ලිසියේ ශු. තෙරේසා තුමිය (ජේසුගේ කුඩා මල 1873 – 1897)
ධර්මදූතවරුන්ගේ නාම සාන්තුවරිය ලෙස නම් කොට ඇති කුඩා ජේසු තුමන්ගේ තෙරේසා හෙවත් ලිසියේ ශු. තෙරේසා මුනිවරියගේ මංගල්‍යය ඔක්තෝබර් මස 01 දාට යෙදේ.
ගිහි කල මාරි ෆ්රාන්සුවා තෙරෙස් මාටින් යන නමින් සිටි ඕ ප්‍රංශයේ ඇලන්සෝන් හී ඉපිද පසුව ලිසිය ප්‍රදේශයේ විසූ අතර එතුමියගේ සිතේ වූ මහත් ඇල්ම මුදුන්පත් කරගනිමින් ලිසියේ කාමලයිට් තාපසිකාරාමයේ පැවිදි දිවියට පිවිස ඉතා සාමාන්‍ය සරල පැවිදි දිවිපෙවෙතක් අසාමන්‍ය ප්‍රේමයකින් යුතුව ගෙවා ක්ෂය රෝගයට ගොදුරුව තුරුණු වියේදීම ස්වර්ගස්ථ වූවාය.
නිහඬ තාපසිකාවක් ලෙස එතුමිය ගෙවූ දිවිය පිළිබඳ තතු පසුව එතුමියගේම ස්වයං ලිඛිත චරිතාපදානය මගින් අනාවරණය වූ අතර එතුමියගේ ශුද්ධවන්ත දිවිය පිළිබඳ පුවත කෙමෙන් පැතිරෙන්නට වන. එහි ප්‍රතිඵලයක් ලෙස දියත් කරන ලද කටයුතු සමාප්ත කරමින් 1925 දි එතුමිය සාන්තුවරභාවයට ඔසවන ලදි. පසුකාලීනව එතුමිය ධර්මදූත වරුන්ගේ නාම සාන්තුවරිය ලෙසද නම් කෙරිණි.
මේ සමග පළ කරන්නේ 1955 දී ප්‍රකාශයට පත්කරන ලද ප්‍රංශ සගරාවකින් උපුටා ගත් ඡායාරූප මාලාවකි.
මෑත ඉතිහාසය නියෝජනය කරන සාන්තුවර සමුදායේ වඩා ජනප්‍රිය නාමයක් වන්නේ ශු. තෙරේසා මුනිවරියයි. මාරි ෆ්රාන්සුවා තෙරෙස් මාටින් නමින් 1873 දී ප්‍රංශයේ උපන් එතුමියගේ දෙමාපියන් පවා අද වනවිට සාන්තුවර භාවයට ඔසවා ඇත.
ලිසියේ පිහිටි කාර්මේල් තාපසිකාරාමයේ පැවිදි දිවිය වැළදගත් එතුමිය ගත කළේ වසර 24 ක් තරම් වූ කෙටි දිවියකි. ක්ෂය රෝගයෙන් පීඩා විදි ඕ 1897 සැප්තැම්බර් 30 දා සගසුව දිනුවාය.
එතුමිය හදුන්වන නාමයන්
- කුඩා ජේසු තුමන්ගේ හා ශ්‍රී මුහුණේ තෙරේසා තුමිය. (Theresa of Child Jesus & of Holy Face) මෙය එතුමියගේ පැවිදි නාමය විය.
- ලිසියේ සාන්ත තෙරේසා තුමිය
- කුඩා තෙරේසා කන්‍යාවිය
- ජේසුගේ කුඩා මල
එතුමියගේ ජීවිතයද සෙසු කාමලයිට් තාපසිකාවන්ගේ මෙන්ම ලොවට මුවාවූ කිසිවෙක් අතර ප්‍රසිද්ධ නුවූ, සාමාන්‍ය පැවිදි දිවිපෙවෙතක් විය. එතුමියගේ වියෝව පවා සාමාන්‍ය ලෙස සිදුවූ අතර එතුමියගේ සාන්තුවර භාවය පිළිබඳ ලොවට අනාවරණය වන්නට ගත්තේ එතුමිය ලියා තබන ලද Story of a soul නම් වූ භාවනාත්මක ස්වයං ලිඛිත චරිතාපදානයයි.
1925 දී සාන්තුවර භාවයට ඔසවන ලද එතුමිය ධර්ම දූතවරුන්ගේ නාම සාන්තුවරිය ලෙසද නම් කොට ඇත. ඒ එතුමිය කන්‍යාරාමය අභ්‍යන්තරයේ හිද ඈත එපිට දුෂ්කරතා මැද ධර්ම දූත සේවයේ යෙදුණු මිෂනාරිවරුන්ට යාච්ඤාවෙන් ශක්තිමත් කිරීම නිසාය.
ජේසුගේ කුඩාමල ලෙස හැදින්වුණු සාන්ත තෙරේසා තුමියට මෙරට කැපකර ඇති දේවස්ථාන
ජේසුතුමන්ගේ කුඩ මල වූ තෙරේසා මුනිවරිය වෙත බැතිය සිරිලක පැතිරී ගිය අතර එතුමිය නමින් කැපකළ දේවස්ථාන රාශියක් ද මෙරට ඉදිවී ඇත.
අගරදගුරු වසමේ කොළඹ 05 තිඹිරිගස්යාය, වැලිවේරියේ නාකදපොළ , කැලණිය , දිවුලපිටිය , කටානේ බටපත්තල, හොරණ ඉංගිරිය හා වැලිකන්නේ වගවත්ත දේවස්ථාන එතුමියට කැපකර ඇත.
ඊට අමතරව හලාවත පදවියේ තල්විල, මහනුවර පදවියේ පේරාදෙණිය , ගාලු පදවියේ පනාපිටිය, අනුරාධපුර පදවියේ තිරප්පනේ , කුරුණෑගල පදවියේ ඉලුක්හේන , මන්නාරම පදවියේ මුල්ලිකුලම් හී පූක්කුලම්, මඩකලපුව පදවියේ වාලච්චේන රත්නපුර පදවියේ දෙහිගහපිටිය ප්‍රදේශ වල එතුමිය නමින් දේවස්ථාන පවති.
එසේම යාපනය රදගුරු වසමේ කිලිනොච්චිය , කුලමාංකල්, චුන්ඩුක්කුලි, මුල්ලියාවලි හී කූලමුරිප්පු යන ස්ථාන වල ද එතුමිය නමින් දේවස්ථාන ගොඩනැගී ඇත.
කොළඹ බොරැල්ල දේවස්ථානය සියළු සාන්තුවරයින්ගේ නමින් පැවතියද එහි සුවිශේෂී ආරක්ෂිකාව ලෙස මෙතුමිය සැලකෙන බව කියැවේ. එහි පුදසුනට ඉහළින් ඇති සුවිසල් වියන් සිතුවමත් කිරිගරුඬ ප්රතිමාවත් ඊට සාක්ෂි දරයි.
මාධව ජයකොඩි