පඬුරු පිදීමේ ප්‍රධාන පරමාර්ථ තුනකි.
- දිව්‍ය යාගය සඳහා පූප සහ මිදිරස ගෙන ඒම.
- දිළිඳුන් අතරේ බෙදා දීම සඳහා ඔවුනට අවැසි දේ ගෙන විම.
- ආත්මික එඬේරුන්ගේ නඩත්තුව සඳහා අවශ්‍ය දේ පිදීම.
මෙම පරමාර්ථ මෑත කාලයේ දී යෝජනා වූ ඒවා නොවේ. සාන්ත සභාවේ මුල් වකවානුවල සිට ම පඬුරු පිදීමේ පරමාර්ථ වූයේ මේවා ය. අතීතයේ එක් වකවානුවක දිව්‍ය පුජාව පඬුරු පිදීමෙන් ඇරැඹුණි. ඊට හේතුව වූයේ පැමිණෙන සෑම කෙනෙකුම ඉහත කී කුමන හෝ කාරණාවක් අරබයා පඬුරක් ගෙන ඒම ය. මෙලෙස පඬුරු එකතු කිරීම සඳහා බොහෝ කාලයක් වැය වූ නිසා පසු කලෙක සැදැහැවතුන්ගෙන් කොටසක් පමණක් පඬුරු පිදීමේ නිරත වූ අතර සෙසු අය මුදල් වලින් සම්මාදම් වූහ. එබැවින් මුදල් සම්මාදම අනිවාර්යයෙන් ම පඬුරු පිදීමේ කොටසක් බව අවධාරණය කරමු. එහි පරමාර්ථය වන්නේ එකිනෙකා තම තමන්ගේ පෞද්ගලික සහභාගිත්වය තහවුරු කිරීම යි. එබැවින් එම සම්මාදම ද අනෙකුත් පඬුරු සමග ගෙන ඒම අර්ථවත් බව ද සඳහන් කරමු.
වර්තමාන තත්ත්වය මඳක් විමසුමට ලක් කළ විට ඇති වන්නේ පහන් සංවේගය සපිරි විමතියකි. ඉහත කරුණු එකින් එක විමසා බලමු.
අද තිබෙන තත්ත්වය අනුව පූප සහ මිදිරස සැදැහැවතුන් පෙරහැරේ රැගෙන පැමිණිය ද ඒවා පෙර කලෙක මෙන් තම නිවෙස් වලින් ගෙන ඒම අවශ්‍ය නැත. ඒවා කිසියම් ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය විය යුතු බැවින් එසේ නිපදවෙන්නේ පැවිදි ආරාම වැනි ස්ථානවල ය. සභාවේ මුල් වකවානුවල ඒවා නිවෙස්වල නිෂ්පාදනය කෙරුණු අතර ඒවායේ එක ප්‍රමිතියක් දක්නට ලැබුණේ නැත. පූප සහ මිදිරස සඳහා බරපැණ දැරීම සැදැහැවතුන් අතින් සෘජුව සිදු වන්නේ නැත. එබැවින් ඒවා පඬුරු පෙරහැරේ රැගෙන පැමිණිය ද ඔවුන්ට ඒ පිළිබඳ තමන්ගේ ඇඟට දැනෙන අන්දමේ පරිත්‍යාගශීලී රිදීමක් නැත.
පරිත්‍යාගශීලී රිදීම බෙහෙවින්ම අත්දැකිය හැක්කේ දෙවන පරමාර්ථය හෙවත් දුගීන් අතරේ බෙදා දීම සඳහා පඬුරු පිදීමේ දී ය. එහිදී තම හැකියාවෙන් පඬුරු පුදනවාට වඩා තම නොහැකියාවෙන් පඬුරු පිදීමෙන් යාගික වීම යම්තාක් දුරකට හෝ අත්දැකිය හැකිය. තම නොහැකියාවෙන් පඬුරු පිදීම යනු ශුද්ධ සුවිශේෂායේ සඳහන් වන වැන්දඹුවගේ පඬුර වැනි සහ පුරාණ ගිව්සුමේ සඳහන්වන සරෙප්තාවේ වැන්දඹුව එළියා දිවැසිවරයාට තමන් සතු පිටි සහ තෙල් සියල්ලම වැය කොට සංග්‍රහ කිරීම වැනි යාගික බවකි. එහෙත් අද බොහෝ තැන්වල සිදුවන්නේ ඉතා කණගාටුදායක දෙයකි. කොපමණ අධෛර්යවත් කළ ද තවමත් ඇතැම් තැන්වල ගෙන එන්නේ සංකේත ය.
සංකේත අර්ථවත්බව අපි දනිමු. එහෙත් ඒවා පඬුරු පිදීමේ අවස්ථාව සඳහා අර්ථවත් නැති බව ද අවධාරණය කරමු. සංකේත දුගීන්ගේ අවශ්‍යතාවයන් පිරිමැසීම සඳහා ඔවුන්ට බෙදා දෙන්නට නොහැකිය. එබැවින් සංකේත පඬුරු ගෙන ඒමෙන් වැළකිය යුතුය. මෙය බොහෝ විට සිදු වන්නේ විවාහ මංගල සහ දෙව්මැදුරේ මංගල පූජාවන් අවස්ථාවන්හිදී ය. ගෙන ආ යුතුවන්නේ දුගීන්ගේ හෝ පීඩාවට පත්වූවන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගත හැකි පඬුරු ය.

උදාහරණයක් රටේ යුද්ධය පැවති සමයේ උතුරේ අවතැන් වූවන්ට අවශ්‍යවන්නේ තෙල්, මල්, සුවඳ සඳුන් නොවේ. ලුණු, කිරි. ගල්. කටු, වැනි සංකේත ද නොවේ. ඔවුන්ට තුවාල බැඳීමට වෙලුම්පටි අවශ්‍ය ය. තුවාල වලට බෙහෙත් වුවමනා ය. බොන්නට පිරිසුදු වතුර වුවුමනා ය. අඳින්නට රෙදිකඩක් වූවුමනා ය, රෑට නිදන්නට පැදුරක් වුවුමනාය. එවැන්නන්ට මඟුල් පූජාවලදී රන්වන් පටිවලින් හැඩ දමා ඉරටු වට්ටිවල අසුරන ලද මල් වුවමනා නැත. වෙඩි හඬට පණ බියේ, දඩිබිඩියේ තැන තැන දුවන ඔවුන්ට වෙඩිං කේක් කන්නට තරම් මානසික සහනයක් නැත.
මඟුල් පුජා වලට අද ලක්ෂ ගණනින් වියදම් කෙරේ. එසේ කරන්නට ජනතාව මැළිවන්නේ ද නැත. ඒ වියදම් කරන ගණනින් සියයට එකක්වත් දිළිඳුන් සඳහා වෙන් කරන්නට නොහැකි වන්නේ ඇයි දැයි ඇසිය යුතුය. එබැවින් පඬුරු පෙරහැරේ රැගෙන ආ යුතුවන්නේ මොනවාර යි තීරණය කර නැති බැරි, පීඩිත වූවන් සඳහා අවශ්‍ය පඬුරු පිදීමේ ක්‍රමයත් ඇත්තෙන්ම අනිවාර්යය කළ යුතුය.
මෙම අවශ්‍යතාවයන් කලින් සොයා දැන ගැනීම ද මෙම කාර්යයෙහි ම කොටසකි. මුල් කිතුනු සභාවේ මෙම වගකීම දරූයේ තේවාචාර්යවරුන් ය. ඔවුහු ගමේ ඇවිද සැදැහැවතුන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලූ අතර විශ්වාසකයින්ගේ යාච්ඤාව අවස්ථාවේදී එම අවශ්‍යතාවයන් වෙනුවෙන් යාඥා කිරීම ද සිදු විය. එය එක්තරා අන්දමකින් ගමේ අවශ්‍යතාවයන් සැදැහැවතුනට දැනුම් දීමේ ක්‍රමයක් ද විය. සැදැහැවතුන් පඬුරු ගෙනාවේ ඒ අනුව ය. වර්තමානයේ මෙවැනි ක්‍රම වේදයක් මීසම්වල ඇත්දැයි සොයා බලනු වටී. ඒ සඳහා තේවාචාර්යවරුන්ම අවශ්‍ය නැත. ගිහි දූත සේවාවන් හි නිරත අයට මෙය පහසුවෙන් කළ හැකිය.
එමෙන්ම, ගෙනා පඬුරු අවශ්‍යතාවය ඇති අය අතරේ බෙදා දීමේ ක්‍රම වේදයක් සැකසීම ද වැදගත් ය. මුල් කිතුනු සභාවේ මෙම වගකීම පැවරුණේ ද තේවාචාර්යවරුන් ට ය. එහෙත් දැන් අප අතර බහුල දයාවේ සමිති වලට වුව ද මෙය කළ හැකිය. මීසම් සේවක පියතුමා ට ද මෙය සෘජුව ම සංවිධානය කළ හැකිය. අවශ්‍ය වන්නේ ගෙනා දේ නරක්වන්නට මත්තෙන් බෙදා දීම ය. ඇතැම් තැන්වල ගෙනා ආහාර ද්‍රව්‍ය කල් ඉකුත්වන තෙක්ම බෙදා දී ගත නොහැකිව ගොඩ ගැසෙනු දැකීම කණගාටුවකි.
එමෙන්ම, මේවා පරිත්‍යාග කිරීමේ දී සහ බෙදා දීමේ දී ඉතා නිහඬව, රහසිගතව එසේ කිරීමට වග බලා ගත යුතුය. දකුණත කරන දේ වමතට නොදැනෙන පරිදි කිරීම සමිඳාණන් වහන්සේ කියා දුන් පිළිවෙල යි. රටට ම අඬ බෙර ගසා පඬුරු බෙදීම කිතුනු කමට නිග්‍රහයකි. ඇතැම් විටෙක ගෙනෙන සංකේත විස්තර කිරීම ද සිදුවේ. ඊටම ඈඳා විශ්වාසකයින්ගේ යැදුම ද සැකසේ. මේවා පුහු අලංකරණ පමණි. ඒවා අනුමත කළ නොහැකි ය. තමන් ගෙන එන දේ පිළිබඳ වර්ණනා කිරීම උසුළුවකි.
සඳහන් කළ යුතු ඊළඟ වැදගත් කරුණ වන්නේ පඬුරු පෙරහැර සඳහා සහභාගිවන්නන් පිළිබඳව ය. පඬුරු පිදීමේ අවස්ථාවට සහභාගි විය හැක්කේ බෞතිස්ම ස්තාපනය ලැබූ කතෝලිකයින්ට පමණි. විශේෂ අවස්ථාවල දී දෙව් මැදුරට එන අන්‍යාගමිකයින් මේ සඳහා යොදවා ගත නොහැකි ය. මෙය අන්‍යාගමිකයින්ට අපේ හොඳ හිත පෙන්වීමේ අවස්ථාවක් නොවේ. එසේ කිරීම සඳහා වෙනත් අවස්ථා එමට ඇත. විශේෂයෙන් ම පඬුරු පිදීම සඳහා දේශපාලන බලවතුන්ට ඇරයුම් කරන්නේ නම් ඔවුන් කතෝලිකයින් බව තහවුරු කළ යුතුය.
එමෙන්ම, මඟුල් දිව්‍ය පුජාවලදී ඉතා කුඩා ළමුන් පඬුරු පිදීමේ පෙරහැර සඳහා යොදා ගැනීම බලවත් වරදකි. සාමාන්‍යයෙන් අපගේ තේවාවන් සඳහා ළමුන් බාර ගැනෙන්නේ ඔවුන් පළමු වර දිව්‍ය සත්ප්‍රසාද ලැබීමෙන් පසුව ය. දේව වාක්‍ය ප්‍රකාශනය සඳහා ළමුත් යොදා ගත හැක්කේ ඔවුන් අභිවෘද්ධි ආලේපය ලැබීමෙන්ප සුව ය.
එබැවින් මඟුල් පුජාවලදී ළදරුවන් භාවිත කිරීම හුදු වින්දනය සඳහා සිදුවන දෙයක් මිස ජනවත්දනාත්මක වටිනාකමකින් යුත් දෙයක් නොවේ.
පඬුරු ලෙස පූජාසනය මත මුල සිට ම දැල්විය යුතු පහන් ගෙන ඒම සහ ශුද්ධ බයිබලය ගෙන ඒම අර්ථවත් නැත. රැගෙන එන පඬුරු පූජාසනය මත තබන්නේ නැත. පූජාසනය මත තබන්නේ පූප සහ මිදිරස පමණි. ජාතික ධජ වැනි දේ වුව ද එහි තබන්නේ නැත.
පඬුරු පුදන අවස්ථාවේ දී ඒ සඳහා උචිත ගීතිකාවක් ගායනා කළ හැකිය. ගීතිකාව පඬුරු පිදීම අවසානයේ දී නවත්වා පුදසුන සූදානම් කිරීමේ යැදුම් වලට ඉඩ දීම මැනවි. එහෙත් අවශ්‍යම නම් ගීතිකාව දිගටම ගායනා කිරීම කළ හැකිය. පඬුරු පෙරහැර අවසානයේ දී පූප සහ මිදිරස ලෙන ඒම අනිවාර්යය ය. ඒවා නොමැති නම් එය පඬුරු පෙරහැරක් වන්නේ නැත.

දේශීය සංස්කෘතියට අනුව පඬුරු පෙරහැරට නර්තන හඳුන්වා දීමේ දී ඉතා කල්පනාකාරී විය යුතුය. නැටුමේ පරමාර්ථය කුමක් දැ යි මුලින් ම ඇසිය යුතු වෙයි. නැටුමෙන් සැදැහැවතුන්ගේ සංයමයට බාධා වන්නේ නම් එවැනි නැටුම් නැති තරමට හොදය. කලබල කිරීම රෝමානු පිළිවෙතට සුදුසු නැත.
අවසන් කොට පැවසිය යුත්තේ ආත්මික එඬේරුන් පිළිබඳව ද සිතා ඔවුන්ගේ ප්‍රයෝජනය සදහා ගත හැකි පඬුරු පිදීම පුරාණ ගිවිසුම සමයේ සිට ම පැවතඑන යහපත් සිරිතක් බව යි.
ගරු සිසිල් ජෝයි පියතුමාගේ ජනවන්දනා ගැටළුවලට පිළිතුරු ග්‍රන්ථය ඇසුරෙන්