karmel hi apa swami du

ශ්‍රී සලුධාතු දේවමාතාව හෙවත් කාර්මෙල්හි අප ස්වාමිදූ

|

මෙම ලිපිය තුලින් ශ්‍රී සලුධාතු දේවමාතාව හෙවත් කාර්මෙල්හි අප ස්වාමිදූ පිළිබදව තොරතුරු ඔබට ගෙන එමු. සාන්ත සභා මාතාව ජූලි මස 16 වන දින සලුධාතු මාතාව හෙවත් කාර්මෙල්හි අප ස්වාමිදූගේ මංගල්‍යය මහත් ආනන්දයෙන් හා ජයෝත්සවයෙන් යුතුව සමරන්නීය.

කාර්මෙල් මාතාවෝ’ යන නාමය

දේව මාතාවන්ට ‘කාර්මෙල් මාතාවෝ’ යන නාමය පටබැඳුණේ ‘කාර්මෙල් කඳුවැටිය’ අසල ගොඩ නැගුණු දේවමාතා බැතියක් හරහා ය. කාර්මෙල් කඳුවැටිය අපිට මුණ ගැසෙන්නේ ඊශ්‍රායලයේ හයිෆා (Haifa) නගරයට ආසන්නවය.

‘කාර්මෙල්’ යනු හිබෲ වදනක් වන අතර එහි තේරුම, ”කෙරෙම්’ (Kerem) යන්නෙන් ‘මිදි උයන’ හෙවත් ‘පිට්ටනිය’ යන්න ද, ‘එලි’ (Eli) යන්නෙන් ‘දෙවියන් වහන්සේ’ යන්නද අරුත් ගැන්වේ. එබැවින් ‘කාර්මෙල්’ යන්නෙහි තේරුම ‘දෙවියන් වහන්සේගේ මිදි උයන’ හෙවත් ‘දෙවියන් වහන්සේගේ වත්ත’ යන්නයි.

කාර්මෙල් කඳුවැටිය
කාර්මෙල් කඳුවැටිය

ඉතිහාසය

කාර්මෙල් කඳුවැටිය අපට ශුද්ධවූ බයිබලය තුළ මුණ ගැසෙන්නේ එලියා දිවැසිවරයා සම්බන්ධ කතා පුවත් තුළ ය. එලියා දිවැසිවරයා යනු ඊශ්‍රායල් ජනතාවගේ ‘දිවැසාවලිය’ සංකේතවත් කරනු ලබන ශ්‍රේෂ්ඨතම දිවැසිවරයා ය. තාබෝර් කන්ද මුදුනේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍ය රූප විලාශ වීමෙහි සිදුවීමේදී පේදුරු, ජාකොබ් හා ජුවාම් හමුවේ දර්ශනය වූයේ මෝසෙස් සහ එලියා දිවැසිවරයා ය.

ඊශ්‍රායල් ජනතාව වන්දනා කරන ලද්දේ එකම දෙවියන් වහන්සේ වූ යාවේ දෙවියන්වහන්සේට පමණි. නමුත් අහාබ් රජු (ක්‍රි. පූ.9 වන ශතවර්ෂය) හා ඔහුගේ දිවැසිවරුන් විසින් විවිධ දෙවිවරුන් වන්දනා කරනු ලබන ‘බාල් වන්දනාව’ ඊශ්‍රායල් දේශය පුරා පතල කරන ලදී. එයට විරුද්ධව නැගී සිටිමින්, නැවතත් ඊශ්‍රායලය ජනතාව ඒක දේව වන්දනාව සඳහා යොමු කරන ලද්දේ එලියා දිවැසිවරයා විසිනි.

එසේම ඊශ්‍රායලය පුරා පැවැත්වුණු නියඟය හමාර වූයේද එලියා දිවැසිවරයා යාවේ දෙවියන් වහන්සේ ඉදිරියේ කරන ලද යැදුම් නිසා ය. (1 රාජාවලිය 18). මෙම එලියා දිවැසිවරයා පදිංචිව සිටියේ කාර්මෙල් කන්ද අසල ඇති ගල් ගුහාවක ය. අදටත් මෙම ගල් ගුහාව එම ස්ථානයේ අපට දැකගත හැක.

