තුමා ඉතා භක්තිමත්ව සහ පූර්ණ අවධානයකින් යුතුව කැපවීමකින් දිව්‍ය පූජාව සිදු කිරීමට පුරුදුව සිටි අයෙකි. දිනක් එතුමා දිව්‍ය පූජාව සිදු කරන විට එතුමාගේ හිස වටා දීප්තිමත් ගිනිදැල්ලක් භ්‍රමණය වනු දැක ඒ දිව්‍ය පූජාවට සහභාගි වූ අය විස්මයට පත් විය.

භාග්‍යවත් ප්‍රැන්සිස්තුමා වසර ගණනාවක් දෙපාවල හටගත් දරුණු වේදනාවකින් පීඩා වින්දේද ඕනෑම චලනයක් එතුමා හට තියුණු වේදනාවක් අත්කර දීමට හේතු විය. එහෙත් සිටගෙන එක එල්ලේ දිව්‍ය පූජාව සිදුකරන විට ඒ සියලුම වේදනාවන් පහවයයි.

මෙවැනි දිව්‍ය පූජාව අලළා සිදුව ඇති ප්‍රාතිහාර්යයන් සිය දහසක් ගැන ලිවිය හැකිය. අවශ්‍ය වන්නේ කිතුනුවන් ලෙස දිව්‍ය පූජාවේ බලමහිමය සහ ශුද්ධවත් බව හරි හැටි තේරුම් ගෙන දිව්‍ය පූජාවට භක්තියෙන් සහභාගි වීමයි. ඒ තුළින් පාපයෙන් මිදී යහපත් ජීවිතයක් කරා පා තැබීමයි.

තමන්ගේ එදිනෙදා ජීවිතයේදී දිව්‍ය පූජාවේ උතුම් අර්ථයක් වන බැහැපත්කම, කැඩීම, බිඳීම, වැයවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ අද සමාජය තුළ අන්ත අසරණ භාවයට පත්ව ඇති මිනිසුන්ව ජීවත් කරවීමයි. ඔවුන්ව නඟා සිටුවීමයි. එදා කල්වාරි යාගය තුළ ජේසු සමි¼දාණන් අප සැමට විමුක්තියක් උදා කළා සේ හෙට දවසේ උපදින්නට බලා සිටින දූ දරුවන් හට යහපත් හෙටක් ආශීර්වාද ලත් රටක් බිහි කිරීමයි.

එවිටයි දිව්‍ය පූජාවේ සැබෑ අරුත මේ ධරණිතලය මත සාක්‍ෂාත් කරගත හැකි වන්නේ.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *