kanyawange kanyaweni

දේව මාතාවන්ගේ කන්‍යාභාවය පිළිබද ඉගැන්වීම, මරියාවන් පිළිබද කතෝලික සභාවේ විශ්වාසයේ දේව ධාර්මික ඉගැන්වීම් සතර (Dogmatic Proclamations) අතර තවත් එක් ඉගැන්වීමකි. “බලන්න කන්‍යාවක් පිලිසිදගෙන පුත්‍රයෙකු බිහි කරන්නීය.” (යෙසායා 7:14).

මෙම දිවැසිවර ප්‍රකාශණය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශගතවීම තුල ඉෂ්ඨ සිදුවූ බව ඉතා පැහැදිලිය (ශු. මතෙව් 1:18-25,ශු.ලූක් 1:26-38). එමනිසා අපගේ විශ්වාස ලක්ෂණයේදී “උන්වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ අනුභාවයෙන් ගැබ බැස ‘කන්‍යා’ මරියාවන්ගෙන් උපන් සේක” යනුවෙන් අපි ප්‍රකාශ කරන්නෙමු.

දේව මාතාවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට බිහි කරන්නට පෙරද, බිහි කල මොහොතේදීද, බිහි කිරීමෙන් පසුවද කන්‍යාවක් ලෙස ජීවත් වූ බව ශු. සභාව උගන්වන්නිය. මෙම ඉගැන්වීමට පාදක වන්නේ ප්‍රධාන වශයෙන්ම ඉතිහාසය පුරා ගොඩනැගුණු සභා විශ්වාසය හා සම්ප්‍රදාය ය.

ශු.ජාකොබ් තුමාගේ සුවිශේෂයේ {Protoevangelium of James – මෙය පිළිගත් සුවිශේෂයක් ලෙස පිළිගන්නේ නැත. එමනිසා එය හදුන්වන්නේ Apocryphal Gospel ලෙසය. මෙම ග්‍රන්ථ නුතන බයිබලයට පසුව එකතු කරන ලද ග්‍රන්ථ වන අතර මේවා තහවුරු කරන ලද ග්‍රන්ථ ලෙස පිළිනොගැනේ} මරියාවන්ගේ කන්‍යාභාවය පිලිබදව ප්‍රබලව කතා කර ඇත.

එලෙසම මුල් සියවස් හී බිහිවුණු සභා පියවරුන් වන අන්තියෝකියේ ඉග්නාෂියස් තුමා, ජස්ටින්, ඇලෙක්සැන්ද්‍රියාවේ ක්ලෙමන්ට් තුමා, ටර්ටුලියන්, ඔරිගන් වැනි දේව ධාර්මික විශාරදයින් විසින් දේව මාතාවන්ගේ කන්‍යාභාවය පිලිබදව තම ලියැවිලි තුල ප්‍රබලව කථා කර ඇත.

පෙරදිග ඔර්තොදොක්ස් සභාවන් (මෙම සභාවන් කතෝලික නොවන අතර ලොව බිහිවූ ප්‍රථම කිතුණු සභාවන් ලෙස ගණන් ගනු ලැබේ.) විසින් මරියාවන් හදුන්වනු ලබන්නේ “එයිපර්තෙනොස්” (Aeiparthenos) ලෙසය. මෙහි තේරුම ‘සදහටම කන්‍යාවකි’ යන්නයි.

කුරාණයේ සදහන් වී ඇති එකම ස්ත්‍රී නාමය මරියාවන් (මීරියම්) ගේ නාමය වන අතර එය 70 වරක් පමණ සදහන් වී ඇත. එලෙසම මරියතුමිය ගැන ලියැවුණු පරිච්චේද 9ක් පමණ කුරාණයේ අපට මුණ ගැසේ. මෙතරම් ප්‍රමාණයක් අපට ශු. බයිබලයේද මුණ ගැසෙන්නේ නැත.

කුරාණයද ජේසුගේ පිලිසිදගැනීමේදී මරියාවන් තුළ තිබු කන්‍යාභාවය පිළිබද ප්‍රකාශ කර ඇත. ඉතිහාසය පුරාවටම කතෝලික සභාව විසින් මරියතුමියව “කන්‍යාවන්ගේ කන්‍යවෙනි” යන ශ්‍රේෂ්ඨ හා ශුද්ධවූ නාමයෙන් ආමන්ත්‍රණය කර ඇති අතර ඉන් කතෝලික සභාව ලොවට කියා දෙන්නේ එතුමියගේ ජීවිතය තුල ගැබ්වී තිබු පරිශුද්ධභාවයය.

ලෝකය පුරාවටම අශුද්ධභාවය පිරි ඇති මෙවන් සමයක දේව මාතාවන් අපව කැදවන්නේ මෙම අශුද්ධභාවය දුරු කරන්නට අපට කල හැකි දේ කරන්නටය.

ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *