දිව්‍ය පූජා යාගය කිතු දහමේ කෙන්ද්‍රස්තානයයි. දිව්‍ය පූජාවේ ආරම්භය සහ එහි විකාශනය පිළිබද ඉතිහාස තොරතුරු මෙම ලිපියේ අන්තර්ගත වේ.
දිව්‍ය පූජාවේ ශුද්ධ බයිබලීය පදනම
අපි සිදු කරන දිව්‍ය පුජාවේ ඉතිහාසය ඉතා කෙටියෙන් අවබෝධ කර ගැනීම ඉතාමත්ම වැදගත් වේ. සඳහා අපි මුලින්ම ශුද්ධ බයිබලයේ නික්මයාම පොතේ 12 වෙනි පරිච්ඡේදය වෙත අවධානය යොමු කිරීම වැදගත් වේ. නික්මයාම පොතේ 12 වෙනි පරිච්ජේදයේ පාස්කු මංගල්‍ය ගැන සඳහන් වේ.
පාස්කු මංගල්‍යය යනු පාස්කු බැටළුවා මරා නුමුහුන් පූප සහ තිත්ත පලා යාගික භෝජනයකට සහභාගිවීමේ මහා උතුම් සිදුවීමයි. මෙතැන සැමරුණේ කුමක් ද? එදා හේබ්‍රෙව් ජනතාව අවුරුදු ගණනාවක් ඊජීප්තු දේශයේ වහල්කමේ සිට එම වහල්කමෙන් නිදහස් වී මෝසස්තුමාගේ මැදිහත් කමින් තමන්ගේම දේශයක් කරා ගමන් අරඹන අවස්ථාව යි.
ඒ අවස්ථාව සනිටුහන් වෙන්නේ එක්තරා කණගාටුදායක සිදුවීමක් සමගයි. පාරාවෝගේ සිත දැඩිව තිබුණු නිසා ඉශ්රායෙල් ජනතාවට මිසරයෙන් නික්මෙන්නට පාරාවෝ කිසිවිටකත් ඉඩ ලබා දුන්නේ නැත. එම නිසා අවසාන දණ්ඩනය හැටියට එම දේශයේ සියලුම කුළුදුල් පිරීමේ දරුවන් මරා දැමීම දෙවියන් වහන්සේගේ නියම වුණා.
මරණයේ දූතයා එදා රාත්‍රියේ ඒ කුළුදුල් පිරිමි දරුවන් සොයා යද්දි හේබ්‍රෙවේ ජනතාව තමන් මැරූ එම පාස්කු බැටළුවාගේ ලේ අරගෙන උළුවස්සේ තැවරුවා. ඒ ලේ සලකුණ එක්තරා විදියකින් මේ මරණයේ දණ්ඩනයේ දූතයාගෙන් ගැළවීම ලබන්නට මේ ජනතාවට උදව් වුණා. මෙම සිදුවීම අප ඉතා විශාල සංකේතයක් ඉදිරිපත් කරනවා.
එනම් බැටළුවාගේ රුධිරයෙන් මිසරයේ සිටි ඉශ්රායෙල් ජනතාව ජීවිතය ලබනවා; ගැළවීම ලබනවා. එම නිසා නිරුපද්‍රිතව පොරොන්දු දේශය කරා යන්නට ඉශ්රායෙල් ජනතාවට හැකි වෙනවා. දිව්‍ය පුජාවේ මුල්ම ඉතිහාසමය සටහන ලෙස අපට හමුවන ඔවුන් ලද මෙම නිදහස, මෙම විමුක්තිය, මෙම ගැළවීම, මෙම නව ජීවනය, මෙම එතරවීම, පිළිවෙතක් ලෙස නැවත සිදු කරන්නෙ මෙම පාස්කු භෝජනයෙන්.

එම සිදුවීමන් පසු හෙබ්‍රෙව් ජනතාව තමන්ගෙ පොරොන්දු දේශයට එන අතරේ සහ පොරොන්දු දේශයේ පදිංචි වීමෙන් පසුත් හැම අවුරුද්දකම ඒ සිදුවීම යළි ජීවත් කරවීය. එය කලේ කෙසේ ද? එදා මෙන් පාස්කු බැටළුවා මරා ඒ නුමුහුන් පූප සහ තිත්ත පලා සමග අනුභව කරමින් ඒ සම්පූර්ණ පාස්කු සිද්ධිය, ඒ සම්පූර්ණ ගැළවීමේ අත්දැකීම, ආපසු ඔවුන් ආවර්ජනය කරන ලදී. ජුදා මිනිස්සු අද දක්වාම සිදු කරන පාස්කු මංගල්‍යය මෙය වේ. ජේසුස් වහන්සේ ද තම ගෝලයන් වටකරගෙන අන්තිම රාත්‍රි භෝජනයේදි සිදු කළේ මෙයයි.
නමුත් ක්‍රිස්තුස් වහන්සේ වැළඳු පාස්කු මංගල්‍ය භෝජනයේ විශාල වෙනසක් ඇත. එනම් පාස්කු බැටළුවෙක් මරා උගේ මාංශ අනුභව නොකිරීමයි. එහිදී පාස්කු බැටළුවා බවට පත් වෙන්නේ ජේසුස් වහන්සේයි. පාස්කු බැටළුවාගේ ලේ වෙනුවට හෙලන්නේ උන්වහන්සේගේ රුධිරයයි. මරණු ලැබූ පාස්කු බැටළුවාගේ ශරීරය වෙන්නේ අප වෙනුවෙන් පවරා දෙනු ලැබූ උන්වහන්සේගේ ශරීරයයි.
උන්වහන්සේගේ භෝජනය වළඳන, උන්වහන්සේගේ පාස්කුව යළි ජීවත් කරවන අපි, දැන් සිද්ධ කරන්නේ උන්වහන්සේ නිසා අප ලැබූ ඒ විමුක්තියයි. උන්වහන්සේ නිසා අප ලැබූ ඒ සදාතන ජීවිතය, උන්වහන්සේ සමග උන්වහන්සේ මගින් උන්වහන්සේ කෙරෙහි ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගිත්වය තුළ ඉතා පූජනීය අන්දමට ශුද්ධවන්තව දිනපතා පූජාසනය මත සිදුකිරීමයි.
ජේසුස් වහන්සේගේ මහිමාන්විත උත්ථානයෙන් පසු ශ්‍රාවකයෝ තැනින් තැන එකතු වී මේ පූප කැඩීම සිදු කරන ලදී. එසේ කළේ උන්වහන්සේගේ පාස්කු අභිරහස, එනම් උන්වහන්සේගේ දුක්වීදීම, මරණය, උත්ථානය, උන්වහන්සේ නැවත වඩින තෙක් ආවර්ජනය කිරීමටයි. මෙය පරිස්මරණය ලෙස හැඳින්වේ. ඔවුන් ගෘභාශ්‍රිතව මේ පිළිවෙත සිදුකළ බව අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතේ සඳහන් වේ.
මුල් කිතුනු සභාව තුළ දිව්‍ය පූජාව
පළමු ශත වර්ෂ තුනේදී කිතුනුවන්ට ආගම ඇදහීමේ නිදහස් නොවීය. එමනිසා දිව්‍ය පූජාව සැමරීමට ද ඔවුනට ඉඩ නොලැබුණි. එයට හේතුව නම් එම සමයේ රෝම අධිරාජ්‍යය කිතුනුවන් දරුණු ලෙස පීඩාවට පත් කිරීමයි. එම සමයේ දී විශාල කිතුනුවන් පිරිසක් තමන්ගේ විශ්වාසය නිසා ප්‍රාණපරිත්‍යාගි වූ බව අප සැම දන්නා කරුණකි. නමුත් ක්‍රිස්තු වර්ෂ 313 දී කොන්ස්තන්තීනු අධිරාජයා කිතුනුවන්ට නිදහස ලබා දෙන ලදී.
එම නිසා කිතුනු ආගම රාජ්‍ය ආගම බවට පත් විය. කිතුනුවන්ට කිතු දහම නිදහසේ අදහන්නටත් එය ප්‍රචාරණය කරන්නටත් නිදහස ලැබුණි. මේ නිසා බොහෝ දෙනා කිතුනු ආගම වැළඳ ගැනීමට පෙළඹුණි. මෙතෙක් කල් හොර රහසේ සැමරූ දිව්‍ය යාගය කිසිඳු බාදාවකින් තොරව නිදහසේ සැමරීමට හැකි විය.

මධ්‍යතන යුගයේ දිව්‍ය පූජාවේ සිදු වූ වෙනස්කම්
මධ්‍යතන යුගයේ දී දිව්‍ය පූජා පිළිවෙතේ වෙනස්කම් රාශියක් සිද්ධ විය. දිව්‍ය පූජා පිළිවෙත ස්ථිර වී ඒ සඳහා පොත්පත් සැකසුණි. දිව්‍ය පූජාව ප්‍රංශය වැනි රටවල් දක්වා පැතිරී ගියේ ය. එලෙසම ජර්මනිය, ස්පාඤ්ඤය, අයර්ලන්තය, උතුරු අප්‍රිකාව වැනි රටවලට ද දිව්‍ය පූජාව සහ එහි පිළිවෙත් පැතිර ගියේ ය. නමුත් එම පිළිවෙත එම රටවල්වලදී යම් යම් විකාශනයන්ට භාජනය විය.
මෙවැනි හේතූන් මත මධ්‍යතන යුගය වෙනවිට දිව්‍ය පුජා පිළිවෙත වෙනස්කම් රාශියකට භාජනය විය. මෙම වෙනස් වීම වලට සභාවේ විවිධ පූජකයන් සහ නායකයන් තම විරෝධය පල කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 1545 දී ත්‍රිදෙන්තීනු මන්ත්‍රණ සභාව කැඳවන ලදී.
ඒ අනුව ක්‍රි.ව. 1570 දී ත්‍රිදෙන්තීනු මන්ත්‍රණ සභාවෙන් පසුව කතෝලික දිව්‍ය පූජා පිළිවෙත ප්‍රකාශයට පත් විය. ඒ පූජාව මුළුමනින්ම පැවැත්වුණේ ලතින් භාෂාවෙන්ය. මෙම දිව්‍ය පූජා පිළිවෙත ක්‍රි.ව. 1570 සිට අවුරුදු 400 ක් පමණ කාලයක් එනම් ක්‍රි.ව. 1970 වන තෙක් බොහෝදුරට නොවෙනස්ව පැවතුනි.
දෙවන වතිකාන සමුළුව සහ දිව්‍ය පූජාව
ක්‍රි.ව. 1962 දී සාන්ත සභා ජීව්තයේ නොමැකෙන කඩඉමක් සනිටුහන් කළ දෙවන වතිකාන මහා සමුළුව ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 1963 දෙසැම්බර් මස 4 වෙනිදා ජනවන්දනාව පිළිබඳව ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් විය. එහි දිව්‍ය පූජාව පිළිබඳවද විවිධ වෙනස්කම් නිර්දේශ වී තිබුණි.
ක්‍රි.ව.1969 දෙසැම්බර් මාසය වනවිට සංශෝධිත දිව්‍ය පූජා පිළිවෙත ප්‍රකාශයට පත් වූ අතර ක්‍රි.ව. 1970 සිට අද අප විසින් සිදු කරන දිව්‍ය පූජා පිළිවෙත, සමස්ත කතෝලික ලෝකයේම සිදු කිරීම ආරම්භ විය.
දිව්‍ය පූජාවේ රෝමානු පිළිවෙත
වර්තමානයේ අප විසින් දිව්‍ය පුජාව සිදු කරන්නේ රෝමානු පිළිවෙතට අනුවය. රෝමානු පිළිවෙත යනු කුමක්දැයි නිවැරදිව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.
දිව්‍ය පූජාවේ ප්‍රධානම කොටස් මුලින්ම සිද්ධ වූයේ ශුද්ධ වූ දේශයේ පලස්තීනයේ, විශේෂයෙන් ම පේරුසලම් නගරයේ. දිව්‍ය පූජාව මුලින්ම ආරම්භ වූයේ දේව වාක්‍ය පිළිවෙත, ස්තෝත්‍ර යාගික පිළිවෙත යනාදිය ජුදා පිළිවෙත් ලෙසට ය. නමුත් වර්තමාන දිව්‍ය පූජා පිළිවෙත ස්ථාවරත්වයට පත්වෙන්නේ රෝමානු අධිරාජ්‍යයේ මෙහෙයවීම සහ අධීක්ෂණය තුල ය.
හතර වැනි ශතවර්ෂයෙන් පසු රෝමානු අධිරාජ්‍ය පරිපාලනමය හේතූන් නිසා විමධ්‍යගත වී පෙරදිග රෝම රාජ්‍ය සහ අපරදිග රෝම රාජ්‍ය ලෙස කොටස් බෙදා වෙන් කරන ලදී. ඒ අනුව මෙම දිව්‍ය පූජා පිළිවෙත් ද කොටස් දෙකකට බෙදුණි. ඒ අනුව දිව්‍ය පූජාවේ පිළිවෙත් ද පෙරදිග කතෝලික පිළිවෙත් සහ අපරදිග කතෝලික පිළිවෙත් ලෙස කොටස් දෙකට බෙදේ. මේ අනුව අප අයත් වන්නේ අපරදිග කතෝලික පිළිවෙත් සම්ප්‍රදායේ රෝමානු පිළිවෙතට වේ.
මෙය රෝමානු පිළිවෙත ලෙස හැඳින්වුව ද මෙම පිළිවෙතේ අඩංගු සියලුදේ රෝමයෙන් බිහිවූ දෑ නොවේ. මේ පිළිවෙතේ අඩංගු බහුතරයක් දෑ ජුදා පිළිවෙත් ඇසුරින් ගොඩනැඟී ඇත. නමුත් මෙම පිළිවෙත රෝමානු පිළිවෙත ලෙස හැඳින්වේ.
රෝමානු පිළිවෙතේ ලක්ෂණ
අප රෝමානු පිළිවෙතට අනුව දිව්‍ය පූජාව සිදු කරන බැවින් මේ පිළිවෙතේ ලක්ෂණ හඳුනා ගැනීම වැදගත් වේ. මෙහි ප්‍රධාන වශයෙන් ලක්ෂණ හතරක් ඇත. මෙම පිළිවෙතේ දිව්‍ය පූජාව කෙටිය, ගාම්භීරය, සංයමයෙන් යුක්තය, බුද්ධිගෝචරය.
- මෙම පිළිවෙත සඳහා ගතවන කාලය ඉතා අවම වේ. මෙයට හේතුව නම් අනෙකුත් පිළිවෙත් මෙන් රෝම පිළිවෙතේදී යාච්ඤා මෙන්ම අනෙකුත් කොටස් නැවත නැවත උච්චාරණය වන්නේ නොමැති වීමයි. යාච්ඤා ඉතා සෘජුව සහ ඉතා කෙටියෙන් උච්චාරණය කරනු ලබයි.
- රෝම පිළිවෙතේ ඊළඟ ලක්ෂණය නම් මෙම පිළිවෙත ඉතා ගාම්භීර වීමයි. එනම් මෙහි පිළිවෙත් මනා සංවිධානයකින් සහ සුදානමකින් යුතුව සිදු කිරීමයි. එමන්ම මෙම පිළිවෙතේ දී වැඩි ගුණාත්මක භාවයකින් යුතු ඇඳුම් පැළඳුම්, භාණ්ඩ යනාදිය භාවිතා වේ.
- මීළඟ ලක්ෂණය නම් මෙම රෝම දිව්‍ය පූජා පිළිවෙත සංයමයෙන් යුක්ත වීමයි. එනම් කලබලයකින් තොර බවයි, සෑම දෙයක්ම දැඩි සංයමයකින් යුතුව සන්සුන් වාතාවරණයක් තුළ සිදු වීමයි. අංගචලන පවා සිදු වන්නේ දැඩි පාලනයකින් යුතුව ය. එම නිසා වෙනත් මෙහෙයන් සමඟ රෝම පිළිවෙත සංසන්දනය කරන විට දිව්‍ය පූජාවේ නිහඩ බව සහ සංයමය පැහැදිළිව කැපී පෙනේ. එම නිසා ඇතැම් මෙහෙයන්වල තිබෙන කලබලකාරී ස්වභාවය, ආවේගශීලිභාවය, භාවයන් ප්‍රකාශ කිරීමේ ක්‍රමය අපගේ දිව්‍ය පූජාවේ දක්නට ලැබෙන්නේ නැත.
- මීළඟ ලක්ෂණය නම් රෝමානු පිළිවෙතේ දිව්‍ය පුජාව බුද්ධිගෝචර වීමයි. එනම් පස් වැනි සහ හය වැනි ශත වර්ෂයේ සිට නිර්මාණය වන මෙම යාච්ඤා බොහොමයක්ම එල්ලවෙන්නේ බුද්ධියටයි. ඒ නිසා පූජාවට සහභාගීවීමට පෙර මේ දිව්‍ය පූජාව පිළිබඳව කිසියම් අධ්‍යයනයක් කිරීම ඉතා වැදගත් වේ.
අපගේ දිව්‍ය පූජාව නිරර්ථක, ප්‍රාණයක් රහිත පිළිවෙතක් නොවේ. එම පිළිවෙත තුළ ඉතා ගැඹුරු වන අතර දෙවියන් වහන්සේගේ ගැළවීමදායක මැදිහත්වීම් ආවර්ජනය කරයි. උදාහරණයක් ලෙස ජේසුස් වහන්සේගේ ගැළවීමදායක දුක්විඳීම, මරණය උත්ථානය සිහිපත් කිරීම ගත හැකි ය.
පියාණන් වහන්සේ මහිමයට පත් කරන්නට ජේසුස් වහන්සේ කළ ඒ මහා ගැළවීමේ ක්‍රියාවලිය, යාගික භෝජනය දිව්‍ය පූජාවේ දී සිහිපත් කරයි, සමරනු ලබයි. එමන්ම මෙම දිව්‍ය පූජාව සිදු කරන්නේ සාන්තුවරයින්ගේ සමෝස ධර්මලාභය, ශුද්ධාත්මික ක්‍රිස්තු දේහය වැනි ගැඹුරු දේවධාර්මික කාරණා සහ සංකල්ප රාශියක් සමඟ ය.
එම නිසා දිව්‍ය පූජාව කිසිඳු අර්ථයක් නැති අප්‍රාණික පිළිවෙතක් ලෙස අපට කිසිම අවස්තාවක සිතිය නොහැක. ඒ අනුව දිව්‍ය පූජාව යනු ගැඹුරු යථාර්ථයක් සහ දේව අභිරහස මිනිසුන් අතර මිනිසුන් හැටියට සිදුකිරීමක් බව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය.