ශු. කයිතානු මුනිතුමන්
ජනවන්දනා ලිතට අනුව අගෝස්තු 07 දාට යෙදෙන්නේ ශු. කයිතානු මුනි මංගල්‍යයයි. 1480 දී වැනීසියේ උපන් එතුමා පළමුව නීතිය හදාළ මුත් පසුව තම දිවිය අන් මගකට යොමුකරමින් ජනතා සේවයට කැපවූයේය.
රෝහල් ඉදිකරමින් ගිලනුන්ට කායික සුවය ගෙන එන්නට තැබූ පියවර තවත් පෙරට ගෙනයමින් ජනතාවට ආත්මික සුවයක් ගෙන එන්නට ඇපකැප වූ එතුමා ඊට සහයක් ලෙස පූජකවරය ලබා ගත්තේය.
ඉතාලියේ නේපල්ස් කේන්ද්‍රකොට තම සේවාව දියත්කළ එතුමා එවකට පැනනැගුණු රෙපරමාදු විප්ලවයෙන් ඇතිවූ හානි සමනය කිරීමට පියවර ගත් අතර ඒ වෙනුවෙන් සේවය කිරීමට කැපවූ තියටීන (Theatines) පැවිදි නිකාය ආරම්භ කිරීමට සම්බන්ධ වූයේය.
1547 දී සගසුව දිනූ එතුමාගේ දේහය නේපල්ස් හී සා.පාවුලු බැසිලිකාවේ තැන්පත් කොටැති අතර එතුමා රැකියා විරහිත අයගේ, රැකියා සොයන අයගේ, දරුපල අහිමි මාපියන්ගේ මෙන්ම බැංකු සේවකයින්ගේ නාම සාන්තුවරයා ලෙස බුහුමන් ලබයි.
එතුමාගේ ප්රතිමාවල බිළිඳු ජේසු තුමා දරා සිටීම හා සබැඳි පුවත නම් 1517 නත්තලට පෙර සැදෑවේ එතුමා දුටු දර්ශනයකි. එනම් දේවමාතාවන් බිළිඳු ජේසු තුමන් එතුමාගේ දෝතට දෙන ආකාරයයි.
මෙරට ශු. කයිතානු මුනිවරයාට කැපකළ දේවස්ථාන
මෙරට ශු. කයිතානු මුනිවරයාට කැපකළ දේවස්ථාන තුනකි.
කොටුගොඩ
එතුමා නමින් ඇති වඩා පැරණි දේවස්ථානය වන කොටුගොඩ දේවස්ථානය ජාඇළ මිනුවන්ගොඩ මාර්ගයට මුහුණලා පිහිටි අතර එහි ඉතිහාසය 1825 තරම් ඈත යුගයකට දිවේ. විටෙක එහි ආරම්භය ඊටත් වඩා පැරණි බවද කියැවේ.
අද තිබෙන දේවස්ථානය සදහා 1894 දී මුල්ගල් තබා ඇත්තේ ගරු කොලින්,ඔයිලින්, ද වි හා ඔගස්ටස් යන නිමනි පියතුමන්ලාගේ මූලිකත්වයෙනි. මුලින් තුඩැල්ල මීසමට අයත් වූ කොටුගොඩ 1930 දී ස්වාධීන මීසමක් බවට පත්වී ඇත. මේ දේවස්ථානය සතුව ශු. කයිතානු තුමාගේ ඓතිහාසික ප්‍රතිමා දෙකක්ද ඇත.
මාරිස්සන්කූඩල්
යාපනය රදගුරු වසමේ උතුරු අන්තයට වන්නට පිහිටි මේ දේවස්ථානය ගැන 1849 දී එවකට සිරිලක සසුන් නායකත්වය දැරූ අතිඋතුම් කයිතානෝ අන්තෝනියෝ හිමිපාණන් යැවූ වාර්තාවක සදහන් වේ.
වලිකාමම් ධර්ම දූත මධ්‍යස්ථානයට අයත් වූ එය විශාල කොට ඉදිකිරීමේ ගෞරවය 1865- 1875 කාලයේ සේවය කළ බොයිසෝ (නිමනි) පියතුමාට හිමිවේ.
වැලිහේන
මීගමුවට උතුරින් කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි මේ දේවස්ථානය පළගතුරේ මීසමට අයත් දේවස්ථානයක් ලෙස 1932 දී ආරම්භ වී ඇත. ගරු මතියස් පියතුමා එහි පුරෝගාමියා සේ සැලකේ. පසුකාලීනව වැලිහේන ස්වාධීන මීසමක් බවට පත්විණි.
මාධව ජයකොඩි