Sarana mangalyaya pilibada upamawa

සරණ මංගල්‍යය පිළිබඳ උපමාව

මතෙව් 22:1-14

යළිත්, උන් වහන්සේ සෙනඟට කතා කරමින් උපමා මඟින් මෙසේ වදාළ සේක: ”ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය. එක්තරා රජෙක් තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය.

ඔහු සරණ මංගල්‍යයට ආරාධිතයන් කැඳවාගෙන එන පිණිස දාසයන් යැවී ය. එහෙත්, ඔව්හු එන්න අකමැති වූ හ. යළිත් ඔහු වෙන දාසයන් යවා, ‘මෙන්න, මාගේ මංගල භෝජනය පිළියෙළ කර තිබේ. ගොනුන් හා තර කළ සතුන් මරා, කෑම සාදා ඇත. හැම දෙය ම සූදානම් ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආරාධිතයන්ට කියන්නැ’යි කී ය.

එහෙත්, ඔව්හු එය නොසලකා, කෙනෙක් තමාගේ කෙතටත්, තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියහ. සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, ඔවුන්ට නිග්‍රහ කොට, මැරූ හ. රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.

එවිට ඔහු තම දාසයන්ට කතා කොට, ‘මංගල්‍යය සූදානම් කර තිබේ. එහෙත්, ආරාධිතයෝ සුදුස්සෝ නොවෙති. එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය. ඒ දාසයෝ මාවත්වලට ගොස් හමු වූ යහපත් අයහපත් දෙගොල්ල ම රැස් කළහ. අමුත්තන්ගෙන් මඟුල් මඩුව පිරී ගියේ ය.

එහෙත්, රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල, එහි මඟුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක, ‘මිත්‍රය, මඟුල් ඇඳුමක් නොහැඳ මෙතැනට ආවේ කෙසේ දැ’යි ඔහුගෙන් ඇසී ය. ඔහු නිහඬ විය. එවිට රජතුමා කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි සේවකයන්ට කී ය.

මන්ද, කැඳවනු ලැබුවෝ බොහෝ ය. තෝරාගනු ලැබුවෝ ස්වල්ප ය.”

ලූක් 14:15-24

එහෙත් උන් වහන්සේ කතා කරමින් මෙ‍සේ වදාළ සේක: ”එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙළ කොට බොහෝ දෙනෙකු කැඳැවී ය.

භෝජන වේලාව පැමිණෙත් ම, ‘එන්න, දැන් සියල්ල සූදානම් ව ඇතැ’යි කැඳවනු ලැබූවන්ට කියනු පිණිස ඔහු සිය දාසයා යැවී ය.

එහෙත්, ඔව්හු සියල්ලෝ ම නෑවිත් සිටීමට එකහෙළා කරුණු කියන්නට පටන් ගත්හ. පළමුවැන්නා, ‘මම කෙතක් මිළ දී ගතිමි, එය බලන්නට යාම අවශ්‍ය ම ය. මට කමා වන මෙ‍න් ඉල්ලමි’යි ඔහුට කී ය.

තව කෙනෙක්, ‘මම ගොන් පස් බානක් මිළ දී ගතිමි; ඔවුන් වැඩට හොඳ ද කියා අත්හදා බලන්න යමි; මට කමා වන මෙ‍න් ඉල්ලමි’යි ඔහුට කී ය.

තවත් කෙනෙක්, ‘මම ස්ත්‍රියක විවාහ කර ගතිමි; එබැවින් එන්න නොහැකි ය’යි කී ය. ඒ දාසයා පෙරළා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වී ය.

එවිට ගෘහපතියා කෝප ව, ‘වහා ම නුවර වීදිවලට ද පටු මාවත්වලට ද යව, දිළිඳුන් ද අබ්බගාතයන් ද අන්ධයන් ද කොරුන් ද මෙ‍හි ගෙනෙව’යි සිය දාසයාට කී ය.

දාසයා ද, ‘ස්වාමීනි ඔබ අණ කළ ලෙස කෙළෙමි. එහෙත් තවත් ඉඩකඩ ඇතැ’යි කී ය.

එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව,’යි කී ය.

මම ඔබට කියමි, ආරාධිතයන් අතුරෙන් එකෙක් වත් මාගේ මංගල භෝජනයේ රස නොබලන්නේ ය.”

මේ හා සම්බන්ධ වෙනත් ලිපි