dewana wathikanu manthrana sabhaawa magin diwya ujawe sidukala wenaskam

ක්‍රි.ව. 1962–1965 අතර පැවති දෙවන වතිකානු මන්ත්‍රණ සභාව මගින් දිව්‍ය පූජාවේ ඉතා විශාල එමෙන්ම ඉතා වැදගත් වෙනස්කම් රාශියක් සිදු කරන ලදී. මෙම වෙනස්කම්වල ප්‍රධාන පරමාර්ථයන් නම්,

  • ජනතාව ක්‍රියාකාරීව දිව්‍ය පූජාවට සහභාගී කරවා ගැනීම
  • දිව්‍ය පූජාවට වඩාත් අර්ථාන්විතව සහභාගී වීමට ජනතාවට අවස්ථාව ලබා දීම
  • දිව්‍ය පූජාව පෙරට වඩා තේරුම් ගැනීමට ජනතාවට ඉඩ ලබා දීම
  • දිව්‍ය පූජාව සහ ජනවන්දනාව වඩාත් කලානුරූපිකරණය කිරීම. (වර්තමානයට සරිලන පරිදි හැඩගැස්වීම)

මෙලෙස දෙවන වතිකානු මන්ත්‍රණ සභාව මගින් දිව්‍ය පූජාවේ සිදුකළ පරධාන වෙනස්කම් කිහිපයක් පහත දැක්වේ.

දේශීය භාෂා භාවිතය හඳුන්වා දීම

මිට පෙර ලතින් භාෂාවෙන් දිව්‍ය පූජාව සමරන ලද අතර දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ තීරණයට අනුව දිව්‍ය පූජාව දේශීය භාෂාවෙන් සැමරීමට අවස්තාව ලැබුණි. මෙම වෙනස කිරීම සිදු කරන ලද්දේ දිව්‍ය පූජාවට සහභාගී වන ජනතාවට එහි උච්චාරණය කරන යාච්ඤා හොදින් තේරුම් ගැනීමටත් ඒවාට ක්‍රියාකාරීව සහභාගී වීමටත් අවස්තාව ලබා දීම සඳහා ය.

මින් පෙර ලතින් භාෂාව නොදත් ජනයාට බොහෝ විට දිව්‍ය පූජාවේ පවසන දෑ තේරුම් ගැනීමට අපහසු වූ අතර දිව්‍ය පූජාවට පිළිතුරු ලබා දීමේ දී අවබෝධයෙන් පිළිතුරු ලබා දෙනවා වෙනුවට යාච්ඤා කටපාඩමෙන් පමණක් උච්චාරණය කිරීම සිදු විය. එම නිසා මෙම තීරණය ගැනීමට දෙවන වතිකානු මන්ත්‍ර සභාව පියව ගන්නා ලදී.

පියතුමා ජනතාව දෙසට හැරී දිව්‍ය පූජාව පැවැත්වීම

දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර සාමාන්‍යයෙන් පියතුමා දිව්‍ය පූජාව පැවැත්වූයේ ජනතාවට පිටුපා සිටිමින් ය. එනම් ජනතාවත් පියතුමාත් යන දෙපාර්ශවයම අල්තාරය දෙසට මුහුණ ලා දිව්‍ය පූජාව පැවැත්වීය. නමුත් දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පසු මෙම පිළිවෙත වෙනස් වී පියතුමා ජනතාව දෙසට හැරී, ජනතාව දෙස බලා දිව්‍ය පූජාව සැමරීම ආරම්භ විය.

මෙසේ කරන ලද්දේ පියතුමා ජනතාව සමඟ එකතු වී දිව්‍ය පූජාව සැමරීම වඩාත් වැදගත් වේ යන කරුණ ඉස්මතු කරමින් ය. එමෙන්ම සමූහයක් ලෙස දිව්‍ය පූජාව සැමරීමට ප්‍රමුඛතාවය දෙමින් ය. තවද පියතුමා කේන්ද්‍රගත කරගත් දිව්‍ය පූජාවක් නොව වඩාත් වැදගත් වන්නේ මුළු සභාවම ක්‍රියාකාරීව සහභාගී වන දිව්‍ය පූජාවක් බව මෙහිදී තීරණය වූ නිසා මේ වෙනස් කිරීම සිදු කරන ලදී.

දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර පියතුමා අල්තාරය දෙසට හැරී දිව්‍ය පූජාව පැවැත්වීම
දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර පියතුමා අල්තාරය දෙසට හැරී දිව්‍ය පූජාව පැවැත්වීම

දිව්‍ය පූජාවට ගිහි සහභාගීත්වය වැඩි කිරීම

දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ දී දිව්‍ය පූජාව සඳහා ගිහියන් පෙරට වඩා ක්‍රියාකාරීව සහභාගී කරවා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව දේව වාක්‍ය කියවීම, පිළිතුරු දීම, යාච්ඤා උච්චාරණය, ගීතිකා ගායනය වැනි ජනවන්දනා කටයුතු සඳහා පෙරට වඩා ගිහි ජනතාවට අවස්තාව හිමි විය.

එලෙසම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දීමට විශේෂ අවසර ලත් ගිහියන් හට අවස්තාව දෙන ලදී. මින් පෙර මෙම වත් පිළිවෙත් සිදු කරන ලද්දේ පියතුමා හෝ තේවාචාර්යය තුමකු විසිනි.

දිව්‍ය පූජාවේ පිළිවෙල වෙනස් කිරීම

දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර දිව්‍ය පූජාවේ ව්‍යුහය වඩාත් දැඩි වෙනස් කළ නොහැකි එකක් වූ අතර ශුද්ධ ලියවිල්ල භාවිතය විවිධත්වයෙන් අඩු විය. එනම් දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර බොහෝ විට දිව්‍ය පූජාව අවස්ථාවේ දී කියවීම් සඳහා භාවිතා කළේ ශුද්ධ වූ සුවිශේෂ පමණි. එහෙත් දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පසු දිව්‍ය පූජාව අවස්ථාවේ දී ශුද්ධ ලියවිල්ල වැඩි වශයෙන් භාවිතය නිර්දේශ කරන ලදී. එමෙන්ම ශුද්ධ ලියවිල්ල කියවීමට මනා ව්‍යුහයක් ඉදිරපත් කරන ලදී.

ඒ අනුව ඉරිදා දිනයේ දී දිව්‍ය පූජාවට කියවීම් 3 ක් ඇතුලත් කල අතර ඒ එක් කියවීමක් පැරණි ගිවිසුමෙන් ද, තවත් කියවීමක් සංදේශ වලින්ද, 3 වන කියවීම සුවිශේෂවලින්ද ආදී වශයෙනි. එලෙසම මුළු ශුද්ධ බයිබලයම ජනතාව විසින් කියවිය යුතු යන අරමුණ පෙරදැරි කරගෙන වසර 3 ක කාලයක දී එය ආවරණය වන පරිදි මෙම කියවීම් අවුරුදු 3ක චක්‍රයක් ආකාරයෙන් කියවීමේ පිළිවෙලක් ඉදිරිපත් කරන ලදී.

කියවීම් සඳහා ගිහියන් සහභාගී කරවා ගැනීම

පෙර සඳහන් කල පරිදි දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර ශුද්ධ ලියවිල්ල කියවන ලද්දේ පූජකවරුන් විසිනි. නමුත් මන්ත්‍රණ සභාවෙන් පසුව ශුද්ධ වූ සුවිශේෂය හැර අනෙකුත් කියවීම් කියවීම සඳහා ගිහි ජනතාවට අවස්තාව ලැබිණි. එලෙසෙම මේ සඳහා ගිහියන් පුහුණු කිරීම අනිවාර්ය කරන ලද අතර එලෙසම පුහුණු කළ ගිහියන්ට දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීමට ද අවස්තාව ලැබුණි.

ගිහියෙකු විසින් දිව්‍ය පූජාවේ දේව වාක්‍ය කියවීම
ගිහියෙකු විසින් දිව්‍ය පූජාවේ දේව වාක්‍ය කියවීම

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ අතට ලබා දීම

දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා දීමේ දී දන ගැසීම අනිවාර්යය වූ අතර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා දුන්නේ දිවට පමණි. නමුත් දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පසු එම නීතිය යම් තාක් දුරකට ලිහිල් කරමින් දේශීය රදගුරුවරයෙකුගේ අනුමැතිය ඇතිව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සිටගෙන අත්දෙක මතට ලබා ගැනීමේ අවස්තාව හිමි කර දෙන ලදී.

