මෙරට දිළිඳු ක්ලාරා තාපසිකාවෝ හා සා. ක්ලාරා දේවස්ථානය
ඉතාලියේ අසීසි නුවර වංශවත් පවුලක ඉපිද ඒ සියල්ල හැරපියා ගිහිගෙයට සමුදී රදල ඇගලුම් වෙනුවට දළ පිළියෙන් සැරසී අසීසියේ සා. ෆ්‍රැන්සිස් මුනි පෑ මග අනුව යමින් තපෝවෘද දිවිපෙවෙතක් ගෙවූ සාන්ත ක්ලාරා ( 1194 – 1253 ) මුනිවරියගේ මංගල්‍යය අගෝස්තු 11 දාට යෙදේ.
ඕ ඉතාලි බසින් කියාරා නම් විය. එහි අරුත ආලෝකයයි. ඕතොමෝ ඒ නමේ අර්ථයටම ඔබින සේ සාන්ත සභාව ආලෝකවත් කළ පහන් ටැඹක්ම වූවාය. සාන්ත ෆ්‍රැන්සිස් තුමන් අනුව යමින් එතුමාගේ මගපෙන්වීමෙන් පොහොණිව 1212 දී බවුන් වඩන පැවිදි දිවිපෙවෙතකට ( a second order) පදනම ලූ එතුමිය එලෙස ඇරඹූ තාපසිකා සංඝයේ මථාධිපතිනිය ( Abbess) ලෙස 1216 සිට මරණය දක්වා කටයුතු කළාය. එතුමියගේ මග ගත් වනිතාවන් හා එක්ව පිහිටවු දිළිඳු කාන්තාවෝ (Poor Ladies) කණ්ඩායම පසුව දිළිඳු ක්ලාරා තාපසිකාවෝ ලෙස හැදින්විණි.
එතුමියම ලියූ තපස් විනය මාලාව අනුසාර කරමින් අදත් විසිදහසක් පමණ තාපසිකාවෝ ලොව පුරා ආරාම වල ලොවට මුවාවී නිරන්තර යැදුමින් හා තම දෑතේ ශ්‍රමයෙන් සභාවේ ප්‍රගමනයට දායක වෙති. මේ නිකායේ අනු ශාඛා කීපයක් දැකිය හැක.
අතිඋතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ ඇරයුමින් හා අතිගරු දොන් පීටර් පියතුමාගේ මැදිහත්වීමෙන් එංගලන්තයේ යෝර්ක් හී දිළිඳු ක්ලාරා (කොලටින් ශාඛාවේ) තාපසිකාවෝ පිරිසක් 1953 දී කොළඹට සැපත්වූහ. ටික දිනක් කොළඹ නැවතී සිට අනතුරුව තේවත්තේ ඔවුන්ට පිරිනමන ලද නිවස්නයේ ලැගුම්ගත්හ.
1953 අගෝස්තු 12 දා කාදිනල් කුරේ හිමිපාණන් ඔවුන්ගේ ආරාමීය දිවියට ශාසනික ආරම්භය ලබා දුන්නේය. ඔවුන්ගේ මුල්කාලය ගෙවුණේ රජයෙන් ලද දුම්රිය මැදිරි දෙකකය. එදා පටන් මෙම තාපසිකාවෝ යාම යැදුම, වන්දනාව හා භාවනාව මගින් කිතුනුවන් හා එකාත්මික වෙති. තම දෑතින් පූප තතා දිවිපෙවෙත උපයා ගනිති. කායිකව ලොවින් වෙන්වී ආත්මිකව මුළු ලොව හා එක්වෙති.
මෙරටින් ගිය තාපසිකාවෝ ටැන්සානියාවේ හා ඔස්ට්‍රේලියාවේ ආරාම පිහිටවූහ. 1989 දී මෙරට දෙවන ආරාමය බදුලු පදවියේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ස්ථාපිත කෙරිණි.
සාන්ත ක්ලාරා තුමියට කැපකළ දේවස්ථාන දෙකක් දිවයිනේ ඉදිවී ඇත. එනම් වැලිගම්පිටිය මීසමේ තුම්පෑලිය ප්‍රදේශයේ මෑත කාලීනව ඉදිවූ දේවස්ථානය හා බදුලු පදවියේ නායබැද්ද මීසමේ පිහිටි ලියනගේවෙල දේවස්ථානයයි. එම දේවස්ථානයේ එතුමියගේ ශුද්ධවු ධාතුවක්ද තැන්පත් කොට ඇත.