දොළොස් වන ශත වර්ෂයේ දී තුන්වන කුරුස යුද්ධයෙන් (1189 – 1191) පසුව, යුරෝපයේ සිටි ආගම දහමට ලැදි පිරිසක් හයිෆා නගරයේ ආසන්න ඇති එලියා දිවැසිවරයා පදිංචිව සිටි එම ගල් ගුහාව අසළට ඇවිදින් ජීවත් වන්නට විය.
ඔවුන් සියලු දෙනා ගැඹුරු තාපස ජීවිතයක් ගත කළ අතර ඔවුන්ව “කාර්මෙල් කන්දේ මරියතුමියගේ සොහොයුරෝ” (Brothers of St. Mary Mount Carmel) ලෙස හඳුන්වනු ලැබීය.

කාර්මෙල් කන්දේ මරියතුමියගේ සොහොයුරෝ
කාර්මෙල් කන්දේ මරියතුමියගේ සොහොයුරෝ

අප බොහෝ දෙනෙක් දන්නා වූ කාර්මෙල් පන්තියේ ගරු සොහොයුරන්, ගරු පියවරුන් හා ගරු කන්‍යා සොහොයුරියන්ගේ (Carmelites) ආරම්භය මෙය විය. ඔවුන් ගේ මූලික අභිලාෂය වූයේ එලියා දිවැසිවරයා මෙන්, දේවමාතාවන් මෙන්, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ගැඹුරු විශ්වාසයක් ජීවිතයක් ගත කිරීම යි.

මොවුන් ජීවත් වූ මෙම තාපසාරාමයේ ගොඩනගන ලද දෙව්මැදුර, එලියා දිවැසිවරයා ගේ ගල් ගුහාව කේන්ද්‍රකොට ගෙන තනන ලද අතර, මෙම දෙව් මැදුරේ දේවමාතාවන්ගේ ප්‍රතිමාවක් ස්ථාපිත කරන ලදී. එම දේවමාතාවන් ‘කාර්මෙල් කන්දේ මාතාවෝ’ හෙවත් ‘කාර්මෙල් මාතාවන්’ (Our Lady of Mount Carmel) ලෙස හඳුන්වන්නට විය.

අදටත් කාර්මෙල් පන්තියේ ගරු පියවරුන්ගේ, සොහොයුරන්ගේ, අධ්‍යාත්මික මූලස්ථානය ලෙස සලකනු ලබන්නේ ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයේ එලීයා දිවැසිවරයා ගේ ගල් ගුහාව අසල ගොඩනැගී ඇති මෙම මූලස්ථානයයි.

කාර්මෙල් දේවමාතා දර්ශනය

13 වන සියවස ශුද්ධවූ සභාවට අභියෝගාත්මක කාලවකවානුවක් විය. එනම් අල්බීජියානු වේද භේදය සභා ජීවිතයට බලපෑම් එල්ල කිරීමයි. අල්බීජියානු වේද බේදික පසුබිම තුල එකල තාපස ජීවිතය සහ පැවිදි ජීවිතය යම්තාක් දුරකට පිරිහීමක් ඇති වන්නට විය.

පැවිදි හා තාපස ජීවිතයන්ගේ ප්‍රධාන තැනක් ගත් වෘත ශුද්ධභාවයටද අභියෝග එල්ල විය. මෙම කාලයේදී එනම් ක්‍රි.ව 1251 ජූලි මස 16 වන දින දේව මාතාවන් වහන්සේ එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවර කාර්මෙල් තාපසාරාමයේ ශ්‍රේෂ්ඨයාව සිටි සයිමන් ස්ටොක් මුනිදුන්ට දර්ශනය වී ශ්‍රී සළු ධාතුව දානය කලාය.

කාර්මෙල් තාපසාරාමයේ සයිමන් ස්ටොක් මුනිදුන්ට දර්ශනය වීම
කාර්මෙල් තාපසාරාමයේ සයිමන් ස්ටොක් මුනිදුන්ට දර්ශනය වීම

මෙම කාර්මෙල් තාපස හවුලේ ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පුරාණ ගිවිසුමේ කාල වකවානුවේ සිටම පැවත එන තාපස කණ්ඩායමක් බව පෙනේ.

පුරාණ ගිවිසුම තුල එලියා දිවැසිවරයාගේ දිවිය ආදර්ශයට ගනිමින් පලස්තීනයේ කාර්මෙල් කන්ද ආශ්‍රිතව ජීවත් වූ මෙම කාර්මෙල් තාපස කණ්ඩායමේ ආදර්ශ පාඨය වූයේ “දෙවිඳුන් උදෙසා මම උද්යෝගයෙන් දැල්වෙමි” යන්නයි.

ඔවූහු සාංඝික ජීවිතයක් ගත කළ අතර ලෞකික හා බාහිර ජීවිතයෙන් වෙන්ව යාච්ඥා හා මර්ධන ක්‍රියාවෙන් දෙවියන් වහන්සේ හා නිතර සම්බන්ධ වූවා පමණක් නොව දෙවියන් වහන්සේ පැසසීමද නිරන්තරයෙන් සිදු කළහ.

දිව්‍ය පුත්‍රයාණන් වූ ජේසු සමිදුන්ගේ උත්පත්තියත් සමඟ මෙම තාපස සංඝයද කිතුනු විශ්වාසයට සාක්‍ෂි දරා ජේසු සමිඳුන් තුලින් මුළු ලොව ගැලවීමේ කාර්යට සම්පූර්ණ වූ ලෙස සිහි කරමින් ඒ වෙනුවෙන් තුති පුදා ලෝකය හා සභාව වෙනුවෙන් යැදුමෙහි නිරත විය.

12 වන සියවස වන විට කාර්මෙල් තාපස නිකායට නවෝදය ඇති වූයේ ශුද්ධවූ බර්ටෝල් මුනිඳුන් තුලින්ය. මෙකල කුරුස යුද්ධය පැවති හෙයින් පලස්තීනයේ විසූ කාර්මෙල් තාපස වරුන් යුරෝපා රටවල් වෙත සංක්‍රමණය විය.

යුරෝපීය පසුබිම තුල නිකායට ස්ථාවර බාවක් සහ නීතී ව්‍යවස්ථාවක් ශුද්ධවූ ඇල්බට් තුමාගේ නීතී අනුසාරයෙන් ශුද්ධවූ බර්ටෝල් මුනිඳුන් විසින් සකසන ලදී.

මේ කාලයේදී එංගලන්තයේ දොමිනිකාන සහ ෆ්‍රැන්සිස්කාන තාපස පංති ඉතා ප්‍රබලව ව්‍යාප්තව තිබූ අතර එංගලන්තයේදී කාර්මෙල් තාපස පංතියට එතරම් සැලකිල්ලක් නොදැක්වීය. ඔවුන්ගේ පැවිදි වස්ත්‍ර දුඹුරු වර්ණයෙන් යුතු වීම නිසා ඔවුන් වනචාරී කොටසක් ලෙස සලකන ලදී.

මේ නිසාම සිත්තැවුලට පත් කාර්මෙල් තාපසයෝ තම පැවිදි පන්තියට අභියෝගයක් වූ අල්බීජියානු වේධ බේදය පිළිබඳවත් එය තම පැවිදි පන්තියට තර්ජනයක් නොවන ලෙසත් දෙවිපියානන්ට හා මරියෝත්තමාවන්ට යැදුම් ඔප්පුකරලීය.

මේ යැදුමට සවන් දුන් මරියෝත්තමාව 1251 ජූලි මස 16 වන දින එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවර කාර්මෙල් තාපසාරාමයේ ශ්‍රේෂ්ඨයාව සිටි සයිමන් ස්ටොක් මුනිදුන්ට දර්ශනය වී “ මාගේ පුත්‍රය, මාගේ මාතෘකා ප්‍රේමයේ ද, ආරක්ෂාවේ ද සලකුණක් ලෙස මෙම සළු ධාතුව බාර ගන්න.

යමෙක් මෙම සළු ධාතුව පැළඳ නසින්නේද ඒ තැනැත්තා කිසි දිනෙක නිරා ගින්නට අසු නොවන්නේය. ඔබටද, මාගේ කාර්මෙල් සොයුරන්ට ද දෙනු ලබන මාගේ මාතෘකා ප්‍රේමයේ සලකුණක් වන්නේය…” මෙලෙස වදාර සයිමන් ස්ටොක් මුනිඳුන්ට ශ්‍රී සළු ධාතුව භාර දී එදා සිටම අද දක්වා ඕ තුමිය ගණන් නැති ප්‍රාතිහාර්ය සිදු කරනු ලබන්නීය.

මෙම සළු ධාතුව කොටස් දෙකකින් යුතු වන අතර පැවිදි අය සඳහා උරහිසේ සිට දෙපතුල දක්වා ඉදිරිපසින් හා පිටුපසින් විහිදී අති සළු ධාතුවකි. ගිහියන් සඳහා කරේ පළඳින සළු ධාතුවක් ද වේ.

කාර්මෙල් පැවිදි පන්තිය ‘දුබුරු බෙන්තිඤ්ඤය’ (Brown Scapular)

කාර්මෙල් පැවිදි පන්තිය ‘දුබුරු බෙන්තිඤ්ඤය’ (Brown Scapular) හෙවත් ‘කාර්මෙල් බෙන්තිඤ්ඤය’ (Carmelite Scapular) ලොව පුරා පතළ කිරීමට මුල් වූ පැවිදි පන්තිය වේ. එම පැවිදි පන්තියේ ශුද්ධවූ සයිමන් ස්ටොක් (St. Simon Stock,1165 -1265) මුනිතුමා හට වර්ෂ 1251 ජූලි16 දේවමාතාවන් දර්ශනය වී කාර්මෙල් බෙන්තිඤ්ඤය ලබා දී ඇති බවත්, එම කාර්මෙල් බෙන්තිඤ්ඤය පළඳින සියලු දෙනා මරණයෙන් පසුව නිරාගින්නට අසු නොවන බවත්, ප්‍රකාශ කරන ලදී.

“Whosoever dies clothed in this Scapular shall not suffer eternal fire” යනුවෙන් සෑම දුඹුරු බෙන්තිඤ්ඤයකම අදටත් සනිටුහන් වී ඇති අයුරු අපට දැක ගත හැක.

මෙම ‘දුඹුරු බෙන්තිඤ්ඤය’ හෙවත් ”කාර්මෙල් බෙන්තිඤ්ඤය’ පැළදීම තුළ කරුණු තුනක් විශේෂ වශයෙන් ප්‍රකාශ වේ.

  1. දේව මාතාවන්ට කැප වූ පැවිදි හවුලකට, විශේෂයෙන්ම කාර්මෙල් පැවිදි පවුලට අයත් බව.
  2. දේවමාතාවන්ගේ නිර්මල හෘදය ට කැප වූ ජීවිතයක් ගත කරන බව.
  3. දේවමාතාවන් තුළ තිබූ යහපත් ගුණාංග වන විශ්වාසය, බැහැපත්බව, පාරිශුද්ධ බව යාඥාවේ ජීවිතය ගතකරන බව, යනු එම කරුණු තුන වේ.
කාර්මෙල් පැවිදි පන්තිය 'දුබුරු බෙන්තිඤ්ඤය' (Brown Scapular)
කාර්මෙල් පැවිදි පන්තිය ‘දුබුරු බෙන්තිඤ්ඤය’ (Brown Scapular)

එසේම මෙම කාර්මෙල් පැවිදි පන්තිය විසින් දේව මාතාවන්ට සෙනසුරාදා කරනු ලබන විශේෂ යැදුම් සඳහා ජනතාව යොමු කරන ලදී. ලොව පුරා ගොඩනැගී ඇති කාර්මෙල් දේවමාතාවන්ට කැපවූ දෙව්මැදුරු වල මංගල්‍යය අදටත් සමරනු ලබන්නේ කාර්මෙල් දේවමාතාවන් ශු. සයිමන් ස්ටොක් මුනිතුමාට දර්ශනය වූ දිනය ලෙස සැලකෙන ජූලි 16 වන දින දීය.

මරණින් පසුව අපට හිමිවන සදාතන ජීවනය පිළිබඳව සමිදාණන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. අවසාන විනිශ්චය දවසේ දී ධර්මිෂ්ඨයින්ට ලැබෙන සදාතන ජීවනය පිළිබඳවද, අධර්මිෂ්ඨයින්ට ලැබෙන දඬුවම පිළිබඳව ද, උන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. (ශු. මතෙව් 25: 31 – 40).

ලෝකය පුරා පැතිර පවතින අන්ධකාරය පිළිබඳව, අධර්මිෂ්ඨ බව පිළිබඳව අපි කතා කරන්නෙමු. නමුත් අවැසි වන්නේ එම අන්ධකාරය දුරුකරන, ආලෝකය පතුරන එක පහනක් වන්නටය. අධර්මිෂ්ටකම් දුරු කරන එක ධර්මිෂ්ඨයෙකු බවට පත් වන්නට ය.

ඒ සඳහා “එතුමාණන් කියන සියලු දේ කරන්නට”( ශු. ජුවාම් 2:5) කාර්මෙල් මාතාව අප සැම කැදවන්නීය.

“ශුද්ධවූ කාර්මෙල් මාතාවෙනි – අප නිසා යාච්ඤා කළ මැනව”.

සටහන – සඳුන් මධුරංග ප්‍රනාන්දු.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි