අනුරාධපුර කුරුසිය
ක්‍රිස්තු වර්ෂ 1913 දී එවකට ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් තනතුර දරන ලද එඩ්වඩ් ආර්. අයර්ටන් මහතා විසින් පැරණි ඇතුළු නුවර ප්‍රදේශයෙහි සිදුකරන ලද පුරාවිද්‍යා කැනීමක දී පැරණි නිවසකට අයත් නටබුන් අතරින් කුරුසිය සලකුණ කැටයම් කරන ලද ග‍්රැනයිට් පාෂාණයෙන් කරවන ලද ශිලා ස්ථම්භයක් සොයා ගෙන ඇත.
1912-1913 පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ වාර්ෂික වාර්තාවේ දැක්වෙන පරිදි සිරස් අතට අඟල් 3 ¼ක් ද තිරස් අතට අඟල් 2 7/8ක් ද දිගින් යුත් මෙම කුරුසිය සලකුණ ආයත චතුරස‍්‍රාකාර පසුබිමක් තුළ පාෂාණය මත ගිල්වා තිබේ (Devendra 1956:85).
අයර්ටන් මහතාගේ අදහසට අනුව ගොඩනැගිලි සඳහා ගල් කුළුණු බහුලව ඇති නගරයට මෙම ගල් කුළුණ බැහැර ස්ථානයකින් නොගෙන්වන ලද අතර එය අනුරාධපුරයේම තිබූ ක්‍රිස්තියානි ආගමික ගොඩනැගිල්ලකට අයත් වූවකි.
ක්‍රමයෙන් පටුවෙමින් ඉහළට නගින පාදමක් මත තාල පත්‍ර මධ්‍යයෙහි මෙම කුරුසිය කැටයම් කර ඇත. පර්සියානු කලාවේ ලක්‍ෂණ මතකයට නංවමින් කුරුසියෙහි අගිස් හතර පෙති තුනෙහි කොළයක ආකාරයට කැයටම් කර ඇත.
ආචාර්ය දේවේන්ද්‍ර පෙන්වා දී ඇති පරිදි මේ කුරුසිය දේශීය කලාවෙහි නොදක්නා අංග වලින් අලංකෘත බව සැලකිය යුතු කරුණක් වේ (දේවේන්ද්‍ර 2007:83).
අනුරාධපුර කුරුසියට රූපීය වශයෙන් සම්බන්ධතා පෙන්නුම් කරන ආරුක්කු හා වෘත්තාකාර හැඩය ගත් පාෂාණයෙහි කැටයම් කරන ලද කුරුස සලකුණ ගණනාවක් දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් හමු වී දැනට චෙන්නාහි ශාන්ත තෝමස් බැසිලිකා දේවස්ථානයෙහි කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කෙරේ.
ඒවා අනුරාධපුර කුරුසියෙන් වෙනස් වන්නේ පාදමක් හා තාල පත්ර මත නොනැගෙන බැවිනි. පාදම හා තාල පත්ර මත නොනැංග ද ඒ අතරින් එකක් අනුරාධපුර කුරුසියට වඩා ළඟ ඥාතීත්වයක් පෙන්නුම් කරන බව අපගේ නිරීක්‍ෂණයේ දී පෙනීගිය කරුණකි.
අනුරාධපුර කුරුසිය අනුරාධපුර යුගයෙහි මෙරට විසූ කතෝලික ජන සමාජයක් පිළිබඳ තොරතුරු හෙළිකරන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් ලෙස එහි කර්තෘත්වය (Authenticity) වෙනස් කළ නොහැකි බැවිනි.
අනුරාධපුර කුරුසියෙහි කර්තෘන් කවුරුන් ද?
සියවස් දහයක කාලයක් ඉක්මවා ශ්‍රී ලංකාවේ අගනගරය ලෙස විරාජමාන වූ අනුරාධපුරය මල්වතු ඔය නිම්නයෙහි පිහිටා ඇත.
ක්‍රිස්තු පූර්ව යුගයෙහි පටන්ම දෙස්විදෙස් වානිජ සබඳතා පිළිබඳව පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය තොරතුරු හෙළිකරන අනුරාධපුර නගරය දියුණු වානිජ නගරයක් ලෙස නැගී සිටින්නේ පුරාතන ලංකාව ලෝකයට විවර කළ මන්නාරම අසළ පිහිටි මාතොට වරායෙන් ලද පිටිවහල හේතුවෙනි.
රාජ්‍ය කේන්ද්‍රස්ථානය වූ අනුරාධපුරය එකල විදේශීය දේශගවේෂකයින්ගේත්, වෙළෙඳුන්ගේත්, ආගමික යතිවරුන්ගේත් වර්ණනාවට ලක්ව ඇති ආකාරය දෙස්විදෙස් සාහිත්‍යය මූලාශ්‍රය මතින් හෙළිවන්නේ ය.
ලංකාවේ ස්වාභාවික පිහිටීම ද මෙකී ප්‍රවාහය තවදුරටත් බල ගැන්වීය. විවිධ අවශ්‍යතා මත ලංකාවට පැමිණි පුද්ගලයින් මෙරට පදිංචි වීමත්, ඔවුන්ගේම වෙළඳ හෝ ආගමික කණ්ඩායම් වශයෙන් සංවිධානය වී සිටි ආකාරයටත් උදාහරණයෝ ලංකා ඉතිහාසයෙහි කොතෙකුත් වෙති.
අනුරාධපුර යුගයෙහි ලංකාවේ කතෝලිකයින් විසුවේ ද යන පැනය ද ඉහත කී පදනම මතම විමසුමට ලක්කළ හැකි ය. ලංකාවේ කිතුණුවන් විසූ බවට වන මුල්ම පුරාවිද්‍යාත්මක සාධකය වන්නේ අනුරාධපුර කුරුසියයි.
නමුත් එහි කාල නිර්ණය මතභේදාත්මක ය. ලංකාවේ විසූ කතෝලිකයින් පිළිබඳව සාහිත්‍යාත්මක මූලාශ්‍රගත තොරතුරු සෙවීමේ දී අපට විදේශීය මූලාශ්‍රයක සහය පැතීම සිදු වේ.
කොස්මස් ඉන්ඩිකෝප්ලියුස්ටීස් නම් ග්‍රීක ජාතිකයාගේ (මොහු නෙස්ටෝරියානු නිකායික පූජකයෙක් ලෙස දැක්වේ) The Christian Topography නම් ග්‍රන්ථයෙහි මෙරට කතෝලික ජනපදයක් පැවති බවට තොරතුරු දක්වා තිබේ.
ක්‍රිස්තු වර්ෂ 540 දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියාව බලා යන ගමනේ අතරමඟ දී ලංකාවට පැමිණි බව දැක්වෙන කොස්මස් සඳහන් කරන පරිදි, මෙකල ලංකාවේ පර්සියන් කතෝලිකයින්ට අයත් දේවස්ථානයක් පැවති අතර එහි සේවය සඳහා පර්සියාවෙන් පත්කර එවන ලද පූජකයෙක් ද විය.
මෙහි පූර්ණ ආගමික වතාවත් ද සිදුකරන ලද බව දැක්වේ. කොස්මස් සඳහන් කරන වැදගත් කාරණයක් වන්නේ, මෙම රටෙහි ජනයා හා රජු වෙනත් ආගමකට අයත් වූ බවයි (Maccrindle 1897:365).
කොස්මස්ගේ ප්‍රකාශයේ සත්‍යතාව පිළිබඳව උගතුන් සැක පහළ කර ඇතත් (දේවේන්ද්‍ර 2007:86) එය සාවද්‍ය සේ සලකා බැහැර කරලීමට පෙර තත්කාලීන ඉන්දියානු සාගරීය වෙළඳාම කෙරෙහි අවධානය යොමුකිරීම හා ඒ හරහා කොස්මස්ගේ ප්‍රකාශය විමසීම වැදගත් සේ හැඟේ.
ක්‍රිස්තු වර්ෂ දෙ වැනි සියවසෙහි අග භාගයේ දී රෝමය බිඳ වැටීම සහ ක්‍රිස්තු වර්ෂ 323 දී කොන්ස්තන්තිනෝපල් නගරය අගනුවර වශයෙන් තබාගෙන බයිසන්තියන් අධිරාජ්‍ය පිහිටුවා ගනු ලැබීම පෙර අපර දෙදිග වෙළඳාමෙහි ප්‍රබල වෙනස්වීම් ඇති කළේ ය.
ඉන්දියන් සාගරය වෙත වැටී තිබුණ රතු මුහුද හරහා වූ මාර්ගය කෙරෙහි සෘජු පාලනයක් රෝමයට මෙන් කොන්ස්තන්තිනෝපල් නගරයට නොවුණි. විශේෂයෙන් චීන රෙදිපිළි ඇතුළු පෙරදිග භාණ්ඩ එක්රැස් කරගැනීම සඳහා බයිසන්තියන් පාලකයින්ට අතරමැදියන් වශයෙන් ක්‍රියාකළ ඇක්සූමයිට් (Axsumite) ඉතියෝපියානුවන් මත යැපීමට සිදු විය.
මෙහි දී ඔවුන් විශාල අධිරාජ්‍යයක් ගොඩනඟාගෙන සිටියා වූ සැසේනියානු පර්සියන්වරුන්ගෙන් එල්ල වූ තියුණු තරඟයට මුහුණ දුන්හ. ඔවුහු චීනය දක්වා වැටී තිබුණු ගොඩබිම් සේද මාර්ගයේ සෑහෙන කොටසක් පාලනය කළහ.
පෙර අපර දෙ දිග වෙළඳාමෙහි අතරමැදි තත්ත්වයේ ඒකාධිකාරීන් කෙරෙහි ඉලක්ක කළ පර්සියන්වරුන් තම නාවික සම්පත වැඩිදියුණු කරගත් අතර ක්‍රිස්තු වර්ෂ හය වැනි සියවස වන විට ඔවුහු ඉන්දියන් සාගරයේ වැදගත්ම සමුද්‍රාශ්‍රිත වෙළෙඳුන් බවට පත්වී සිටියහ (Kiribamune 1986:91).
පර්සියානු වෙළඳාම් කටයුතුවල කේන්ද්‍රස්ථානය වූයේ ශ්‍රී ලංකාවයි. මෙ සමය වනවිට ඉන්දියාවේ හා ලංකාවේ අතරමැදි වෙළඳාමෙහි පර්සියානුවන් පූර්ණ වශයෙන් නිමග්න වෙමින් එහි මුල් බැසගෙන සිටි අතරම, වැදගත් භූමිකාවක් ද නිරූපණය කළ ආකාරය හඳුනාගත හැකිවන්නේ ය.
කොස්මස් දක්වන පරිදි මෙම යුගයේ දී පර්සියානුවන් මෙරටට අශ්වයින් රැගෙන එන ලද බැවින් වරප්‍රසාද ලත් තත්ත්වයක් හිමිකරගෙන උන්හ (Maccrindle 1897:375).
ඉහත විස්තරය අනුව අපට පර්සියාව හා ලංකාව අතර පැවති වෙළඳ සබඳතාවන්හි ස්වභාවය අවබෝධ කරගත හැකි ය. කොස්මස් ලංකාවට පැමිණියෙකු වූව ද නොවූව ද ඔහුගේ විස්තරය සාවද්‍ය වුව ද නිරවද්‍ය වුව ද අපට එළැඹිය හැකි එක් උපකල්පනයක් වන්නේ ය.
එනම්, වෙළඳාම හරහා ලංකාවට පැමිණි පර්සියානුවන් මෙරට පදිංචි වීම සිදුවිය හැකි තත්ත්වයකි. පර්සියානුවන් කතෝලික සභාවෙන් වෙන්ව නෙස්ටෝරියන් නම් වෙනම සභාවක් ලෙස සංවිධානය වීමත් සමඟ ඔවුන් නෙස්ටෝරියන් කිතුණුවන් වශයෙන් හඳුන්වන ලදී.
අනුරාධපුරයේ විසූවන් පර්සියන් ජාතිකයින් වීම මත අනුරාධපුර කුරුසිය නෙස්ටෝරියානු කුරුසිය ලෙස ප්‍රචලිත විය. එහෙත් මෙය නිවැරදි හඳුනාගැනීමක් ලෙස නොසැලකේ.
ලංකාවේ කතෝලිකයින් සිටි බවට පෙන්වා දිය හැකි අනෙක් සාක්‍ෂ්‍ය වන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සිය Story of Sigiri ග්‍රන්ථයෙහි දක්වන තොරතුරුයි.
ධාතුසේන රාජ්‍ය (ක්‍රි.ව. 459-477) සමයෙහි ඔහුගේ සේනාව සඳහා දකුණු ඉන්දියාවේ මැංගලෝර් (මුරුණ්ඩ) ප්‍රදේශයෙන් ගෙන්වා ගෙන මෙර පදිංචි කර වූ කපිතාන්වරුන් හා සෙබළුන් බොහෝ දෙනෙක් කතෝලික ආගම (Kraistava) වැළඳගෙන සිටි පිරිසක් බව සඳහන් වේ (Paranavitana 1972:43).
මේ අනුව පෙනීයන්නේ කොස්මස් සඳහන් කරන ලද පර්සියන් කතෝලික නිකායිකයින්ට පෙර දකුණු ඉන්දීය ප්‍රදේශයක සිට පැමිණි කතෝලික දහම ඇදහූ පිරිසක් මෙරට විසූ බවයි. ඔවුන් කවුරුන් ද? මහාචාර්ය පරණවිතානයන් පෙන්වා දෙන්නේ මොවුන් ද පර්සියානු සම්භවය සහිත පිරිසක් බවයි.
ධාතුසේන රජුගේ සොහොයුරිය විවාහ කරගෙන සිටි මිගාර නම් ඇමතියා ද දකුණු ඉන්දියාවේ පල්ලව රාජ්‍යයට ගොස් එහිදී කතෝලික දහම වැළගෙන ඔහුගේ බිරිඳ හා දරුවන් ද එම ආගමට හරවා ගන්නා ලද බව ද දැක්වේ.
මෙ සමය වන විට දකුණු ඉන්දියානු ප්‍රදේශයන්හි කතෝලික දහම ව්‍යාප්තව පැවති බව තිර කෙරෙන සාදක පවතියි. එහෙත් ඒ පර්සියානු ජාතික කතෝලිකයින් මගින් ද යන්න ගැටලු සහගත ය.
කතෝලික සභාවේ ඉතිහාසයට අනුව කතෝලික දහම මුල්වරට ඉන්දියාවට ගෙන එන ලද්දේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ තෝමස් නම් අපෝස්තුළුවරයා (Follower) විසිනි.
ක්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසේ දී ඉන්දියාවට පැමිණි තෝමස් තුමා දකුණු ඉන්දියාවේ කොචිනය ආශ්‍රිත ප්‍රදේශයෙහි (වර්තමාන කේරළය) විසූ ජනතාව අතර කතෝලික දහම ව්‍යාප්ත කරන ලද බව පැවසේ. ලොව පැරණිම කතෝලික ජන සමාජය මෙය බව සැලකේ (From Wikipedia, the free encyclopedia).
තෝමස් තුමාගේ ඉන්දියානු ධර්ම ප්‍රචාර කටයුතු සඳහා එකල ඉන්දියාවේ දේශපාලනික බලය ව්‍යාප්ත කරගෙන සිටි පර්තියන් පාලක ගොණ්ඩපර්ණීස් (ක්‍රි.ව. 20-60) රජුගේ සහාය ද ලැබුණු බැව් සැලකේ.
මෙම ඓතහාසික කරුණ පුරාවිද්‍යා මූලාශ්‍රයක් මගින් ද සනාත කෙරේ. චෙන්නාහි ශාන්ත තෝමස් බැසිලිකා දේවස්ථානයෙහි කෞතුකාගාරය සතු ද්විත්ව රූප සහිත ශිලා ස්ථම්භයක එක් පසෙක පොතක් අතින් ගත් තෝමස් අපෝස්තුළුතුමන්ගේ රුවත් එහිම අනෙක් පස වැඳ වැටී සිටින ගොණ්ඩපර්ණීස් රජුගේ යැයි සැලකෙන රුවත් කැටයම් කර ඇත.
මෙම පුරාකෘතිය තෝමස් තුමා ධර්ම දූත සේවයෙහි යෙදුණු දකුණු ඉන්දියාවේ මයිලපූර් කන්ද (වර්තමාන St.Thomas Mount) ආශ්‍රිත ප්‍රදේශයෙන් අනාවරණය කරගෙන ඇත.
ක්‍රිස්තු වර්ෂ 52 දී ඉන්දියාවට පැමිණෙන තෝමස් තුමා ක්‍රිස්තු වර්ෂ 72 දී මයිලපූර් කන්දේ දී ප්‍රාණ පරිත්‍යාගීවන්නේ කතෝලික විරෝධී හින්දු බ්‍රාහ්මණ කැරැල්ලක ප්‍රතිඵලයක් ලෙසිනි.
එතුමාගෙන් කතෝලික දහමෙහි ආභාසය ලැබූ ජන පිරිසක් මෙකල දකුණු ඉන්දියානු කලාපයෙහි ජීවත් වූ බව සිතීමට එම ප්‍රදේශයෙන් අනාවරණය කරගෙන තිබෙන ශිලා පුරාවස්තු එමට සාක්‍ෂ්‍ය දරන්නේ ය.
දකුණු ඉන්දියාව හා ලංකාව අතර පැවති දේශපාලනික හා සංස්කෘතික සම්බන්ධතා හමුවෙහි කිතුවසින් සිව්වන සියවසෙහි අග භාගයෙහි පටන්ම කතෝලික දහම මෙරටට ද ලැබෙමින් පැවති බව සැලකීම යුක්ති සහගත ය. පස්වන සියවසේ දී කොස්මස් දක්වන්නේ ද මෙම කතෝලික සමාජය පිළිබඳ තතු විය හැකි ය.
අනුරාධපුර කුරුසිය හා ශාන්ත තෝමස් තුමාගේ බව සැලකෙන චෙන්නාහි ශාන්ත තෝමස් දෙව්මැඳුරේ බිත්තියකට සවිකර තිබෙන කුරුසිය සලකුණ ද යම් පමණකින් සමානත්වයක් දරන්නේ ය.
St.Thomas Mount ප්‍රදේශයේ දී ක්‍රිස්තු වර්ෂ 1547 දී පෘතුගීසීන්ට හමු වූ මෙම ගල් කැටයම ඔවුන් විසින් එහි ඉදිකරන ලද දේවස්ථානයෙහි බිත්තියකට සවිකර ඇත. අනුරාධපුර කුරුසිය මෙන්ම මෙම කුරුසිය ද එකිනෙක මතින් නැගෙන පදනම් තට්ටු තුනක් මත නැගේ. දෙපසට තාල පත‍්‍ර විහිදේ.
කළු පැහැති දීප්තිමත් පාෂාණයක් මත උනන්තව නෙළා ඇති ශාන්ත තෝමස් කුරුසිය කලාත්මක බවින් පරිපූර්ණ ය.
කුරුසියේ ඉහළම අගිස්ස මත කැටයම් කර ඇති පෙති තුනේ කොළය මත පිහිටන තවත් පෙති තුනේ කොළයක් හා කුරුසිය දෙපස කැටයම් කර ඇති කුළුණු දෙකත්, කුළුණු දෙක මත නැගගත් මකරුන් දෙදෙනෙකුගේ කටවලින් ඉහළට විහිදෙන ආරුක්කු හැඩයත් තොමස් කන්දේ කුරුසිය අනුරාධපුර කුරුසියෙන් වෙනස් කරවයි.
මකරුන් නැග සිටින කුළුණු හා ආරුක්කු හැඩය පර්සියානු ආභාසය ලත් ඉන්දියානු කලාවට නෑකම් පවසන බව පෙනේ. කැටයම වටා ආරුක්කු හැඩයට බේරන ලද රාමුව වටා ලිය වී තිබෙන පහ්ලව අක්‍ෂර පාඨයකි.
මෙම කුරුසිය සලකුණ ශාන්ත තෝමස් තුමා විසින්ම කරවන ලද බව සැලකුණ ද එහි සඳහන් වන පහ්ලව (පැරණි පර්සියානු) අක්‍ෂර ක්‍රි.ව. 7 වැනි සියවසට අයත් බව සැලකේ (දේවේන්ද්‍ර 2007:85).
Mar Thoma Sliba නමින් හඳුන්වන මෙම වර්ගයේ කුරුස සලකුණු කේරළයේ විවිධ ස්ථාන වලින් මෙන්ම, ගෝවල තමිල්නාඩුවල පාකිස්ථානයේ තක්‍ෂිලාවෙන් හමු වී ඇත. අනුරාධපුර කුරුසිය ද ඇතුළු කර ඇත්තේ මෙම වර්ගීකරණයටම ය (From Wikipedia, the free encyclopedia).
අනුරාධපුරයෙන් හමු වූ කුරුසිය සලකුණත්, ඉන්දියාවේ තෝමස් කන්දේ දේවස්ථානයෙහි ඇති කුරුසිය සලකුණ හා ශාන්ත තෝමස් බැසිලිකාවේ කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කෙරෙන කුරුසිය සලකුණු අධ්‍ය්‍යනයේ දී අපට පෙනී ගිය කරුණක් වන්නේ මේවා සියල්ලම එකම මූල ආභාසයක් ලබන බව ය. එය පර්සියානු ආභාසය ද? ඉන්දියානු දේශීය ආභාසයක් ද?
අනුරාධපුර කුරුසියේ කාල නිර්ණය
අනුරාධපුර කුරුසියේ කාල නිර්ණය සම්බන්ධයෙන් එය සොයාගත් අයර්ටන් මහතා පෙන්වා දෙන්නේ මෙම කුරුසිය පෘතුගීසි යුගයට අයත්වන බවයි. (Devendra 1956:85). නමුත් අපගේ අධ්‍යයනයට ලක් කරන ලද පෘතුගීසි කුරුසිය සලකුණු කිසිවක් අනුරාධපුර කුරුසියට ඥාතීත්වයක් පෙන්නුම් කරන බව නොපෙනේ.
මෙම කුරුසිය සලකුණ සහිත ශිලා ස්ථම්භය හමු වූ සන්දර්භය අනුව එය පිටතකින් එම ස්ථානයට ගෙන ආවක් බව පැහැදිලි ය. එබැවින් ඒ හා සමඟ සන්සන්දනාත්මක අධ්‍යයනයකට අවශ්‍යය වෙනත් පුරාවස්තු අප සතු නොවේ.
අනුරාධපුර කුරුසියේ කාල නිර්ණය පිළිබඳව යම් අදහසක් ලබා ගත හැක්කේ එය ශාන්ත තෝමස් කුරුසිය හා සන්සන්දනාත්මකව අධ්‍යයනයට ලක් කිරීමෙනි. නමුත් එම කුරුසිය සම්බන්ධයෙන් ද නිශ්චිත කාල නිර්ණයක් ඉදිරිපත් වී නොමැත.
දේවේන්ද්‍ර මහතාට අනුව එම කුරුසිය ක්‍රිස්තු වර්ෂ හත්වන ශතවර්ෂයෙන් මෙපිටට අයත් වන්නකි (දේවේන්ද්‍ර 2007:85). බොහෝ දුරට අනුරාධපුර කුරුසිය ද එම යුගය හා සම කාලීන වීමට ඉඩ ඇති බව පෙනේ.
එකම රූපීය ලක්‍ෂණයන් පෙන්නුම් කර තිබීම හැර මෙම කරුණ සනාත කිරීමෙහි ලා ඉදිරිපත් කළ හැකි වෙනත් සාක්‍ෂ්‍ය නොපෙනේ.
සමාලෝචනය
දකුණු ඉන්දියාවේ ශාන්ත තොමස් කුරුසිය හා ශාන්ත තෝමස් බැසිලිකා දේවස්ථානයෙහි දක්නට ලැබෙන කුරුසිය සලකුණු සමඟ ශ්‍රී ලංකාවේ අනුරාධපුර කුරුසිය සන්සන්දනාත්මකව අධ්‍යයනයට ලක්කරමින් සිදුකරන ලද මෙම විග්‍රහයේ දී පැහැදිලි ලෙසම මෙම කුරුස සියල්ලම පර්සියානු කලා ලක්‍ෂණයන්හි ආභාසය ලබා ඇති බව පෙනීයන්නේ ය.
දක්‍ෂිණ ඉන්දීය කලාපයට කතෝලික දහම ශාන්ත තෝමස් තුමන් විසින් හඳුන්වා දුන් බැවින් එතුමා විසින් කරවන ලදැයි ජන විශ්වාසයෙහි පවතින St.Thomas Mount හි කුරුසිය හා ඒ වටා දිවෙන පහ්ලව (පර්සියානු) වට පාඨය මෙම කරුණ තහවුරු කරලයි.
ක්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසේ දී තෝමස් තුමන් විසින් ඉන්දියාවෙහි පිහිටුවන ලද කතෝලික ආගමික සභාවන් එතුමාගේ මරණින් අනතුරුව යම් යම් වෙනස්කම් වලට බඳුන් වූ බව සිතීමට සාදක පවතියි.
ක්‍රිස්තු වර්ෂ 5/6 සියවස්හි ඉන්දියාව හා ලංකාව හරහා ක්‍රියාත්මක වූ පර්සියානු වෙළඳාම හරහා එම රටවල පැවති කතෝලික ආගමික විශ්වාසයන් හා ඇදහිලි පිළිවෙත් ඉන්දියාවට ද ඇදී එන්නට ඇත.
දහසය වන සියවසේ දී මයිලපූර් ප්‍රදේශය ආශ්‍රයෙන් විවිධ වර්ගයේ කුරුසිය සංකේත ගණනාවක් අනාවරණය කරගත් අන්තෝනියෝ ගොවුවියා දක්වන්නේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව කුරුසිය වන්දනාව චාරිත්‍රයක්ව පවතින්නට ඇති බවයි (From Wikipedia, the free encyclopedia).
එබැවින් දේශීය ඉන්දීය ලක්‍ෂණ මෙන්ම විදේශීය ලක්‍ෂණයන් ද සහිත කුරුසිය සලකුණු මෙම කුරුස වන්දනා සංස්කෘතිය තුළ ඉදි කරන්නට ඇත. අනුරාධපුර කුරුසියේ කර්තෘන් ද මෙම සංස්කෘතියට ඥාතිත්වය කිවූවන් විය හැකි ය.
එවන් ජන කණ්ඩායමක් විසින් ඉදිකරන ලද ආගමික ගොඩනැඟිල්ලකට කුරුසිය සලකුණ සහිත මෙම ශිලා කුලුණ අයත් විය හැකි ය.