“මම නැති වූ බැටළුවා සොයන්නෙමි, මුළා ව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නෙමි , තුවාළ වූ බැටළුවාගේ තුවාළ බඳින්නෙමි, ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි , ශක්තිමත් වූ බැටළුවන් රැකබලාගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි..” (එසකියෙල් 34/16)
ලාංකේය ශුද්ධවු සභාව අද පවතින්නේ යම් සේ ද, එපමණ වර ගෝවෙන් පැමිණි ඉන වටා දවටා ගත් රෙදි කැබැල්ලක් ඇඳ, දුඹුරු වර්ණ, යාචක ධර්මදූතවර ශු. ජුසේ වාස් මුනිඳුන්ගේ ගුණ සමුදාය වචනයෙන් කියා විස්තර කළ නොහැකිය.
මන්ද ස්වකීය දිවි මඟ තුළ වසර 24 ක් පුරාවටම හෙළ සමිඳු කෙත අස්වද්දන්නට ඉටු කළ ඒ උදාරතර මෙහෙවර වෙනුවෙන් ලක් කිතු සසුන සදා එතුමන්ට ණයගැතිය.
ඉතිහාසඥ නිර්මල මරිය නිකායික ගෞ. බවුඩන් පූජාප්‍රසාදීන් වහන්සේ විසින් රචිත ලංකා කතෝලික සභා ඉතිහාසය කෘතිය තුළ මෙසේ සඳහන් කර ඇත.
“…ගෝවෙන් පැමිණි නිහතමානී දුඹුරු වර්ණ මිනිසකු විය. ඉණ වටා රෙදිකඩක් හැඳගෙන සිඟමන් ඉල්ලමින් සිටි මෙම පුද්ගලයා ජේසුස් වහන්සේගේ වචනය පිළිපදින්නන් සෙවීමේ ඒකායන අරමුණ සහිත ව ඔබ මොබ ගියේ ය. ඔහුගේ පැවැත්ම දේශය තුළ රැදී පැවතුන අතර, ඔහු හෙලු දහඩිය ලක් පොළොව මත සදා මල්පල දරනු ඇත…”
“ගලීලයෙන් පැමිණි නිහතමානී දුඹුරු වර්ණ මිනිසා ගැන දැනගන්නට එතුමන්ට ආදරය කරන්නට, එතුමන් අනුගාමීන්වන්නට අපගේ ජනතාව ඉගෙනගත්තේ ගෝවෙන් පැමිණි මෙම නිහතමානී දුඹුරු වර්ණ මිනිසාගෙනි…”
ජුසේ වාස් මුනිතුමන් සම්බන්ධ වෙනත් ලිපි
කුඩා කල තොරතුරු
ගෝවා ප්‍රාන්තයේ සැල්සෙට් දිස්ත්‍රික්කයේ, බෙනුවාලිම් නම් ග්‍රාමයේ, වර්ෂ 1651 අප්‍රේල් මස 21 වැනි දින ජුසේ වාස් මුනිතුමා උපත ලද්දේය. තම මව් පාර්ශවයේ මිත්තනුවන්ගේ නිවසේදී ජුසේ මෙලොවට බිහි විය. ජුසේ වාස් මුනිතුමාගේ දෙමව්පියන් වූයේ බ්‍රාහ්මණ කුලයට අයත් ක්‍රිස්ටෝපර් වාස් හා මරියා මිරැන්ඩා නැමති කොන්කානි බස කතා කළ බැතිබර යුවලක්ය.
එතුමන් පවුලේ තෙවන දරුවා ලෙස උපත ලද්දේය. ඔහුගේ උපන් ගම වුයේ සැන්කෝවාලේ ග්‍රාමයයි. ශු. ජුසේ වාස් මුනිතුමා පවුලේ තෙවන දරුවා ලෙස උපත ලැබිය. එතුමන්ට වැඩිමල් සොයුරියක සහ සොයුරියක විසිය. ඔවුන්ගේ නම් වුයේ ඇන්ජලා සහ පෙඩ්රෝය. එතුමන්ගේ පියා සිහිනයක් දුටු බවත් , එය නම් ඉර සහ සඳ එකවර පායා තිබීමය.
ඒ පිළිබදව සටහනක් ශු. ජුසේ වාස් මුනිදුන්ගේ පියා වූ ක්‍රිස්ටෝෆ්ර් වාස් විසින් සනිටුහන් කරන ලදී. ඒ මෙසේය. “1651 අප්‍රේල් මස 21 වැනි දින මා හට දාව උපන් පුතු අට වැනි දින බෞතීස්ම කරන ලදී. අනාගතයේ ඔහු උතුම් පුද්ගලයෙකු වන බැවින් ඔහු හට ජුසේ යන නම තැබීමි” යන්නයි.
මෙමඟින් ඔහු තම පුතනුවන්ගේ උත්පත්තියේදී දෙවියන් වහන්සේ විසින් පුත්‍රයාගේ අනාගත නියමය සිදුකර ඇති බවයි. තම මව් පාර්ශවයේ මිත්තනුවන්ගේ නිවසේදී ජුසේ මෙලොවට බිහි විය. එය උසස් කුළයේ ඉන්දියානුවන් විසින් සාම්ප්‍රදායිකව රැකගත් සිරිතකි.
එතුමන්ගේ මවවු මරියා මිරැන්ඩාගේ පියා ද බෙනුවාලීම් ග්‍රාමයේ විසු උසස් බ්‍රාහ්මණ වංශිකයෙකු වූ අතර, ගම්වැසි සියල්ලන්ගේම ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකු ලෙස සැලකේ. ඔහුට දියණියන් දෙදෙනෙකු විසු අතර, දෙවන දියණියවූ මරියා ජුසේ වාස් මුනිඳුන්ගේ මෑණියන් විය.

බෙනුවාලිම්හි පිහිටි ශු. ස්නාවක ජුවාම් මුනිඳුන්ට කැපවූ දේවස්ථානය
ජුසේ වාස් මුනිතුමා උපත ලබා දින අටක් පිරුණු කල එතුමන්ව බෞතීස්ම ස්නාපනය සිදුකරන ලදී. ඒ ජේසු නිකායික ගරු. ජයසින්ත් පෙරේරා පියතුමා විසින් ඒ බෙනුවාලිම්හි පිහිටි ශු. ස්නාවක ජුවාම් මුනිඳුන්ට කැපවූ දේවස්ථානයේ ය. එතුමන්ගේ ඥාන මවුපියන් වන ලද්දේ සෙබස්තියන් වාස් සහ හොප් ද මිරැන්ඩා යන පිය පාර්ශවයේ සහ මවු පාර්ශවයේ අයවලුන් බව සදහන් වේ.
මෙම දේවස්ථානය ද වසර 500 ක උරුමයක් පවතින දේවස්ථානයකි. මේ දේවස්ථානයට අයත් වුවෝ බ්‍රාහ්මණ වංශිකයෝ වන අතර නත්තල, පාස්කුව සහ චතාරිකය අරබයා ද දේවමාතාවන්ගේ මංගල්‍යයන් අරබයා ද සුවිශේෂී භක්ති අභ්‍යාස පැවැත්වූ ගෝවේ ස්ථාන අතර මේ ග්‍රාමය ද ඉතා වැදගත් වන්නේය. මේ දේවස්ථානයේ ස්ථාපිත ලී කැටයම් ද ඉතා සුවිශේෂී දායාදයක් ලෙස නම් කළ හැකිය.
මේ දේවස්ථානයට යාබඳව ජේසු නිකායික පියතුමන්ලා විසින් පවත්වාගෙන යනු ලැබූ මහා විද්‍යාලයක් පැවති අතර , ශු. ජුසේ වාස් මුනිතුමාද ස්වකීය ප්‍රාථමික අධ්‍යාපනය නිමවා කනිෂ්ඨ සහ ද්විතීය අධ්‍යාපනය හදාරන ලද්දේ මේ විද්‍යාලයේය. මේ කාලයේදී එතුමෝ තම මවගේ නිවසේ සිට පාසැලට පැමිණි බව සදහන් වේ.
මේ දේවස්ථානය තුළ ශු. ජුසේ වාස් මුනිතුමන් හට බෞතීස්ම ස්නාපනය දානය කරන ලද බෞතීස්ම තටාකය දක්නට ලැබෙන අතර , වර්තමානයේ දී දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ වන්දනාමානයට ලක්ව පවතින සුවිශේෂී ස්ථානයක් බවට පත්ව තිබේ. වර්තමානයේදී එතුමන් උපත ලද නිවස වෙනත් පිරිසක් වෙත අයිතිව පවතී.
නමුත් එම නිවස ඉදිරිපිට එතුමන්ගේ ස්මාරකයක් ඉදිවී තිබීම තුළින් එතුමන් එම ස්ථානයෙන් මෙලොවට ජනිත වූ බව අදත් නිහඩ ව ලොවට ප්‍රකාශ කරන සලකුණක් වී ඇත.


සැන්කෝවාලේ
ශු. ජුසේ වාස් මුනිතුමන්ගේ පියාගේ ග්‍රාමය වුයේ සැන්කෝවාලේ ග්‍රාමයයි. ගෝවා ප්‍රාන්තයේ දකුණු දිස්ත්‍රික්කයේ සැල්සෙට් නම් ප්‍රදේශයේ පිහිටා ඇති සැන්කොවාලේ නම් ග්‍රාමය ශු. ජුසේ වාස් මුනිඳුන් දරුවෙකු ලෙසත්, තරුණයකු ලෙසත් හැදි වැඩුණු ග්‍රාමය ලෙස සැලකේ.
ඉන්දියාවේ සුන්දර ගංගාවක් සුවාරි ගඟ සහ කෙත් වතු වලින් සමන්විත මේ ප්‍රදේශය ද බෙනුවාලිම් ග්‍රාමය මෙන් නිහඬ නිශ්චල මෙන්ම සාමකාමී ප්‍රදේශයකි. කොන්කනි බස කතා කල බ්‍රාහ්මණ වංශික ක්‍රිස්ටෝෆර් වාස් නම් වූ මෙතුමාගේ පියාගේ පාරම්පරික උරුමයෙන් ජීවත්වූ ග්‍රාමයද මේ ග්‍රාමය විය.
සවිමත් කිතුනු විශ්වාසයකට උරුමකම් කී සිය පරපුර ජිවත් වුයේ මුතුන් මිත්තන්ගෙන් තමන්ට උරුමවූ කුඹුරු වල අස්වැන්නෙන් බව සෙබස්තියන් රේගෝ පියතුමාගේ චරිතාපදානයේ සදහන් කරයි.තම පාරම්පරික නිවහනේ ජිවත් වෙමින් බැතිබරව සහ දෙවිඳුන්ට විශ්වාස පක්ෂව ක්‍රියාකළ පුද්ගලයෙකු ලෙස මෙතුමාගේ පියා පිළිබඳව හඳුන්වා තිබේ.
නිවසේ පැවති ආධ්‍යාත්මික පරිසරය කෙතරම් ද කිවහොත්, එම පවුලෙන් පුදැදුරු කැඳවීම් සතරක් දායාද වීම සැබවින්ම දේව තිළිණයකි.

සැන්කෝආලේ හි ආරෝග්‍ය අප ස්වාමිදූගේ දේවස්ථානය
Nossa Senhora de Saude දේවස්ථානය ලෙස ද හැඳින්වෙන මෙම දේවස්ථානයේ අද මොගොප්පු කොටස පමණක් ඉතිරි වී තිබෙන අතර, ජේසු නිකායික ධර්මදුතවරුන් විසින් ක්‍රි.ව. 1560 දී සැන්කෝආලේ ගම්මානයට පැමිණ එහි පදිංචි වීමට තීරණය කළහ. ගැමියන්ගේ රැකියා කරන ස්ථානයට ආසන්නයේ ඔවුහු Nossa Senhora de Saude හෙවත් ආරෝග්‍ය අප ස්වාමිදූගේ දේවස්ථානය ඉදිකළ බව සදහන් වේ.
මෙම දේවස්ථානය ක්‍රි.ව. 1606 දී තනා නිම කළ අතර , එහි දේවස්ථානයේ ඉදිකිරීම් ක්‍රි.ව. 1566 දී ආරම්භ කරන ලද්දේ එහි ප්‍රථමයෙන් ස්ථාපිතව පැවති හින්දු කෝවිලක් වූ ලක්ෂ්මි නරසිංහගේ දේවාලය පිහිටි ස්ථානයේ ය. ජුසේ වාස් පියතුමාගේ මීසම් දේවස්ථානය වන මෙහිදී මෙතුමාණන් ප්‍රථමවරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූවේද, අභිවෘද්ධි ආලේපනය ලැබුවේද, තම කුළුදුල් දිව්‍ය යාගය පැවැත්වූවේද, මෙම දේවස්ථානයේ දිය.
තවද ක්‍රි.ව. 1677 අගෝස්තු මස 05 වන දින මෙහි අල්තාරය මත තම මුළු දිවියම දේවමාතාවන්ගේ වහලකු ලෙස පවරා දුන් ජුසේ වාස් පියතුමන් තම ධර්මදූතික මෙහෙවර තුළ හිස් දෙපතුළින් ධර්මදානීය මෙහෙවරේ යෙදීමට අපේක්ෂා කළේය.
අකුණු සැරයක් වැදීම හේතුවෙන් මෙම දේවස්ථානය ක්‍රි.ව. 1834 දී විනාශ වූ අතර , අද මෙහි අද මොගොප්පු කොටස පමණක් ඉතිරි වී තිබේ.

පුංචි ශුද්ධවන්තයා
ශු. ජුසේ වාස් මුනිතුමාගේ ළදරු අවධිය සහ ළමා කාලය පිළිබඳ දත් තොරතුරු එතුමාගේ දක්ෂතා හා මහත් වූ භක්තිය හෙළි කරයි. එතුමාගේ සම වයසේ දරුවන් කෙළිදොලන් කාලය ගත කරද්දී එතුමා වඩාත් ප්‍රිය කළේ නිසල ස්ථානයකට වී යාච්ඤා කරන්නටය.
දිනපතා දේව මෙහෙයට සහභාගි වූ එතුමාණෝ , පූජාප්‍රසාදිතුමා දිව්‍ය සත්ප්‍රසාදීන් වහන්සේ රෝගීන් වෙත ගෙන යන අවස්ථාවලටද සහභාගි විය. එසේම මළවුන් සොහොන් භූමිය වෙත ගෙන යන අවස්ථාවලට සහභාගි වීම වඩාත් ප්‍රියකල එතුමා , රාත්‍රී කාලයේ දැන හඳුනන සියල්ලන් වෙත ගොස් ඔවුන්ගේ යාච්ඤා වලටද විශේෂයෙන් මළවුන් වෙනුවෙන් යාච්ඤා ඔප්පු කරන මෙන් ඉල්ලා සිටියේය.
යාච්ඤාවේ නිරත වීමට මෙතුමාණන්ට වේලාවක් අවේලාවක් නොවීය. ඇතැම් අවස්ථා වලදී රාත්‍රී කාලයේ පවා දේව ලැදියාව නිසාම මෙතුමා තම පියාගේ නිවසට යාබඳ කෝර්ටාලිම් ගමේ පිහිටි ශු. පිලිප් හා සිමියොන් යන අපෝස්තුළුවරුන්ට කැපවූ දේවස්ථානයට ගියේය.
මෙතුමා මෙම දේවස්ථානයට යන කල්හි එහිදී වසා තිබූ දේවස්ථානය මෙතුමා අත තැබූ සැනින්ම විවෘත වූ බව සඳහන් වේ. දිළිඳුන්හ ට ත්‍යාගශීලී වූ කුඩා කළ ජුසේ වාස් මුනිතුමා බොහෝවිට තම දෙමව්පියන්ට රහසේ තම රාත්‍රී ආහාරය දන් දුනි. ජුසේ වාස් මුනිතුමාගේ ළමා විය පිළිබඳව මෙයට වඩා තොරතුරු රැසක් අපවෙත නොමැත.
එකල සැන්කෝලයේ විසූ වයස්ගත පුද්ගලයෙකු වූ අන්තෝනියෝ කර්ඩෝසෝ කුඩා ජුසේ පිළිබඳව නිතර පැවසූ දෙයක් නම් “අහෝ සැන්කෝලය, නුඹට උරුම වූ වූ ආශිර්වාදය පිළිබඳව නුඹ නොදන්නෙහිය. එහෙත් උතුම් වූ දෙව්පියාණන් වහන්සේ විසින් විසින් ඔහුගේ දෙමව්පියන් වෙත දුන් පොරොන්දුව ඉටුකරන දිනයක් පැමිණෙනු ඇත” යන්නයි.
ඔහුට මහත් ආදරයක් දැක්වූ ගැමියෝ ඔහු ඇමතුවේ “ශුද්ධ වූ ළදරුවා” යන නමිනි. (පුංචි සාන්තුවරයා) සැන්කෝලේහි හි පෘතුග්‍රිසි ප්‍රාථමික පාසැලකට ගිය ජුසේ වාස් මුනිතුමාගේ මව් බස වූයේ කොන්කාණි බසයි. තම දරුවා පිළිබඳ ශුභාරංචිය කල්තියා දැනගත් ක්‍රිස්ටෝපර් හා මරියාගේ එකම බලාපොරොත්තුව වූයේ ඔහු පැවිදි දිවියට ඇතුළත් කරවීමය.
මෙම බලාපොරොත්තුව ඇතිව, ඔවුහු ලතින් භාෂාව ඉගැන්වීම සඳහා එතුමන් බෙනවූවාලිම් හි පාසැලකට ඇතුලත් කළෝය. එහිදී එතුමන් ව්‍යක්ත ලෙස කියැවීමේ හා ලිවිමේ ශ්‍රාස්ත්‍ර ඉගෙන, ගෝවේ හි විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.
ශු. පිලිප් සහ සිමියොන් අපොස්තුළුවරුන්ට කැපකරන ලද දේවස්ථානය – කොර්ටාලීම්
ශු. පිලිප් සහ සිමියොන් අපොස්තුළුවරුන්ට කැපකරන ලද දේවස්ථානය පිහිටා තිබෙන්නේ කොර්ටාලීම් ග්‍රාමයේ ය. කොර්ටාලීම් දේවස්ථානය ක්‍රි.ව. 1566 දී පමණ ශා. පාවුළු නම් ජේසු නිකායික විද්‍යාලයට ගෞංකර්වරුන් විසින් පරිත්‍යාග කරන ලද භූමියේ ඉදිකරන ලද අතර එහි ශු. පිලිප් සහ සිමියොන් අපොස්තුළුවරුන්ට කැපකරන ලද දේවස්ථානයක් ඉදිකොට කැප කරන ලදී.
ජේසු නිකායික ධර්මදුතවරුන් සැල්සෙට් නගරයට ක්‍රි.ව. 1560 මැයි මස 01 වන දින සපැමිණි ස්ථානය සලකුණු කිරීමට ශ්‍රී කුරුසියක් ස්ථාපනය කර ඇත. ඉතිහාසයට අනුව වර්තමාන පල්ලිය වරක් හින්දු කෝවිලක් වූ මන්ගුෂ් දෙවියන්ට කැපවූ දේවාලයක් පිහිටි ස්ථානයක් මත ඉදිකරනු ලැබූ බවත් මෙම පෘතුගීසි ආක්‍රමණිකයින් විසින් දේවාලය විනාශ කරන ලදී.
පසුව එම දේවාලය පොන්ඩා හි වර්තමාන අඟුරු ස්ථානයට ගෙන යන ලැබූ බව කියැවේ. ජුසේ වාස් මුනිතුමන්ගේ ගමේ දේවස්ථානය සැන්කොආලේ වුවත් නිවසට යාබදව පිහිටියේ මෙම දේවස්ථානය වේ. කුඩා කළ ජුසේ වාස් මුනිතුමන්ට යාච්ඤාවේ නිරත වීමට මෙතුමාණන්ට වේලාවක් නොවීය.
ඇතැම් අවස්ථා වලදී රාත්‍රී කාලයේ පවා දේව ලැදියාව නිසාම මෙතුමා තම පියාගේ නිවසට යාබදව පිහිටි මෙම කෝර්ටාලිම් ගමේ පිහිටි ශු. පිලිප් හා සිමියොන් යන අපෝස්තුළුවරුන්ට කැපවූ දේවස්ථානයට ගියේය. මෙතුමා මෙම දේවස්ථානයට යන කල්හි එහිදී වසා තිබූ දේවස්ථානයේ දොරවල් මෙතුමා අතතැබූ සැනින්ම විවෘත වූ බව සදහන් වේ.

ගෝවේ ශා. පාවුළු විද්‍යාතනය
සැන්කෝලේහි හි පෘතුග්‍රිසි පාසැලකට ගිය ජුසේ වාස් මුනිතුමාගේ මව් බස වූයේ කොන්කාණි බසයි. තම දරුවාගේ අරමුණ පිළිබඳ කල්තියා දැනගත් එතුමන්ගේ දෙමාපියන් වූ ක්‍රිස්ටෝපර් හා මරියාගේ එකම බලාපොරොත්තුව වූයේ ඔහු පැවිදි දිවියට ඇතුලත් කරවීමය.
මෙම බලාපොරොත්තුව ඇතිව, ඔවුහු ලතින් භාෂාව ඉගැන්වීම සඳහා කුඩා ජුසේ බෙනවූලිම් හි පාසැලකට ඇතුලත් කළෝය. එහිදී ඔහු ව්‍යක්ත ලෙස කියැවීමේ හා ලිවිමේ ශ්‍රාස්ත්‍ර උගෙන, ගෝවේ හි විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. මේ ආයතන අතුරින් ගෝවේ ශා. පාවුළු විද්‍යාතනය සුවිශේෂී ආයතනයක් ලෙස නම් කළ හැකිය.
මේ ආයතනය ක්‍රි.ව. 1542 දී ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් විසින් ස්ථාපනය කරන ලදී. මෙහි භාරකාරත්වය සහ පරිපාලනය සිදුකරන ලද්දේ ජේසු නිකායික ධර්මදුතවරුන් විසිනි. මෙම ආයතනය ඉදිකිරීමට මුලික ප්‍රතිපාදන සහ අනුග්‍රහය දක්වන ලද්දේ එවකට පෘතුගාලයේ සිංහාසනාරූඪව වැඩහුන් 3 වන ජෝන් රජතුමන්ය.
මෙවැනි ආයතනයක් ආසියාකරයේ පිහිටුවීම තුළින් පුජක පුහුණුව වඩා සංස්කෘතික ගතිකයන්ට මාංශගතවීම සුවිශේෂි ලක්ෂණයක් ලෙස නම් කළ හැකිය. මෙම ආයතනය තුළ පුජක පුහුණුව සේ ම ප්‍රායෝගිකව කිතුදහම ප්‍රචාරය කිරීමේ මාධ්‍යයන් හදුන්වා දෙනු ලැබිය.
ඒ අතුරින් දේවවන්දනා පිළිවෙත් හි එන්නාවූ භක්ති අභ්‍යාස සුවිශේෂී වේ. මේ සදහා මධ්‍යතන යුගයේ දී ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය වැනි රට වලින් ආරම්භ වූ ක්‍රිස්තියානි භක්ති අභ්‍යාස පසුකාලීනව පෙරදිග රටවල ධර්මදානීය උපක්‍රම ලෙස යොදාගන්නා ලදී. ඒ සඳහා විශාල පිටුවහලක් වූ ආසියාකරයේ ආයතනය ලෙස ගෝවේ පුර ජේසු නිකායික සා. පාවුඵ විද්‍යායතනය නම් කළ හැකිය.
මෙම ආයතනය තුළින් සවිමත් පදනමක් ඔස්සේ කිතුනු අභ්‍යාසයන් වන පාස්කු නාට්‍යයන්, කැරොල් , කිතුනු නාට්‍යයන් , නාඩගම් සහ පසම් හා ලතෝනි යනාදි කිතුනු අභ්‍යාසයන් උදෙසා සවිමත් පදනමක් වැටුනි. විශේෂයෙන් කිතුනු නාට්‍යයන්, පාස්කු නාට්‍ය වැනි කලාවන් ගෝව ප්‍රදේශය ඔස්සේ අප දේශයට සංක්‍රමණය වූ උප සංස්කෘතික ලක්ෂණයක් ලෙස නම් කළ හැකිය.
එහි මූලාරම්භය ලෙස ස්පාඤ්ඤයේ වීදිසංචාරයේ කිරීමේ කිරීමේදී රංගගත වූ “ඕටෝස් ” නම් කෙටි නාට්‍යය භක්ති අභ්‍යාසය නම් කළ හැකිය. පසුව ස්පාඤ්ඤයේ ද, පෘතුගාලය ද, පෘතුගාලයෙන් ඉන්දියාවේ ගෝවේ ද, ගෝවෙන් එය ආසියානු සංස්කෘතින්ට ඔබින ලෙස ව්‍යාප්ත විය.
එම නිසා මෙය එකල පැවති පර්යේෂණ ආයතනයක් ලෙස ද ඇතැම් ඉතිහාසඥයින් පෙන්වා දී ඇත. මේ විද්‍යායතනයේ අධ්‍යාපනය හැදෑරූ ශු. ජුසේ වාස් මුනිඳුන්ගේ හා අති පූජ්‍ය පඬිවර ජාකෝම් ගොන්සාල්වෙස් පියතුමන්ගේ සුවිශේෂි දායකත්වයෙන් මෙම කිතුනු අභ්‍යාසයන් ආසියාතික සංස්කෘතික ගතිකයන්ට මාංශගත වී සනාතන නිමැවුම් ලෙස අපට උරුම විය.
විශේෂයෙන් මේ භක්ති අභ්‍යාස සදහා ගිහි සැදැහැවතුන් වෙනදාට වඩා සම්බන්ධ වීමද සුවිශේෂී වේ. ලක් දෙරණ තුල විශ්වාසය රෝපිත කිරීමට මේවා මහගු රුකුලක් හා දායකත්වය දැක්වූ බවයි. ඇතැම් අවස්ථා වලදී ලාංකේය දේවජනතාව තම පුජනීය වස්තුන් ලෙස සැලකු මේ භාණ්ඩයන් (කුරුසිය, ප්‍රතිමාවන්) නිසා විශ්වාසය පුජාප්‍රසාදීවරුන් නොමැතිව සිටි කාලවකවානු වල පවා විශ්වාසය තිව්‍ර කිරීමට මෙම කිතුනු අභ්‍යාසයන් මහඟු රුකුලක් විය.
තවද ක්‍රි.ව. 1705 වර්ෂයේ ජනවාරි මාසයේදී මෙම ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙස අති පුජ්‍ය පඬිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් පත්කළ අතර එතුමන් එකී පදවිය ප්‍රතික්ෂේප කොට ලක්දිවට සම්ප්‍රාප්ත වුයේ ජුසේ වාස් මුනිඳුන් මෙන් දැඩි ආත්ම පිපාසයෙන් යුතුව ක්‍රියාකිරිමටය.
ජුසේ වාස් මුනිඳුන් හැරුණු කොට ලක්දිවට සම්ප්‍රාප්ත වූ සියලු ම ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් ද පුජක පුහුණුව ලද්දේ මේ ආයතනය ඇසුරිනි. එම නිසාම ජුසේ වාස් මුනිදුන් ප්‍රමුඛ ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන්ගේ ආධ්‍යාත්මික දිවිය සහ දිවි රටාව යුරෝපිය ධර්මදුතවරුන්ට වඩා සරල මෙන්ම ප්‍රායෝගික එකක් වූ බව සදහන් වේ.
එම නිසාම මේ ආයතනයෙන් ලද පිටුවහල සුවිශේෂී දායාදයක් වූ බවට සැක නැත. ක්‍රි.ව. 1834 දී පැවති සිවිල් යුදමය තත්වයක් තුළ මෙම ආයතනය විනාශ කරන ලද අතර එහි දේවස්ථානයේ වූ ඉදිරිපස කොටස හෙවත් මොගොප්පු කොටස තවමත් දක්නට ඇත.

ශා. තෝමස් ඇක්වයිනාස් විශ්ව විද්‍යාලය
ශු. තෝමස් ඇක්වයිනාස් මුනිඳුන් නමට උසස් අධ්‍යාපන ආයතන නම් කිරීම සහ ආරම්භ කිරීම කතෝලික රටවල් තුළ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් ලෙස නම් කළ හැකිය.
ආසියාවේ පළමු උසස් අධ්‍යාපන ආයතනය ලෙසත් විශ්ව විද්‍යාලය ලෙස ප්‍රකට පවතින ගෝවේ ශා. තෝමස් ඇක්වයිනාස් විශ්ව විද්‍යාලය 16 වන සියවසේදී පෘතුගාල රජුගේ පුර්ණ අනුග්‍රහය තුළ අගුස්තීනු ධර්මදුතවරුන් විසින් ආරම්භ කරන ලදී. ක්‍රි.ව. 1587 දී ගෝවා වෙත සපැමිණි අගුස්තීනු නිකායික තාපසයෝ මෙහි ක්‍රි.ව. 1597 සිට 1602 දක්වා කාලය තුළ මොන්ටේ සැන්ටෝ (හොලි හිල්) මුදුනේ සුවිශාල දේවස්ථානයක් සහ තාපසාරමයක් ද විශ්ව විද්‍යාලයක් ද ඉදිකරන ලදී.
ශ්‍රී ලංකා ඉතිහාසය තුළ යාපනයේ සංකිලි රජුගේ පුත්‍රයාවූ දොන් කොන්ස්තන්තිනු කුමරා ද නිකපිටියේ බණ්ඩාර වැනි කුමාරවරුන් ද ඇතැම් රදළ ප්‍රභූවරුන්ගේ පුත්‍රයින් ද අධ්‍යාපනය හදාරන ලද්දේ මෙහි වීම සුවිශේෂී වන්නේය. එකල දෙව්සත්හල් සිසුන් හට දේවධර්මය සහ දර්ශනවාදය හදාරන්නට සිදුවුයේ මෙම අධ්‍යාපන ආයතනයෙන් වන අතර ජුසේ වාස් මුනිදුන් ප්‍රමුඛ සෙසු ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් ද පුජක පුහුණුව තුළ දේවධර්මය සහ දර්ශනවාදය හදාරන ලද්දේ මේ ආයතනය ඇසුරිනි.
ක්‍රි.ව. 1835 දී ගෝවාහි පෘතුගීසි රජයේ මර්දනකාරී ප්‍රතිපත්ති යටතේ ගෝවාහි ආගමික නියෝග බොහෝමයක් ඉවත් කිරීම ආරම්භ කිරීමෙන් පසු මෙම ආයතනය සහ දේවස්ථානය අතහැර දමන ලදී. පසුව සිදු කළ නොසලකා හැරීම නිසා දේවස්ථානයේ ඇතුළත කොටස් ක්‍රි.ව. 1842 දී බිඳ වැටුණි.
දේහය කඩාවැටීමෙන් ඉක්බිතිව ක්‍රි.ව. 1871 වන විට මෙහි තිබු සීනුව පන්ජිම් හි නිර්දෝෂ දේවමාතා දේවස්ථානය වෙත ගෙන යන ලදී. 1931 දී දේවස්ථානයේ මොගොප්පුව සහ කුළුණේ අඩක් කඩා වැටුණු අතර 1938 වන විට අනෙක් බොහෝ කොටස්ද කඩා වැටී තිබුණි. දැනට ඉතිරිව ඇත්තේ කුළුණෙන් අඩක් පමණක් වන අතර එය ගෝවා හි වැඩිපුරම සංචාරක තෝතැන්නකි.


බෝම් ජේසු බැසිලිකාව
ශු. ජුසේ වාස් මුනිඳුන්ගේ දිවි ගමන තුළ හදබැඳි ස්ථානයන් අතර බෝම් ජේසු බැසිලිකාව ද සුවිශේෂී ස්ථානයකි. මේ බැසිලිකා දෙව්විමන ගෝවා පුරයට පමණක් නොව සමස්ථ කතෝලික ලෝකයට ම වැදගත් වන ස්ථානයකි. මන්දයත් ආසියාවේ ගිනි සිළුව ලෙස විරුදාවලියෙන් පුදනු ලබන ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිඳුන්ගේ නොදිරන ශ්‍රී ශරීරය මේ දෙව්විමනේ ස්ථාපිත කර ඇති නිසාය.
“බෝම් ජේසු ” යන පෘතුගීසි වචනයේ අර්ථය වන්නේ යහපත් ජේසු සමිදාණන් වහන්සේ යන්නයි. පෘතුගීසි ප්‍රදේශ වල මේ නාමය භාවිතා කරනු ලබන්නේ ලංකාවේ පවා සුපතල චතාරික භක්ති අභ්‍යාසයක් වන Ecce Homo යන භක්ති අභ්‍යාසය සිදුකිරීමට බව සදහන් වේ.
කෙසේ වෙතත් මේ බැසිලිකා දෙව්විමන තැනීමට මුලික හේතුව වුයේ ක්‍රි.ව.1552 දෙසැම්බර් 03 වන දින සන් ජුවන් දුපතේ දී ස්වර්ගස්ථ වූ ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිඳුන්ගේ නොදිරන සිරි සිරුර තැම්පත් කිරීමට බව සදහන් වේ. ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන්ගේ නොදිරන සිරි සිරුර ගෝවා පුරයට වැඩම කරන ලද්දේ ක්‍රි.ව. 1553 දෙසැම්බර් 11 වන දින බව සදහන් වේ.
මෙම බැසිලිකා දෙව්විමන සදහා මුල්ගල් තබන ලද්දේ ක්‍රි.ව.1594 දී වන අතර එහි වැඩ අවසන් වී එය කැපකොට අභිෂේක කරන ලද්දේ ක්‍රි.ව. 1605 දී එවකට ගෝව අගරදගුරු අති උතුම් ඇලෙක්ෂියෝ ඩි මෙනසෙස් හිමිපාණන් විසිනි. බාරෝක් ගෘහ නිර්මාණ ශිල්ප වලට නෑකම් කියන්නාවූ මේ බැසිලිකා දෙව්විමන ජුසේ වාස් මුනිඳුන්ගේ හදබැඳි ස්ථානයක් වන්නට වුයේ එතුමන්ගේ දෙව්සත්හල් සමයේදී බව සදහන් වේ.
දෙව්සත්හල් ශිෂ්‍යයෙකු ලෙසත් තරුණ සහෝදරතුමකු ලෙසත් මේ දේවස්ථානයේ ස්ථාපිත ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිඳුන්ගේ නොදිරන සිරි සිරුර දකින වාරයක් වාරයක් පාසාම ජුසේ වාස් මුනිතුමන්ද ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන් මෙන් තමන් ද ධර්මදුතවරයෙකු වීමට අපේක්ෂා කරන්නට විය.
එතුමන්ගේ ජීවිතය තුළ පරමාදර්ශ ශුද්ධවරුන් දෙදෙනෙකු ගත් අතර ඒ දෙදෙනා වන්නේ අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් සහ ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිඳුන්ය. අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් මෙන් දිළිඳුකම මුල් කර ගත් සරල චාම් දිවියක් ගත කරන්නට මෙතුමාණෝ අපේක්ෂා කළ අතර ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් මෙන් ප්‍රබල ධර්මදුතවරයෙකු වන්නට ද අධිෂ්ඨාන කර ගත්තේය.
එම නිසාම එතුමන්ගේ දිවි ගමන තුළ ඉහත කි ප්‍රැන්සිස් යන ශුද්ධවරුන් දෙදෙනාගේම සංකලනයක් දක්නට ලැබේ.ඒ සදහා එතුමන්ට මහඟු පිටුවහල වුයේ මේ දෙව්විමනයි.

ජපමාලයේ අප ස්වාමිදුගේ දෙව්විමන පරණ ගෝව නගරය
පරණ ගෝව නගරයේ මැන්ඩොවී ගංගාවට සහ දිවාරි දුපතට දකුණු දෙසින් , පරණ ගෝව නගරයේ මොන්ටේ සැන්ටෝ නම් කුඩා කඳුගැටය මත පිහිටි සුන්දර සහ දර්ශනීය දෙව්විමනක් ලෙස මෙය නම් කළ හැකිය. ශු. ජුසේ වාස් මුනිඳුන්ගේ හදබැඳි තවත් සුවිශේෂී ස්ථානයක් ලෙස මේ ස්ථානය නම් කළ හැකිය.
පෘතුගීසි සමයේදී මේ ස්ථානය සිද්ධස්ථානයක් ලෙස දේවවන්දනාවට පාත්‍ර වූ බව සදහන් වේ. තවද පැරණි ගෝව නගරයේ ඉදිවූ ඉපැරණි ම දේවස්ථානය ලෙස සැලකෙන මේ දෙව්විමන ගොතික කලා ශිල්පයට නෑකම් කියන්නාහ. පරණ ගෝව නගරය තුළ දේවමාතාවන් නමින් ඉදිකරන ලද ප්‍රථම දේවස්ථානය ලෙස මෙය සැලකේ.
මේ දේවස්ථානය ඉදිකරන ලද්දේ සුවිශේෂී හේතුවක් නිසාය. ඒ අපෝන්සුද ඇල්බර්කර්ක් නැමැති පෘතුගීසි කපිතාන්වරයා පැරණි ගෝව නගරය අල්ලා ගැනීමට පෙර දේවමාතාවන්ට වූ බාරයක් ඔප්පු කිරීමට බව ද කියැවේ. කෙසේ හෝ මෙම පොරොන්දුව ඉටුකිරීමට ඔහුට නොහැකි වූ අතර එය සම්පුර්ණ කරන ලද්දේ ක්‍රි.ව. 1547 දී ඔහුගෙන් පසු බලයට පැමිණි ඇන්ටාඕ නොගුඒරා ද බ්‍රිටෝ නම් කපිතාන්වරයා විසින් බව සදහන් වේ.
ප්‍රථමයෙන් මේ දේවස්ථානය කැපකරන ලද්දේ ආලෝකයේ අප ස්වාමිදු නමිනි. ක්‍රි.ව. 1553 දෙසැම්බර් 11 වන දින ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිඳුන්ගේ ශ්‍රී ශරීරය මලක්කාවෙන් සිට රැගෙන එන ලදුව ප්‍රථමයෙන් ස්ථාපනය කරන ලද්දේ මේ දේවස්ථානයේ වීම ද සුවිශේෂී සිදුවීමකි.
ක්‍රි. ව 1619 දී පෙබරවාරි මස 22 වැනි සිකුරාදා දින එනම් පරණ ගෝව නගරයේ විනාශයට පෙර බෝආ විස්ටා කඳු මත තිබු එහි තිබු ශ්‍රී කුරුසිය මත ජේසු සමිඳාණෝ දර්ශනය වූ සේක. එමගින් සිදුවූ අසංඛ්‍යත ප්‍රාතිහාර්ය හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත්කරනු ලැබූ මෙම ශ්‍රී කුරුසිය දේවජනතාවගේ වන්දනාව සදහා රැගෙන යනු ලැබුවේ මෙම දෙව්විමන කරාය ( අද මෙම කුරුසිය ගෝවේ ආසන දෙව්විමනේ ස්ථාපිතව පවතී).
තවද ගෝව නගරයේ විසු ප්‍රතිරාජ්‍යයෙකු වූ ගර්සියා ද සා යන ආණ්ඩුකාරවරයා ස්වර්ගස්ථ වූ පසු මිහිදන් කරන ලද්දේ ද මේ දේවස්ථානයේදීය.
ලක්දිව ලන්දේසි පාලනයට යටත් වීමෙන් පසුව පූජකවරුන්ගේ හිඟයක් පැවත එන්නට විය. මන්ද එකල ධර්ම දූතවරුන් පැමිණියේ පද්‍රෝ ආඩෝ ගිවිසුම යටතේ පෘතුගාලයෙනි. ඔවුන් දේශීය පූජක පුහුණුව ආරම්භ නොකළ අතර , මෙසේ ලංකාව ලන්දේසීන්ට යටත් වීමෙන් පසුව තමන් දේශීය පූජක පුහුණුව සිදු නොකිරීමේ වරද ඔවුනට වැටහිණි.
මේ නිසා ශුද්ධාසනයේ ධර්ම ප්‍රචාර අංශය මගින් යටත්විජිත වල දේශීය පූජක පුහුණුව ආරම්භ කිරීමට පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට බලතල ලබාදෙන ලදී. එහෙත් ඔවුන් ඒ පිළිබඳව එතරම් කැමැත්තක් නොදැක්වුවද ලංකාවට වැනි වූ තත්ත්වයක් සෙසු යටත් යටත්විජිත වලත් සිදුවනු ඇතැයි ඔවුහු බිය වූහ.
මේ නිසාම ප්‍රථමයෙන් රාජකීයයන් හට පූජකධූරය හා පැවිදි ධූරය ලබා දුන් අතර , ජුසේ වාස් මුනි යුගය වන විට ඉන්දියාවේ එකල උසස්ම කුලය වූ බ්‍රාහ්මණ කුලයේ අයට පමණක් පූජකවරය දානය කරන ලදී. ඔවුනට ඒ සඳහා වෙනම දෙව්සත්හලක් මෙම ජපමාල මාතා දේවස්ථානය පරිශ්‍රයේ ස්ථාපනය කර තිබූ අතර ජුසේ වාස් මුනිතුමන්ගේ පූජක පුහුණුව සිදු වුයේ මෙහිදීය.
මෙහි පදවි පුජාප්‍රසාදීන් වහන්සේලාගේ නිවාසයක් ද පිහිටා තිබිය. තරුණ සහෝදරතුමෙකු ලෙස දේවධර්මය සහ දර්ශනවාදය හදාරන සමයේදී ජුසේ වාස් මුනිතුමා ජිවත් වුයේ මෙහි බව සදහන් වේ. මෙහි සිට ඉහත දී සදහන් කළ ශා. පාවුළු ආයතනයට සහ ශා. තෝමස් ඇක්වයිනාස් විශ්ව විද්‍යාලයට එතුමන් පිවිසි අධ්‍යාපනය ලද බව සදහන් වේ.
දෛනික යාච්ඤාවන්ට අමතරව සිය පුහුණු සමයේදී පැය ගණන් පෞද්ගලික යාච්ඤාවන් ඔප්පු කරන ලද්දේ මේ ස්ථානය තුළය. තවද දෛනික අධ්‍යාපන කටයුතු සඳහා යන එන විටදී ජපමාලය උච්චාරණය කිරීම මෙතුමාගේ පුරුද්දක් විය. පුජකවරය ලබන තෙක්ම ජුසේ වාස් මුනිතුමන්ගේ වාසස්ථානය මෙය විය. දේවමාතාවන් කෙරේ දක්වාලු ගැඹුරු භක්ත්‍යාදරය ක්‍රියාවට නැංවීමට මේ ස්ථානය එතුමන්ට ප්‍රබල රුකුලක් වූ බවට සැක නැත.

ගෝව ශා. කැතරිනා ආසන දෙව්මැඳුර
පෙරදිග රෝමය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ ගෝවා පුරයයි. එය පෘතුගීසීන්ගේ පළමු වන අවසාන මධ්‍යස්ථානය විය. ආසියාවේ පළමු රදගුරු වසම වන්නේ ද ගෝවා අගරදගුරු වසමයි. පෘතුගාලයේ 3 වන ජුවාම් රජතුමා විසින් ශුද්ධාසනයට සිදුකරන ලද ඉල්ලීමකට අනුව 7 වන ක්ලෙමන්ට් ශුද්ධෝත්තම පියතුමන් විසින් ෆුන්කල් අගරදගුරු පදවියේ පරිවාර හෙවත් අනුපදවියක් ලෙස ගෝව රදගුරු පදවිය ස්ථාපිත කරන ලදී.
ඒ ක්‍රි.ව. 1533 ජනවාරි මස 31 වන දිනදීය. එහෙත් එතුමන්ට එකී ලේඛනයට අත්සන් තැබීමට නොහැකිව එතුමන් ස්වර්ගස්ථ වූ අතර එතුමන්ගේ අනුප්‍රාප්තිකයා වූ 3 වන පාවුළු ශුද්ධෝත්තම පියතුමන් විසින් ක්‍රි.ව. 1533 ජනවාරි මස 31 වන දින නම් කරන ලද ගෝව රදගුරු පදවිය ක්‍රියාත්මක කිරීමේ ලේඛනයට අත්සන් තබන ලදී.
ප්‍රථම රදගුරුතුමන් ලෙස අති උතුම් ඩොම් ප්‍රැන්සිස්කෝ ද මෙලෝ හිමිපාණන් පත් කරන ලදී. එතුමන් ලිස්බනයේදී රදගුරු අභිෂේකය ලද නමුත් ඉන්දියාවට පැමිණීමට පෙර ලිස්බන්හිදී ස්වර්ගස්ථ විය. ඒ අනුව ගෝව රදගුරු පදවියේ පරිපාලන කටයුතු සදහා අනුනායක තුමකු පත් කළ අතර ඒ තැනැත්තා වුයේ මිගුවෙල් වාස් කුටිඤ්ඤෝ නැමැති ගිහි සැදැහැවතෙකි.
ආසියාවේ ප්‍රථම රදගුරු වසම වූ ගෝව රදගුරු පදවිය ක්‍රි.ව. 1533 ජනවාරි 31 වන දින සිට 1557 පෙබරවාරි 04 වන දින දක්වා වූ වසර 25 කට ආසන්න කාලය තුළ ලෝකයේම විශාල ම රදගුරු පදවිය බවට පත්ව පැවතියේය. එය අප්‍රිකාවේ කේප් තුඩුවේ සිට ජපානය දක්වා විහිදී තිබිණි. ඒ කාලයේදී ලංකාව ද අයත් වුයේ ගෝව රදගුරු පදවියටය.
ආසියා මහද්වීපයේ ම ඉදිවුණු ප්‍රථම ආසන දෙව්විමන වන ගෝවේ ශා. කැතරිනා ආසන දෙව්විමන ආරම්භ කරන්නට යෙදුණේ ක්‍රි.ව. 1510 දී ගෝව ප්‍රදේශයේ පළමු ආණ්ඩුකාරවරයා වූ අෆොන්සෝ ද ඇල්බුර්ක්වේකුවේ යටතේය. මෙම දෙව්විමන ඇලෙක්සැන්ඩියාවේ ශා. කැතරිනා මුනිවරිය නමින් කැපකරන්නට යෙදුණේ ඔවුන් ගෝව ප්‍රදේශය පෘතුගීසි ආධිපත්‍ය කරා නතුකරන්නට ලැබුනේ එතුමියගේ මංගල්‍යය දිනයේ වීම නිසාය.
ප්‍රථමයෙන් ඉතා කුඩාවට පැවති මේ දෙව්විමන සුවිසල් කොට තනන ලද්දේ ක්‍රි.ව. 1552 දී ජෝර්ජ් කබ්රාල් නැමැති ගෝවේ විසු ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේදීය. නමුත් ඒ සදහා පෘතුගාල රාජ්‍යයේ අනුග්‍රහය අවැසි වූ බැවින් 3 වන ඩොම් සෙබස්තියන් රජුගේ පුර්ණ අනුග්‍රහය තුළ මේ කාර්යය ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව. 1562 දීය.
ඒ සදහා වසර 57 ක කාලයක් ගතවූ අතර එය ඒ කාලයේදී ආසියා මහාද්වීපයේ ඉදිවූ සුවිසල් අංග සම්පුර්ණ ම දේවස්ථානය විය. උසින් අඩි 250 කින් ද පළල අඩි 181කින් ද සමන්විත මේ ආසන දෙව්විමන, සියලු වැඩ කටයුතු නිමවා ආසිරි ගන්වා කැපකර අභිෂේක ගන්වන ලද්දේ ක්‍රි.ව. 1640 වසරේදී බව සදහන් වේ. මේ දේවස්ථානයේ ස්ථාපිත සීනු යුවල ක්‍රි.ව. 1552 වසරේ සිට ස්ථාපනය කර ඇති බව ද සදහන් වේ.
උසින් අඩි 250 කින් ද පළල අඩි 181 කින් ද සමන්විත මේ ආසන දෙව්විමන, සියලු වැඩ කටයුතු නිමවා ආසිරි ගන්වා කැපකර අභිෂේක ගන්වන ලද්දේ ක්‍රි.ව. 1640 වසරේදී බව සදහන් වේ. මේ දෙව්විමන නිර්මාණය වී ඇත්තේ ටස්කන් සහ කොරෙන්තියන් ගෘහ නිර්මාණ ශිල්ප වලට අනුවය. තවද පෘතුගීසි සහ ස්පාඤ්ඤ දේවවන්දනා ගෘහ නිර්මාණ ශිල්ප වලින් අපට දායාද වූ හෝට්ස් අල්තාරයන් ද මෙහි වීම සුවිශේෂී වේ.
මේ දේවස්ථානයේ ස්ථාපිත සීනු යුවල ක්‍රි.ව. 1552 වසරේ සිට ස්ථාපනය කර ඇති බව ද සදහන් වේ. තවද ගෝව අගරදගුරුතුමන් වනාහි පෙරදිග ප්‍රදේශ වල පේත්‍රියාක් අගරදගුරුතුමන් හිමිපාණන් වීම නිසා එතුමන්ගේ ගුරුආසනය හෙවත් ක්‍්එයැාර් ස්ථාපිතව ඇත්තේ මේ දෙව්විමනේ වීම ද සුවිශේෂී වේ.
මන්ද ලංකා සභා ඉතිහාසය තුළ ප්‍රබල මෙන්ම දුබල අත්දැකීම් තුළ ද මෙහි අගරදගුරු හිමිවරුන් කැපීපෙනෙයි. මේ ආසන දෙව්විමන සහ ජුසේ වාස් මුනිතුමන්ගේ ජීවිතය හා සම්බන්ධ වන්නේ කෙසේද? යන්න ඔබට පැනයක් වනු නොඅනුමානය. ජුසේ වාස් මුනිතුමන් ස්වකීය පුදැදුරු දිවියේ කේන්ද්‍රස්ථාන දෙකක් සමරනු ලැබුවේ මේ ආසන දෙව්විමනේ වීම සුවිශේෂී වේ.
එනම් ක්‍රි.ව. 1673 දී එතුමන් තේවාචාර්යතුමකු ලෙස වගකීම් ලද්දේ එවකට ගෝවපුර අගරදගුරු අති උතුම් ක්‍රිස්ටෝවාඕ ද සිල්වේරා හිමිපාණන් අතින් මේ ආසන දෙව්විමනේදිය. තවද ක්‍රි.ව. 1676 දී එතුමන් පුජාප්‍රසාදීවරයෙකු පුදැදුරු වරම් ලද්දේ එවකට ගෝවපුර අගරදගුරු අති උතුම් අන්තෝනියෝ බ්‍රන්ඩාඕ හිමිපාණන් අතින් මේ ආසන දෙව්විමනේදි වීම සුවිශේෂී වේ.
තවද එතුමන් පුදැදුරුවරම් ලබා වසර 05 ක් ගතවූ කළ ගෝව අගරදගුරුතුමන්ගේ නියෝජිතයෙකු ලෙස චීනයේ මකාඕ දුපතට ගිය පුජාප්‍රසාදීන් වහන්සේ නමකට ඒමට සිදුවුයේ ලංකාව හරහාය. එතුමන් එහිදී ලක්දිව කතෝලිකයන් විදින්නාවූ අපමණ දුක්ගැහැට පිලිබදව දන්වන ලදී. තරුණ පුජාප්‍රසාදීතුමකු ලෙස ජුසේ වාස් මුනිතුමන්ගේ සිත තුළ සමිඳුන් ලක්දිව කතෝලිකයන් කෙරෙහි ගැඹුරු පිපාසයක් ඇති කරන ලද්දේ මේ අවස්ථාවේදීය.
එම පුජාප්‍රසාදීන් වහන්සේ කැනන්තුමෙකු ලෙස ( ආසන දෙව්විමනේ පරිපාලක) ලෙස සේවය කරන ලද්දේ මේ දෙව්විමනේ වීම සුවිශේෂී වේ. ක්‍රි.ව. 2000 ජනවාරි මස 16 වන දින ජුසේ වාස් මුනිතුමන් ගෝව සහ ඩමාන් අගදරගුරු වසමේ නාම සාන්තුවරයාණන් ලෙස මෙම ආසන දෙව්විමනේදී ම ප්‍රකාශයට පත්කොට, මහ ශු. අල්තාරය ඉදිරියේම එතුමන්ගේ සුවිසල් ප්‍රතිමාවක් ස්ථාපනය කළ අතර 2015 ජනවාරි 14 වන දින ජුසේ වාස් මුනිතුමන් සාන්තුවරයට ඔසවාලු අවස්ථාවේදී ගෞරවයේ සහ අභිමානයේ සංකේතයක් ලෙස වසර ගණනාවකට වරක් නාද කරන්නාවූ ස්වර්ණ සීනුව නාද කිරීමද සුවිශේෂී සිදුවීමක් ලෙස නම් කළ හැක.

ශා. අන්තෝනි මුනි දෙව්මැඳුර පරණ ගෝව නගරය
පෘතුග්‍රිසි යුගයේ දි මෙරට මෙන්ම ඉන්දියාවේද පෘතුගීසි යටත්විජිත රටවල ප්‍රචලිත වූ ප්‍රබල සුදුවර බැතිය ශා. අන්තෝනි මුනි බැතියයි. පෘතුගීසි යුගයේ දී ශු. අන්තෝති මුනිතුමන් හඳුන්වා දෙනු ලැබුවේ පාදුවාවේ ශු. අන්තෝනි මුනිතුමා ලෙස නොව පෘතුගාලයේ මුනිවරයාණන් ලෙසටය.
පෘතුගීසි යුගයේ දී ශු. අන්තෝනි මුනිඳුන් හඳුන්වා දෙනු ලැබුවේ පාදුවාවේ ශු. අන්තෝනි මුනිතුමා ලෙස නොව පෘතුගාලයේ මුනිවරයාණන් ලෙසටය. එම නිසා පෘතුගීසි කපිතාන්වරු මෙන්ම ආණ්ඩුකාරවරුන් සිය පෞද්ගලික දෙව්විමන් බොහෝ විට කැපකර තිබුනේ ශු.අන්තෝනි මුනිඳුන් හටය.
ගෝවේ පිහිටා තිබු ආණ්ඩුකාර නිවාස පරිශ්‍රයේ පිහිටි දේවස්ථානය ද ශු. අන්තෝනි මුනිඳුන් හට කැපකර තිබු අතර මේ දේවස්ථානය රාජකීය දේවස්ථානය ලෙසද සැලකේ. මුල් යුගයේදී මේ දේවස්ථානය භාර වී තිබී ඇත්තේ අගුස්තිනු නිකායික ධර්මදුතවරුන්ටය. ජුසේ වාස් මුනිතුමන්ගේ ජිවිතයට මේ දේවස්ථානය කෙසේ සම්බන්ධ වුයේ ද යන්න ඇතැමෙකුට ප්‍රශ්නයක් වන්නට පුළුවන.
ඒ කෙසේ ද යත් ගෝවේ හි අගරදගුරු මොන්සිඤෝර් අන්තෝනියේ බ්‍රන්ඩාවෝ හිමිපාණන් විසින් එතුමන් පූජකවරය ලැබිය. ඒ. ක්‍රි.ව. 1676 අප්‍රියෙල් දීය. මේ කාලයේදී මෙතුමා ව්‍යක්ත දේශකයෙකු විය. මෙතුමා කෙතරම් ව්‍යක්ත දේශනා සිදුකලේ ද කිවහොත් එකල ගෝවේහි ප්‍රතිරාජයා හෙවත් ආණ්ඩුකාරවරයා වු ඩි.
රොඩ්රිගෝ ද කොස්තා නම් ආණ්ඩුකාරවරයා විසින් එතුමන් තම පාපොච්චාරණය අසන පියතුමා , ආත්මික පියතුමා ලෙස තෝරා පත්කරගන්නා ලදී. අවුරුදු පහක් තරම් කාලයක් එතුමන් මේ කාර්යභාරයේ වගකීම දැරුවේය. මේ කාලයේදී මෙතුමන් එකී ආණ්ඩුකාරවරයාගේ ආත්මික පුදැදුරුතුමන් ලෙස එතුමන් සේවය කරන කාලයේදී ආණ්ඩුකාරවරයාගේ ආත්මික කටයුතු සදහා එතුමන් භාවිතා කරන ලද්දේ මේ දෙව්විමනයි.
මෙහිදී අප වටහා ගත යුතු ප්‍රබල කරුණක් පවතී. එනම් මෙම කාර්යය සදහා එතුමන්ට යම් ගෙවීමක් සහ අනුග්‍රහයක් ද , එකල සමාජයේ සුවිශේෂී ස්ථානයක් ද හිමිවී තිබිණි. ඒ සියල්ලම අතහැර ලක්දිව පැමිණීමට තීරණය කිරීම තුළින් එතුමන්ගේ ප්‍රබල කැපකිරීම සහ පරිත්‍යාගීබව මොනවට කියා පායි.
පරණ ගෝව නගරයේ ස්ථාපිතව පවතින මේ දේවස්ථානය ක්‍රි.ව. 1835 දී පෘතුගාල රජය විසින් වසා දැමු නමුත් ක්‍රි.ව. 1894 දී නැවත වරක් සැදැහැවතුන්ගේ වන්දනාව සදහා විවෘත කළ අතර ක්‍රි.ව. 1961 දී ගෝව නගරය ඉන්දීය රජයට පත්වීමෙන් පසු නැවත වරක් ආසිරි ගන්වා විවෘත කරනු ලැබිය. අද මෙම දෙව්විමන ලෝක උරුමයක් ලෙස පවතින ස්ථානයකි.

3 Comments