වර්තමානයේ දී ලෝකයේ බොහෝ පදවි වල ජනතාව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නේ අල්තාරය අසලට පැමිණ සත්ප්‍රසාද වහන්සේ අත් දෙක මතට ලබාගෙන පූජාප්‍රසාදීන් වහන්සේ ඉදිරිපිට එය අනුභව කිරීමෙනි.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ අතට ලබා දීම
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ අතට ලබා දීම

ගීතිකා සහ සංගීතය භාවිතය ලිහිල් කිරීම

දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර දිව්‍ය පූජාවේදී භාවිතා කලේ ග්රෙගොරියානු සංගීතය සහ ලතින් ගීතිකාය. නමුත් මන්ත්‍රණ සභාවේ දී ගීතිකා සඳහා දේශීය භාෂාව භාවිතයටත් දේශීය සංගීතය භාවිතයටත් අවසර ලැබුණි. එලෙසම විවිධත්වයකින් යුතු සංගීතය භාවිතා කිරීමට ද දිරි ගන්වන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකාව තුල වර්තමානයේ දිව්‍ය පූජාව තුල සිංහල සහ දෙමළ ගීතිකා බහුලව භාවිතා වේ. එමෙන්ම දේශීය සංගීත තාල ද දේශීය සංගීත භාණ්ඩ ද සුදුසු ලෙස භාවිතා කිරීම අනුමත කෙරිණි.

සාමය පැතීම හඳුන්වා දීම

දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර දිව්‍ය පූජාව අවස්ථාවේ දී එකිනෙකාට සාමය පැතීමේ චාරිත්‍රය ඇතුළත් නොවීය. නමුත් මන්ත්‍රණ සභාවට පසු හිස පහත කිරීමෙන් හෝ අතට අත දීමෙන් සංඝයේ එකිනෙකාට සාමයේ පැතීමේ පිළිවෙත හඳුන්වා දෙන ලදී. ඒ එනුව ස්වාමිවාක් ආරාධනාව උච්චාරණයෙන් පසුව එකිනෙකා “ඔබට සාමය වේවා” යන වාක්‍ය උච්චාරණය කරමින් එකිනෙකාට සාමය පතයි.

අතට අත දීමෙන් සංඝයේ එකිනෙකාට සාමයේ පැතීමේ පිළිවෙත
අතට අත දීමෙන් සංඝයේ එකිනෙකාට සාමයේ පැතීමේ පිළිවෙත

විශ්වාසිකයින්ගේ යැදුම් දිව්ය පූජාවට නැවත හඳුන්වා දීම

4 වන සියවස පමණ වන තෙක් දිව්‍ය පූජාවට විශ්වාසිකයින්ගේ යැදුම් ඇතුලත් වුව ද මධ්‍යතන යුගය වන විට විශ්වාසිකයින්ගේ යැදුම් ක්‍රමයෙන් රෝම පිළිවෙතෙන් ඉවත් විය. 16 වන සියවසේ පැවති ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාවෙන් ද මෙම විශ්වාසිකයින්ගේ යැදුම් නැවත දිව්‍ය පූජාවට ඇතුලත් නොකරන ලද අතර දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් විශ්වාසිකයින්ගේ යැදුම් නැවත දිව්‍ය පූජාවට ඇතුලත් කර ඒ සඳහා ගිහියන්ගේ සහභාගීත්වය දිරි ගන්වන ලදී.

මේ ආකාරයට දෙවන වතිකානු මන්ත්‍රණ සභාව මගින් දිව්‍ය පූජාවේ සිදු කළ වෙනස්කම් මගින් දිව්‍ය පූජාව නව මගකට යොමු විය. ගතානුගතික සාම්ප්‍රදායි දිව්‍ය පූජාව වෙනුවට වඩාත් ක්‍රියාකාරී සහභාගීත්වයකින් යුතු දිව්‍ය පූජාවක් පවත්වමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස වඩාත් අර්ථාන්විතව පරිස්මරණය කිරීමට ජනතාවට අවස්තාව දැන් ලැබී ඇත.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *