නත්තල් මංගල්‍යය (1 කොටස) – හැඳින්වීම
නත්තල අද විශ්ව මංගල්‍යයක් බවට පත්ව තිබේ. ක්‍රිස්තු භක්තිකයෝ නත්තලේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත භක්තියෙන් ද, උත්සවශ්‍රීයෙන් ද සමරති. ක්‍රිස්තියානි සංස්කෘතිය හා අනෙකුත් සංස්කෘතීන් වල සම්මිශ්‍රණය නිසා ද, නත්තල හා බැදුණු වාණිප්මය අවකාශයන් නිසා ද සෙසු ලෝක වාසීහුද මෙම මහා මංගල්‍යයට බොහෝ විට සම්බන්ධ වෙති.
නත්තල සිදු කෙරෙන්නේ වසරක අවසාන සතිය තුළ බැවින් ද, එම සතිය බොහෝ රටවල පාසැල් හා රැකියා ස්ථානවල නිවාඩු දවස් අතර උදා වන බැවින්ද, ක්‍රිස්තෝත්පත්තිය බොහෝ සෙයින් විවේකී උත්සව විනෝදාත්මක මානසිකත්වයක් තුළ ඊටම ආවේනික වූ සුවිශේෂ විශ්ව උත්සව සංස්කෘතියක් තුළ සැමරීමට ජනයා හුරුව සිටිති.
එබැවින් නත්තල හා බැඳුණු සිරිත් විරිත් අති විශාලය. ඒවා සංස්කෘතික සීමාවන් පරයා එහා මෙහා දුවමින්, සංකලනය වෙමින්, සංස්කෘතීන් පෝෂණය කරමින් උප සංස්කෘතීන් බිහි කර ඇත. නත්තල් සීයා, නත්තල් ගහ, නත්තල් සුභ පැතුම් පත් හුවමාරුව, නත්තල් ගවලෙන හා නත්තල් බැති ගී ආදිය තුළින් නත්තල් සමයේදී මුළු ලොව එකම උප සංස්කෘතියකට බැඳෙන තත්ත්වයක් අත් දකින්නට අද අපට හැකිව තිබේ.
විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලොව වටා නත්තල සිදුවෙන අයුරු අසා කියවා, සජීවීව දෑසින් දැක බලා ගන්නා අපි සෙසු ලෝකය සමග එකම මනෝ තරංගයක දැවටෙමු.
නත්තල් සිරිත් විරිත් සිදු කරන බොහෝ දෙනා ඒවායේ සුලමුල හෝ තේරුම හෝ නොදනිති. ඒවා දැන ගැන්මට ද උත්සුක නොවෙති. ඒවා ගැන දන්නා සුළු පිරිස ඒවා පහදා දීමටද උත්සුක වන බවක් නොපෙනේ.
කරනා දෙය දැන තේරුම් ඇතිව කිරීම නියත වශයෙන්ම වඩා ඵලදායී වනු ඇත. එබැවින් නත්තල හා මුසුවුණු බොහෝ වූ ද, විවිධ වූ ද සිරිත් විරිත් වල යට ගියාව, සංකේතාත්මක බව සහ අනෙකුත් අරුත් ගැන්වීම් සැකෙවින් ඉදිරිපත් කිරීම වැදගත් වනු ඇතැයි සිතුවෙමි.
“නත්තල” යන වචනය
නත්තල, NATALE (නතාලේ) යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති අතර, එහි තේරුම “උපත ” යි. මෙය දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ මාංශගත වීමේ අභිරහස තුළ මරිය තුමියගේ මාතෘත්වයෙන් “දාවිත්ගේ නුවර ” යැයි විරුදාවලිය ලත් බෙත්ලෙහෙම් නගරයේදී ලද උපත සිහිපත් කිරීමේ මංගල්‍යයයි.
නත්තල උත්සවාකාරයෙන් පැවැත්වීම
නත්තල මෙලෙස උත්සවාකාරයෙන් පැවැත්වීම ආරම්භ වූයේ හතරවෙනි සියවසේ සිටය. ඊට ප්‍රධාන හේතු දෙකක් ඉදිරිපත් කළ හැකිය.
(1) ක්‍රිස්තු භක්තිකයන්ගේ ප්‍රධානතම මංගල්‍යය වූයේ ක්‍රිස්තු උත්ථානය හෙවත් පාස්කු මංගල්‍යයයි. මුල් ක්‍රිස්තියානි සභාවන් වල අවධානය එබැවින් එම මංගල්‍යය වෙත ද, ඒ සමගම ඉරිදා දිනය වෙත ද යොමු විය.
(2) පීඩා සමය තුළ කිතුණුවන්ට ජයෝත්සවයෙන් ආගමික පිළිවෙත් සිදු කිරීම උගහට වූ බැවින්, ජනයා සතුටින් එක්තැන් කළ මෙවැනි මංගල්‍ය ව්‍යාප්ත වීම සිදු නොවීය.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ඓතිහාසික සිදුවීමකි. එය නව ගිවිසුමේ පමණක් නොව, එසමයෙහි ලියැවුණු ඇතැම් ක්‍රිස්තියානි නොවන කතෘන්වරුන් විසින් ද වාර්තා කර තිබේ. එබැවින් ඒ පිළිබඳව කිසිදු සැකයක් නැත.
නත්තළේ දිනය දෙසැම්බර් 25 දාට නියම කර ගැනීම
නත්තළේ දිනය දෙසැම්බර් 25 දාට නියම කර ගැනීම සභා සම්ප්‍රදාය විසින් තුන්වැනි ශතවර්ෂයේදී පමණ සිදු වූ බව පිළිගැනේ. ඒ හා සම්බන්ධ වන මත කිහිපයකි. ප්‍රධාන මත දෙකකි.
(1) ක්‍රි. ව. 274 දී පමණ රෝමයේ ඇටේලියස් අධිරාජයා රෝම රාජ්‍යය වන්දනා ක්‍රමයක් තුළින් එක් සේසත් කරන අටියෙන්, සිරියානු එමේසා නම් හිරු දෙවියන්ගේ මංගල්‍යය රෝමයට හඳුන්වා දුන්නේය. මෙම හිරු දෙවියන්ගේ උපත අපරාජිත හිරු දෙවියන්ගේ උපත ලෙස (NATALE SOLIS INVICTI) දෙසැම්බර් 25 දාට යෙදී තිබුණි.
ක්‍රිස්තු භක්තිකයන්ට සැබෑ ආලෝකය හා සැබෑ හිරු ද, ක්‍රිස්තුස් වහන්සේ බව, මලාකි 4: 2, ජුවාම් 8: 12, 1: 9 යන කොටස් පෙන්වා දෙන බැවින් මුල සිටම ක්‍රිස්තුස් වහන්සේ අපරාපිත ආලෝකය ලෙස පිළිගන්නට කිතුණුවෝ හුරුව සිටියහ. ඇරේලියගේ බලපෑම් වලට යටත් වී මිථ්‍යා දෙවි කෙනෙකුට පුද පූජා පැවැත්වීම වෙනුවට, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ඒ දිනයේදී, සිදු කරන්න යෙදුණු බව එම මතයයි.
(2) දෙවැනි මතය ද, ක්‍රිස්තුස් වහන්සේ සැබෑ හිරු යන සංකල්පය නිසා බිහිවූවකි. ක්‍රිස්තුස් වහන්සේව මෙසේ පිළිගත් නිසා ඒ දවස් වල කිතුණුවෝ හිරුගේ ගමන් චක්‍රය පිළිබඳව ද, ඒ ඇසුරින් සකස්වුණු සෘතු හා ඒවායේ වෙනස්කම් පිළිබඳව ද අවධානයෙන් පසුවූහ.
මේ අනුව එක් වසරක් තුළ දී වැදගත් දින හතරක් ඔවුනට මුණ ගැසිණි. ඒවා නම්,
(1) හිරුගේ කාලය වැඩිම දිනය SUMMER SOLSTICE
(2) හිරුගේ කාලය අඩුම දිනය WINTER SOLSTICE
(3) දිවා කාලය සහ රාත්‍රී කාලය සඳහා එකම පැය ගණනක් ඇති වසන්තයේ දිනය SPRING EQUINOX
(4) දිවා කාලය සහ රාත්‍රී කාලය සඳහා එකම පැය ගණනක් ඇති සරත් සෘතුවේ දිනය AUTUMN EQUINOX
ඔවුන්ගේ මතයට අනුව ස්නාවක ජුවාම්ගේ පිළිසිඳ ගැනීම සරත් සෘතුවේ සම පැය දිනයේදී සිදු විය. ලූක් සුවිශේෂයේ 1:26 ට අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිසිඳ ගැනීම සිදු වූයේ, සේනාවක ජුවාම් පිළිසිඳ ගැනීමෙන් මාස හයකට පසු බැවින්, එය සිදු වූයේ වසන්තයේ සම පැය දිනයේ හෙවත් මාර්තු 25 දිනයයි. එබැවින් ජේසුස්වහන්සේගේ උපත සිදුවන්නට ඇත්තේ දෙසැම්බර් 25 වෙනි දිනයි. මීට අමතර මත ද තිබේ.
(1) කිතුණු යුගයට පෙර සිටම, විශේෂයෙන්ම යුරෝපයේ වසන්ත මහෝත්සවය පැවතුණේ මාර්තු 25 දා ය. එහිදී මැවිල්ල සැමරීමත්, සිසිරයෙන් මිදෙන පොළවට යළි ජීවය ලැබීම සැමරීමත් සිදු විය. මෙය සශ්‍රීකත්වය සමරණ අවස්ථාවක් විය. මාංශගත වීමේ අභිරහසද, මෙතෙක් පාපයේ සිසිරයෙන් නිෂ්ඵලව තිබූ මිනිස් සංහතිය සශ්‍රීකත්වය කරා ඔසවන ශ්‍රේෂ්ඨ සිදුවීමක් බැවින්, සාන්ත සභාව මාර්තු 25 දාට, ගාබ්‍රියෙල් දේව දූතයා මංගලම් කීමේ මහෝත්සවය යොදා, ඒ අනුව දෙසැම්බර් 25 දාට නත්තල යොදා ගත් බව මේ මතයයි.
(2) රෝමයේ සැටර්න් දෙවිඳුන් සැමරීම දෙසැම්බර් 17-23 දිනවල සිදු වූ අතර, අති උත්සවාකාරයෙන් සැමරුණු සැටර්නාලියා මංගල්‍යය මේ සති අග දී පැවැත්වුණේ, රෝමයේ ස්වර්ණමය යුගය සිහිපත් කිරීමටය. මේ සතිය තුළදීම දෙසැම්බර් 22 දින රෝමවරු “බෘමාලියා’ නම් අපරාජිත හිරු දෙවිඳුන්ගේ මංගල්‍යය පැවැත්වූහ. මෙය පර්සියාවේ හිරු දෙවි වූ, මිත්‍රාස් සහ සිරියානු එමේසා හිරු දෙවි මංගල්‍යය හා සමගාමීව පැවැත්විණි.
(3) පුදා ආලෝක මංගල්‍යය නොහොත් හනුක්ක මංගල්‍යය පැවැත්වෙන්නේ. ජුදා මාස ක්‍රමයට අනුව කිලෙව් මාසයේ 25 දිනයි. මෙය දෙසැම්බර් 25 ට ඉතා ආසන්නව පැවැත්වේ. (රෝමයේ නත්තල් උත්සවය ගැන ලියැවෙන කොටසේ දී, මෙම උත්සවයේ ඉතිහාසමය පසුබිම සඳහන් කෙරෙනු ඇත).
ශත වර්ෂ 17 ක පමණ කාලයක් පුරා නත්තල වටා බිහිවුණු, වැඩුණු සිරිත් විරිත් අප අතර විවිධ ස්වරූප වලින් තවමත් පවතී. එම සිරිත් විරිත් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා, මෙහි සඳහන් පැහැදිලි කිරීම් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරමි.
උපුටා ගැනීම: නත්තල් සිරිත් විරිත් (ගරු සිසිල් ජෝයි පෙරේරා පියනම)