ස්වර්ගීය සුරදූතයෝ ආනන්ද වෙත්වා… දිව්‍ය අභිරහස්යයෝ ප්‍රමෝද වෙත්වා… මහෝත්තම රජාණන්ගේ ජයග්‍රහණයේ බලා ගැලවීමේ පුවත පළ කරත්වා… සදාතන රජාණන්ගේ මහිමාලෝකයෙන් පොළෝ තලය බැබලේවා… අන්ධකාරයේ බලෙන් මිදුණු බව දැන ලෝවැසි සියල්ලෝ ජය නාද පවත්වත්වා… සභා මාතාවන්ගේ මහිමානන්දය බලා ලොව පුරා ඇගේ දරුවෝ ඔල්වර හඬ නගත්වා… ඔවුන්ගේ සාධු නාදයෙන් මේ මැදුර ගිගුම් දෙත්වා… සර්ව පරාක්‍රම දෙවි පියාණනි අදෘශ්‍යමානව වැඩවසන මහෝත්තමයාණනි ඔබ වහන්සේටද ඔබ වහන්සේගේ එක පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ද හද පුරා තුති පැතීමද කටපුරා ගී ගැයීමද වර්ණනා විෂය ඉක්මවා ගුණ වැනීම ද යුතුවන්නෙම ය හොබනේම ය … ඒ කිම්දයත් උන්වහන්සේ අප ආදී පියාවන ආදම්ගේ පාපයට නිසි වන්දිය සිය දෙවි පියාණන් හට අප උදෙසා ගෙවූ සේක ඒ පුරාණ පාපයේ ශාපය දයාබරව වැගිරෙවු සිරි ලෙයින් මකා ලූ සේක. සැබෑ අජබාලකයන් වන ඔවුන්වහන්සේ පාස්කු මංගල බිලි පඬුර බවට පත්වී උන්වහන්සේගේ ශ්‍රී ලෙයින් සැදැහැවත් සැම දෙනා ආලේප කරනු ලබන්නාහ.
අපගේ පීතෘන් වන ඊශ්‍රායල් ජනතාව ඊජිප්තු දේශයේ වහල්කමින් මුදා මහත් පෙළහර පාමින් රතු මුහුද මැදින් ඔබ වහන්සේ ගෙනගියේ මේ රාත්‍රියේදීය… ඔවුන් ඉදිරියේ මග පෙන්වූ ඒ ගිනිකදේ ආලෝකය මෙන් පාප අන්ධකාරය ඔබ දුරු කළේ මේ රාත්‍රියේදීය… එසේම ලොව පුරා වසන ක්‍රිස්තු අනුගාමිකයෝ ලෞකික අවගතියෙන් හා පාපය දුකදුරින් මිදී පාරිශුද්ධ ජීවිතයකට පා තබන්නේ මේ රාත්‍රියේදීය… ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ මරණය බන්ධනය බිද හැර ජය විකුම් පා මරණයෙන් නැගී සිටියේ මේ රාත්‍රියේදීය… එසේ අප ගලවා ගනු නොලදහු නම් මෙලොව බිහිවීමෙන් සෙතක් නොවන්නේය… ස්වාමීනී ඔබගේ දයාබරකම් කෙතරම් මහත්ද… ඔබ අප වෙත දරන ප්‍රේමයේ ගැඹුර කෙතරම්ද… වහලුන් වන අප මිදීමට ඔබ පුතුණුවන් පිදූ සේක… අහෝ ආදම් ආදී පියාගේ ඒ පින්බර පාපය ක්‍රිස්තුස් වහන්සේගේම මරණයෙන්ම එය මැකීමට නොතිබුණේද… අහෝ වාසනාවත් වරද ඒ භාග්‍යවත් ගැලවුම්කාරුවාණන් ගෙන ඒමට එයින් මග නොපෑදිනිද… අහෝ භාග්‍යවන්ත රාත්‍රිය… ක්‍රිස්තුස් වහන්සේ මරණින් නැගිටි පැය හා වෙලාව දන්නේ ඔබ පමණක් නොවේද… දහවල මෙන් රාත්‍රිය ආලෝකවත් වන්නේ කියාද මාගේ ප්රිතියේදී මා ආලෝකවත් කළ රාත්‍රිය කියා ද සිරි වැකියේ සටහන් වන්නේ ඔබ ගැන නොවේද…
මේ රාත්රියේදී පිරිසිදු අපගේ අව ගති දුරු වේවා… පව් කසල මැකේවා… දුක් බර වුුවනට ප්‍රීතියද අදමිටුවනට නිදොස් බවද ලැබේවා… ඉසිකෝමාන දුරු වී සාමය වැඩේවා… මේ රාත්රියේදී ඔබගේ වරම් වස්වමින් පාරිශුද්ධවු පියාණනි වන බිගුන්ගේ නිපැයුමෙන් සැදු මේ ඉටි පහන සිය පුදැදුරුන්ගේ දෑතින් ඔබට පුදමින් ඔබගේ ශුද්ධ වු සභාව ඔබට පුදන මේ තුති ගී සුගන්ධ සන්ධ්‍යා යාගයක් මෙන් පිළිගනු මැනව… මේ භාග්‍යවත් රාත්රියේදී මෙලොව හා සුරලොව එක්වන්නේය දෙවියන් හා මිනිසා සමු වන්නෝය… ඒහෙයින් අපගේ දෙවි ස්වාමීනි ඔබගේ ශ්‍රී නාමයේ මහිමය සඳහා කැප කරන ලද මේ ඉටිපහන මේ රාත්‍රියේ ගණදුර බිඳ හරිමින් බැබලේවා යැයි ප්‍රසන්න වූ පඬුරක් මෙන් ඔබ විසින් පිළිගනු ලැබ මේ පහනේ ආලෝකය ස්වර්ගාලෝකයා එක්වේවා පහන් තරු උදාවෙන තෙක් එය නොනිවී බැබලේවා!… එනම් බැස නොයන පහන් තරුව වූ ඔබවහන්සේගේ පුත්‍රයාණෝ ය… මරණයෙන් උද්ගත වී මනුකැළ මත උදා වී කුළුණු රැස් විහිදු ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්වහන්සේ සදා කල්හි වැඩවසන සේක රජකම් කරන සේක…
ආමෙන්…