kalu dewa mathawan

ප්‍රාතිහාර්යාත්මක තින්දරි හි කළු දේවමාතාවන් වහන්සේ

ඈත අතීතයේ සිටම විවිධ ජනප්‍රවාද වලට අනුව මෙම තින්දරි දේව මාතා ප්‍රතිමාව හා ප්‍රාතිහාර්ය පිළිබඳව විවිධවූ අනුවාද වාර්තා වී ඇත.

ඒ කෙසේවෙතත් සියලුම ජනප්‍රවාද වල දත්ත සලකා බලා අති මහත් කතෝලික ජනතාවකගේ ගෞරවාදරයට පාත්‍ර වූ තින්දරි (කළු) දේවමාතාවන්ගේ මෙම ප්‍රාතිහාර්යාත්මක සිදුවීම සහ ප්‍රතිමාවේ ඉතිහාසය මෙසේ ඉදිරිපත් කල හැකිය.

ක්‍රි.ව 8 වන සියවස අගබාගයේදී හෝ ක්‍රි.ව 9 වන සියවසේ මුල් වර්ශවලදී මෙම කළු දේවමාතා ප්‍රතිමාව නාවිකයන් පිරිසක් විසින් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර ඉතාලියේ සිසිලියා දූපතේ තින්දරි නම් ග්‍රාමය ආසන්නයේදී එම ප්‍රතිමාව රැගත් නෞකාව කුණාටුවකට හසුවී තින්දරි ග්‍රාමගේ මුහුදු සීමාවේ නවතින්නට විය.

තින්දරි ග්‍රාමගේ මුහුදු සීමාව
තින්දරි ග්‍රාමගේ මුහුදු සීමාව

කුණාටුවෙන් පසුව නැංගුරම්ලා තිබූ නෞකාව ඔවුන්ගේ ගමනාන්තය වෙත දියත් කිරීමට කීපවරක්ම උත්සාහ දැරුවද ඉන් කිසිදු පලක් නොවීය.

ඉන්පසු එම නාවිකයින් විසින් මෙම ප්‍රාතිහාර්යාත්මක කළු දේව මාතා පිළිරුව අද වන විට දේවස්තානය පිහිටා ඇති තින්දරි නම් වූ කදු මුදුන වෙතට ප්‍රවාහනය කිරීමට තීරණය කර ඇත.

දේවස්තානය පිහිටා ඇති තින්දරි නම් වූ කදු මුදුන
දේවස්තානය පිහිටා ඇති තින්දරි නම් වූ කදු මුදුන

එතැන් පටන් මෙම ග්‍රාමවාසීන් මෙම දේව මාතා ප්‍රතිමාව වැද පුදා ගැනීමට මෙම තින්දරි නම් කන්ද තරණය කිරීමට පුරුදු වී සිටියෝය. ඒ වන විට කන්ද මත කුඩා දේවස්තානයක් තුල මෙම ප්‍රතිමාව තැන්පත් කර තිබිනි.

මෙම ප්‍රතිමාව බැලූ බැල්මට අප්‍රිකානු කාන්තාවකගේ දේහ ලක්ෂන වලට සමාන වේ. දේවදාර දැවයෙන් නිමවී ඇති මෙම ප්‍රතිමාව ආසනයක් මත හිදගෙන සිටින කළු පැහැති දේවමාතාවන්ගේ උකුලෙහි ජේසු කුමරුන් ද සිටින අයුරු නිරූපනය වේ.

ප්‍රාතිහාර්යාත්මක තින්දරි හි කළු දේවමාතාවන් වහන්සේ
ප්‍රාතිහාර්යාත්මක තින්දරි හි කළු දේවමාතාවන් වහන්සේ

මෙම ආශ්චර්යමත් ප්‍රතිමාවෙන් ආශිර්වාදය ලබා ගැනීමට මෙන්ම කළු දේව මාතාවන්ගේ ප්‍රාතිහාර්යන් අත්දැකීමට රටේ නන් දෙසින් ජනතාව මුහුදු මට්ටමේ සිට මීටර 180 උසින් පිහිටා ඇති මෙම දේවස්තානයට තින්දරි කන්ද තරණය කරමින් ඇදී එන්නට විය.

එලෙස දුර බැහැර ගමක සිට තම රෝගාතුර වූ දියණිය සමග මෙම අභයභූමියට පැමිණී එක්තරා මවක් , එම කුඩා දැරිය හට එතුමියගේ මැදහත් පිහිට ලබා දෙන ලෙස තින්දරි දේව මාතාවන්ගෙන් අයැද සිටීමට මෙම දේවස්තානයට පැමිණියාය.

ඇය තින්දරි දේව මාතාවන්ගේ ප්‍රතිමාව ඉදිරියට පැමිණී පසු එම ප්‍රතිමාවේ වූ දේවමාතාවන්ගේ මුහුණේ කළු පැහැය හා දිගටි ස්වභාවය දැක මහත් බීතියටත් පුදුමයටත් පත්වීය. එසේ වූයේ ඇය මින් පෙර දැකතිබූ දේවමාතා ප්‍රතිමා හා සසදන විට මෙම ප්‍රතිමාව ඉතාමත් වෙනස් එකක් වූ නිසාවෙනි.

ඒ මොහොතේ ඇය ” මම අවලස්සන කාන්තාවක් , මා මෙච්චර දුරක සිට පැමිණියේ මටත් වඩා අවලස්සන කාන්තාවක් දැකගැනීමටද?” යැයි පැවසුවාය.

ඉතාමත් වෙහෙස වී මේතාක් දුර බැහැර සිට පැමිණ කළු ජාතික කාන්තාවකගේ රුවක් දෑකීමට ලැබීම ගැන ඇය කම්පා වූ නිසා තව දුරටත් මෙම දේවස්තානයේ රැදී සිටීමට ඇයට අවශ්‍ය නොවීය.

එසේ සිතූ මව මෙතෙක් තම දෑතේ උන් තම දියණියද සමගින් ප්‍රතිමාව තැන්පත් කර තිබූ දේවස්තානයෙන් පිටව ගියාය. නමුත් හදිසියේම භූමියේ ඇතිවූ චලනයක් හේතුවෙන් මේ කාන්තාව විසිවී ගොස් තම දෑතේ සිටි දියණිය දේවස්තානය පිහිටි කන්දේ සිට පහල ප්‍රපාතයට වැටුනේ ඇයගේ ජීවිතයට කිසිදු බලාපොරොත්තුවක් ඇති නොකරමිනි.

මන්ද එම ප්‍රපාතයෙන් පහල ඇත්තේ ගැඹුරු මුහුද බව දැරියගේ මව දැන සිටි නිසාවෙනි.

ඒ කෙසේ වෙතත් මෙම කාන්තාව තමා අතින් සිදුවූ වරද වටහාගෙන ඊට පසුතැවිලි වී, දේවමාතාවන්ගෙන් සමාව අයැද යාච්ඥා කරන්නට පටන් ගත්තාය .

විශ්මයට කරුණ නම් ඒ මොහොතේදී ඇයට දැකගන්නට ලැබුනේ මුහුද ගොඩවී සෑදුනු වැලි සහිත වෙරළ තීරයක් සහ ඒමත සාගර ජලය එක් රැස් වී සෑදුනු කුඩා විල් සහ මීටර 180 ක් පමණ උසකින් පහතට ඇද වැටුනු තම දියණිය කිසිදු අනතුරක් නොමැතිව ඒ මොහොතේ දීම මුහුද ගොඩ වී සෑදුනු වෙරලෙහි සෙල්ලම් කරමින් සිටින අයුරුය.

ඒ අසල සිටි ධීවර පිරිසක් දැරිය නැවත ඇගේ මව වෙත රැගෙන ඒමට කටයුතු කල අතර මේ සිදුවීමෙන් මහත් බීතියටත් විශ්මයටත් පත්වූ එම කාන්තාව වහාම දේවස්තානයනය වෙත දිවගොස් කළු දේවමාතා ප්‍රතිමාව අසල වැදවැටී එතුමියට ස්තූති ප්‍රශංසා කලාය.

දේවස්තානය පිහිටා ඇති කදු මුදුනේ සිට පහත මුහුද ගොඩවූ ස්ථානට පියවි ඇසට පෙනෙන්නට තිබුනේ ගොඩවී ඇති වෙරල තීරය දෑත් දිගුකරගෙන සිටින කාන්තාවකට සමාන හැඩයක් ගන්නා බවයි.

ජනප්‍රවාද වල සදහන් ආකාරයට එම ස්ථානය දෑසින් දුටු ජනතාව එය දුටුවේ , දැරිය ප්‍රපාතයෙන් පහලට ඇද වැටුනු අවස්‍ථාවේ ඇයව රැකගැනීමට පැමිණි අප ආදර මරියෝත්තමාවන් දැරිය රැකගැනීමට තම දෑත් දිගුකර බලාසිටින අයුරු දැක්වෙන රුවක් ලෙසිනි.

සටහන
අවිශ්ක වර්ණකුලසූරිය

මේ හා සම්බන්ධ වෙනත් ලිපි