ගරු බෙන්සිරි පෙරේරා පියතුමන්

ගරු බෙන්සිරි පෙරේරා පියතුමන්

|

මෙම ලිපිය තුලින් ඔබට ගරු බෙන්සිරි පෙරේරා පියතුමන් පිළිබඳව වටිනා තොරතුරු රැසක් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.

යහමඟ යන සැම දැහැමි දනා..
සමිඳුට නිති දින ප්‍රිය වන්නේ..
දෙවිඳුන් අණ සැම පිළිගන්නේ..
අදමිටු මඟ නිති හැර යන්නේ..

ගරු බෙන්සිරි පෙරේරා පියතුමන්ගේ ජීවිතයෙන් බිඳක්

වර්ෂ 1942 මැයි මස 21 වන දින නැසී ගිය බෙනඩික් පෙරේරා මහත්මාට හා ක්ලැරින්ඩා සෙනවිරත්න මහත්මියට දාව පවුලේ වැඩිමහල් දරුවා ලෙස උපත ලද ගරු පියතුමන් එදින පටන් මව් පිය සෙනෙහස සමඟම පිලපිටිය ආනා මව් තුරුළේ උණුසුමද ලබමින් හැදී වැඩුන අතර වත්තල සාන්ත අන්තෝනි විදුහලෙන් තම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීය.

වර්ෂ 1957 දී බොරැල්ල සාන්ත ඇලොසියස් දෙව්සත්හලට තම සීයා තුළින් ලද දේව කැඳවීමට අවනත වෙම්න් ඇතුලු වු ගරු පියතුමන් එහිදී වැඩිදුරටත් තම අධ්‍යාපන කටයුතු හදාරා වර්ෂ 1959දී ජාතික දෙව්සත්හලට ඇතුලත්විය.

ගරු බෙන්සිරි පෙරේරා පියතුමන් දෙව්සත්හලේදී
ගරු බෙන්සිරි පෙරේරා පියතුමන් දෙව්සත්හලේදී

මේ සමය කතෝලික සභාව වෙනස්වීම් රාශියකට මුහුණ පාමින් සිටි සමයක් විය. වර්ෂ 1962 දී දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට පෙර ශ්‍රී ලංකාවේ දෙව් මැදුරු වල ඇසුනේ ග්‍රොගෝරියානු සංගීත ආභාෂය ලද ලතින් ගීතිකා විය.

එහෙත් දෙවන මන්ත්‍රණ පසු දේවස්ථාන වල සිංහල බසින් ලියවුණ අර්ථවත් ගීතිකාවන් ගායනා කිරීමට ගරු බෙන්සිරි පෙරේරා පියතුමන් මූලිකව කටයුතු කලේය.

ඒ සඳහා පියතුමන් බටහිර, ලතින්, දේශිය මෙන්ම ඉන්දීය රාගධාරි සංගීතය ප්‍රගුණ කර තිබීම මනා පිටුවහලක් විය, ඒ වාගේම ගොන්සාල්වේස් සිංහල ආයතනය මගින්සංවිධානය කරන ලද සෑම වැඩසටහනකම පූජක සිසුවෙකු ලෙස ගරු පියතුමන් සහභාගි වූයේ එතුමන් තුල වූ කලා කාමි හදවත නිසාමය.

වර්ෂ 1966 දෙසැම්බර් මස 21 වන දින කොටහේන සාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පූජකවරය සක්‍රමේන්තුව ලබා ගත් පියතුමන් වසර 4ක කාලයක් මීසම් සහයක පියතුමෙකු ලෙස ඉටුකරන ලදී ඉන් අනතුරුව මීසම් සේවක පියතුමන් ලෙස කඳවල, කිඹුලාපිටිය, බෝලවලාන, තේවත්ත ජාතික බැසිලිකා අධ්‍යක්ෂක, කඳාන, පමුණුගම, තුඩැල්ල, මාබෝල වැනි මීසම් වල තම පූජක දිවියේ පුරා වසර 40ක කලයක් සේවය කිරීමට එතුමාණන්ට හැකි විය.

ගරු බෙන්සිරි පෙරේරා පියතුමා ගරු පියවරුන් සමූහයක් සමඟ ගත් ජායාරූපයක්
ගරු බෙන්සිරි පෙරේරා පියතුමා ගරු පියවරුන් සමූහයක් සමඟ ගත් ජායාරූපයක්

ශුද්ධාත්ම මඟපෙන්වීම තුළ ගරු බෙන්සිරි පෙරේරා පියතුමන් එම මීසම් වලට කල සේවාවේ මතකයන් අදටත් එම මීසම් වාසි කිතුණු ජනතාවගේ මතකයෙන් ගිලිහී නොයා තවත් බොහෝ කාලයක් පසස ගයනු ඇත.

දේව ධර්මය ශුද්ධ බයිබලය පිළිබඳ ඉතා ගැඹුරු හසල දැනුමක් තිබූ ගරු බෙන්සිරි පෙරේරා පියතුමන් එම දැනුම පුරා වසර 10ක කාලයක් ජෝසප් වාස් දේව ධර්ම නිකේතනයේ ශුද්ධ බයිබලය පිළිබඳ දේශකයකු ලෙස කටයුතු කරමින් බෙදා දුන්නේය.

තවද කොළඹ අගරදගුරු පදවියේ ජනවන්දනා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක පියතුමන් ලෙසද ගරු පියතුමන් කටයුතු කලේය.

දේශීය කිතුණු සභාව තුළ “බෙන්සිරි පිය ළකුණ” උන්වහන්සේ තබන ලද්දේ තම ගීතිකාව තුළිනි. ගී පද රචකයෙකු , තනු නිර්මාපකයකු, මෙන්ම දක්ෂ ගායකයකු ලෙසද උන්වහන්සේගේ ගුණ රාව ප්‍රතිරාව සැමදා හෙළ කිතුණු සභාව තුළ නැංවෙනු ඇත.

⁣”ජේසුනි ඔබට නමෝ” “සමිඳු මුවින් ගී” “සෙනේහසේ ගීතය” “දෙවිඳු පසස ගී” වැනි ගරු බෙන්සිරි පෙරේරා පියතුමන් අතින් ලියවුන, මුවින් ගැයුනු ගී එකතුවේ ගීතිකා 70කට අධික ප්‍රමාණයක් අදත් දිව්‍ය පුජාවන් වලදී සමිඳු මහිමය උදෙසා ගායනා කරනු ලබයි.

ගරු බෙන්සිරි පෙරේරා පියතුමා
ගරු බෙන්සිරි පෙරේරා පියතුමා

සමිඳුන් වෙත මගේ හද යන්නේ..
එතුමන් සොයමින් වෙහෙසෙන්නේ..
අන් දෙයකින් නිති සැප නැත්තේ..
සමිඳුන් ඇති තැන සැනසුම වේ…
සමිඳුන් ඇති තැනට තම හදවත එසවූ..
සමිඳුන් ඇති තැන සැනසුම සෙවූ…

ගරු බෙන්සිරි පෙරේරා පියතුමන් වර්ෂ 2021 ජූලි 9 වන දින ස්වර්ගස්ථ විය. ගරු බෙන්සිරි පෙරේරා පියතුමන්ට එම සැනසුම ලබමින් දෙව් මව් තුරුළේ නිත්‍ය සැනසුම ලැබෙන ලෙස ආනා මව් තුරුළේ පහස විඳින අප සැම පතමු.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි