theresa mawthumiyage awamagul uthsawaya

දයාවේ දූතිකාව, මුඩුක්කුවේ සාන්තුවරිය ආදි විරුදාවලින්ගෙන් පුදනු ලැබූ තෙරේසා මව්තුමිය 1997 සැප්තැම්බර් 05 දා මෙලෝ දිවිය සමාප්ත කිරීමත් සමග මුළු භාරත දේශයම එකම මළගමක් මෙන් විය. ඒ පුවත මුළු ලොව සොවට පත්කිරීමට සමත් විය.

එතුමිය කිසිසේත් අපේක්ෂා නොකළ එමෙන්ම ජීවතුන් අතර සිටියේ නම් පැහැදිලිවම ප්‍රතික්ෂේප කරන ආකාරයේ අවමඟුලක් සූදානම් කෙරිණි. එතුමියගේ අනුප්‍රාප්තිකාව වූ ගරු නිර්මලා මව්තුමිය මේ මොහොතේ ප්‍රකාශ කළේ එතුමියට මේ අයුරින් අවසන් ගෞරවය පෑම මගින් එතුමිය කළ මෙහෙවර ඇගයෙන නිසා එවන් බුහුමනක් එතුමිය ලැබිය යුතු බවයි.

ඉන්දීය රජය එතුමියගේ වියෝව සැලකුවේ ජාතික වීරවරියකගේ, රාජ්‍ය නායිකාවකගේ අවමඟුලක් ලෙසිනි. එමනිස එවන් අයට පිරිනමන ගරු බුහුමන් සහිතව එතුමියගේ අවමඟුල සංවිධානය කෙරිණි. මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු වැන්නවුන්ට දුන් අවසන් ගෞරවයම එතුමියටද පිදිණි. කෙසේවෙතත් මේ අවමඟුලට එතුමිය වැඩියෙන් ප්‍රේම කළ දිළිඳු , අසරණ , අබාධිත අයටද ඒමට ඉඩදිය යුතු බව නිකායේ යෝජනාව විය.

රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වූ එතුමියගේ අවමගුල් උත්සවය
රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වූ එතුමියගේ අවමගුල් උත්සවය

මේ අනුව එතුමිය සදහා මෙවැනි බුහුමනක් පිදිණි.

  • කල්කටාවේ සා. තෝමස් දේවස්ථානයේ තැන්පත් කොට තිබූ එතුමියගේ දේහයේ පහත කොටස ඉන්දීය ජාතික ධජයෙන් ආවරණය කෙරිණි.
  • සැප්තැම්බර් 13 වනදා කල්කටාවේ නෙතාජි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී රාජ්‍ය ගෞරව සහිත අවමඟුල් උත්සවයක් පැවැත්විණි.
  • ඉන්දීය හමුදාව එතුමියගේ දේහය හමුදා ගෞරව සම්මාන සහිතව රැගෙන ආ අතර එහිදී යොදා ගත්තේ ගාන්ධි හා නේරු තුමන්ලාගේ දේහ රැගෙන යාමට යොදා ගත් කාලතුවක්කු ගැලයමය.
  • සුදතුම් පියාණන්ගේ විශේෂ නියෝජිතයා ලෙස ආ වතිකාන රාජ්‍ය ලේකම් ඇන්ජෙලෝ කාදිනල් සොදානෝ හිමිපාණන්ගේ මූලිකත්වයෙන් දිව්‍ය පූජාව පැවැත්විණි.
  • ඒ සදහා ඉන්දීය ජනපති, අගමැති ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වූහ.
  • දිව්‍ය පූජාව ඉංග්‍රීසි , හින්දි හා බෙංගාලි බසින් පැවති අතර ඉන්පසු අනෙකුත් ආගමික නායකයෝ එතුමිය වෙනුවෙන් යැදුම් පැවැත්වූහ.
  • ඉන්පසු එතුමියගේ දේහය සහිත විවෘත දෙන නැවත වරක් සැතපුම් 5 ක් පමණ ගෙවා එතුමිය විසූ නිකායේ මව්ගෘහය වෙත රැගෙන යන ලදි. මෙලෙස දීර්ඝ පෙරහැරක් පැවැත්වීමට හේතුව වූයේ පාර දෙපස රැස්වන අයට එතුමියව අවසන් වරට දැකබලා ගැනීමට ඉඩකඩ උදා කරවීමයි.
  • එතුමිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 36 ක් පිරිනමන ලදි.
එතුමියගේ දේහය රැගත් දීර්ඝ පෙරහැර
එතුමියගේ දේහය රැගත් දීර්ඝ පෙරහැර

ඉන්පසු එතුමියගේ දේහය එතුමිය විසූ මව්නිවාසයේ තැන්පත් කරන ලදි.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *