ශුද්ධ සභා මාතාව දේව වන්දනා වසරේ සැමරුම් අතර පෙබරවාරි මස 22 දින ශු. පේදුරු අපොස්තුළුතුමන්ගේ ශුද්ධාසනයේ මංගල්‍යය සමරන්නීය. මේ මංගල්‍යය එක්තරා අන්දමකින් සලකන කළ සංකේතාත්මක සැමරුමක් ලෙස ද නම් කළ හැකිය. ලතින් බසින් Cathedra Petri ලෙස හැඳින්වෙන මෙම මංගලෝත්සවය තුළින් රෝමයේ ශුද්ධ පේදුරු තුමන්ගේ නිල අසුන සංකේතවත් කරනු ලබයි.
ශු. පේදුරු අපෝස්තුළුතුමා
ජේසු සමිඳුන් ගේ අග්‍ර ශ්රාවකයා වූ ද , මුල් කිතුනු සභාවේ නායකයා වූ ද , ශු. පේදුරු අපොස්තුළු තුමා වෘත්තියෙන් ගලීලයේ විසූ ධීවරයෙකි. මෙතුමා ගේ මුල් නාමය වූයේ ” සීමොන්” ය. සීමොන් පේදුරු ලෙසින්ද හැදින්වුණු මෙතුමා ගලීලය හෙවත් ගෝලාන්ටිස් පළාතේ බෙත්සයිදා ගමෙහි ජීවත්වූ ජෝනාගේ පුත්‍රයාය.
එතුමන්ගේ සොයුරු ඇන්ඩෲතුමා ද ජේසු සමිඳුන් ගේ අපෝස්තුළුවරයකු විය. තම විවාහයෙන් පසු මෙතුමා පදිංචිව සිටියේ තම සොහොයුරු ඇන්ඩෲ සමග කපර්නාවුම් හීය. ජේසු සමිදාණෝ මෙතුමන් ව කැඳවනු ලැබුවේ ද මෙහිදීය. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය තුළ ප්‍රධාන භූමිකාවක් මෙතුමා තුළින් විද්‍යාමාන වන්නේ ය.
මේ නිසාම තමන් වහන්සේ අනාවරණය කිරීමේ මහා ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ වරමද , ආත්මයාණන් වහන්සේගේ මග පෙන්වීම තුළ මෙතුමා ලැබුවේය. එනම් ජේසුස් වහන්සේ පිලිප්පි කයිසාරියේ පෙදෙස් වලට පැමිණි කළ “තමන් කවරෙක් දැ? ” යි කියා මිනිස්සූ කියත් දැ”යි ඔව්හු කතා කොට, ”සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ.
”එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. සීමොන් පේදුරු උත්තර දෙමින්, ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය. ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.
මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක. ( මතෙව් 16/ 13 – 19, මාක් 8/27-30, ලූක් 9/18-21)
සැබැවින්ම එසේ ම විය. තම බැටළු රැළ වන ශුද්ධවූ සභාව ගොඩනැංවීමේ ප්‍රබල දායකත්වය හා දායකත්වය මෙතුමන් වෙත පවරා දෙනු ලැබීය. ජේසු සමිඳුන් ගේ ප්‍රසිද්ධ දිවියේ විවිධ වූ , ප්රාතිහාර්යයන් , දේශනා සහ විවිධ අත්දැකීම් වලට කේන්ද්‍රගතව දායක වූ මෙතුමෝ තාබෝර් කන්දේ උන්වහන්සේගේ අන්යරූපවිලාශයේ අත්දැකීම තුළ වූ දේවත්වයේ උත්තරීතරභාවය සියැසින් දැක මනුෂ්‍ය ප්‍රතිචාරය තම මුවින් පැවසීය.
එනම් ”ස්වාමීනි, අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි; ඔබ කැමැති සේක් නම්, මණ්ඩප තුනක්, එකක් ඔබට ද එකක් මෝසෙස් ට ද එකක් එලියාට ද සාදන්නෙමි”යි කී ය. එතුමෝ මෙලෙස කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි. ( මතෙව් 17/ 1- 13)
ඇතැම් අවස්ථාවලදී මිනිස් දුර්වලකම හමුවේ ඇද වැටුනද , කරුණාබර දෙවි පියාණන්ගේ සුරැකි දෑත් වලට නතු විය. විශේෂයෙන් ජෙත්සමෙනි මල් උයනේ යාච්ඤාව පසු ජේසු සමිඳුන් ව ජුදෙව්වන් විසින් අත්අඩංගුවට පත්වීමෙන් පසු මිනිස් දුර්වලතා හමුවේ මෙතුමා උන්වහන්සේ නොහඳුනන බව ප්‍රකාශ කළද , උන් වහන්සේගේ උත්ථානයෙන් පසුව උන්වහන්සේගේ දූතික මෙහෙවරට ශ්‍රාවක සංඝ ශක්තිමත් කරමින් ඔවුනට නායකත්වය දෙමින් මෙතුමන් ක්‍රියා කළ මෙහෙවර අනූපමේය වේ.
එතුමාගේ මුළු දිවිය ම වත්මන් අප හට කදිම අභියෝගයක් හා ආදර්ශයක් වන්නේය. මිනිස් දුර්වලතා හමුවේ ඇද වැටුනද , දෙවිපියාණන් හමුවේ සම්පූර්ණ සමාවක් තමන්ට ලැබෙන බව මෙතුමා සැමවිටම විශ්වාස කළේය. ජේසු සමිඳුන්ගේ උත්ථානයේ සාක්ෂිකරුවකු වූ මෙතුමා ශු. සභාවේ නායකයා වශයෙන් පත් කිරීම ස්ථීර කරන ලද්දේ උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින්ම ය.
ඒ තිබේරියස් නම් මුහුද අසල ශ්‍රාවකයන් ට දර්ශනය වූ අවස්ථාවේදීය. ඒ පිළිබඳව දේව වචනයේ මෙසේ සඳහන් වේ. ” ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඇසූ සේක. ඔහු, ”එසේ ය ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ, ”මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නැ”යි ඔහුට වදාළ සේක. නැවත දෙ වන වරටත්, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු, ”එසේ ය, ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය.
උන් වහන්සේ ද, ”මාගේ බැටළුවන්ගේ එඬේරා වන්නැ”යි වදාළ සේක. උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: ”ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. ”මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක ” ( ජොහාන් 20/ 15 – 17)
මෙසේ සභාවේ නායකත්වය ස්වාමීන් වහන්සේ විසින් ම මෙතුමන් ට පවරා දෙනු ලැබූ අතර , උන්වහන්සේගේ ස්වර්ගාරෝහණ යෙන් පසු දේව මාතාවන් සහ ශ්‍රාවකයන් සමග සේනාකුළු භෝජන ශාලාවේ වෙසෙමින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආගමනය තෙක් අඛණ්ඩ යැදුමෙන් සාංඝික වූ බව සඳහන් වේ.
පෙන්තකොස්ත දින දී ශුද්ධාත්මයාණන් වැඩම කළ පසු ඔව්හු සියල්ලෝම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත් බව ක්‍රියා පොතේ සඳහන් වේ. එදින ජෙරුසලමේ සිටි විශාල ජනකාය අමතා ප්‍රථම ප්‍රසිද්ධ දේශනය සිදුකළේ ද පේදුරු තුමා විසිනි.
ජෙරුසලමේ දී කළ එම දේශනාවේ ප්‍රතිඵල වශයෙන් ජුදෙව්වන් සහ අවිශ්වාස ක්යින් බොහෝ දෙනෙක් කිතුනු විශ්වාසය වැළඳ ගත්තෝය. ශුද්ධාත්ම ආගමනයෙන් පසුව ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය දේශනා කරමින් සභාවට කදිම නායකත්වය දුන් මෙතුමන්ගේ මෙහෙවර අනුපමේය වන්නේය.
ක්‍රි.ව. 43 හෙරෝද් අග්‍රිපා රජු විසින් සභාවට පීඩන එල්ල කළ අවස්ථාවේදී පේදුරු තුමා ජෙරුසලම හැරදමා අන්තියෝකියට ගියේය. එහිදී එතුමාව සිරභාරයට ගත් පසු දේවදූතයකු විසින් පුදුම ලෙස එතුමා නිදහස් කර හරින ලදී. (ක්‍රියා 12/6-11) නව ගිවිසුම යන පොදු ලිපි දෙකක් මෙතුමා විසින් රචිත හෝ මෙතුමා ගේ ඉගැන්වීම් අනුසාරයෙන් සකස් කළ බවට පිළිගැනේ.
විශේෂයෙන් විශ්වාසය , බලාපොරොත්තුව පෙරටුකරගත් කිතුනු පැවැත්ම මැනවින් පෙන්වා දී ඇත . ඉන්පසු එතුමා අධිරාජ්‍යයේ අගනුවර වන රෝමයට ගියේය. එතැන් පටන් රෝමයේ සභාවේ මධ්‍යස්ථානය විය. ප්‍රථම රදගුරුතුමන් සහ පළමු ශුද්ධෝත්තම පියතුමා ලෙස සැලකෙන මෙතුමා ක්‍රි.ව. 68 දී නීරෝ අධිරාජයා විසින් මරණයට පත් කරන ලදී.
නීරෝ රජු ඔහුගේ රජ මාළිගයෙහි පිහිටා තිබූ උද්‍යානයෙහි පේදුරු තුමා කුරුසියේ මරණයට තීන්දු කළේය. එතුමා මරණයට පත් කරනු ලැබුවේ , හිස පහත ටත් දෙපා ඉහළටත් සිටින සේ කුරුසේ ඇණ ගැසීමෙනි. ක්‍රි.ව. 68 දී මෙතුමා ගේ මරණය සිදුවී ඇතැයි ගණන් ගැනේ.
ශු. පේදුරු තුමාගේ මෘත ශරීරය වතිකාන බැසිලිකාවේ මහා අල්තාරය යට තැන්පත් කර ඇතැයි විශ්වාස කෙරෙන අතර ප්‍රථම ශුද්ධෝත්තම පියතුමා පේදුරු තුමා ය. සෙසු පාප්වරු එතුමන්ගේ අනුප්‍රාප්තිකයෝ වෙති.
ශු. පේදුරු තුමාගේ ශුද්ධාසනය හෙවත් නිල අසුන
ආසන දෙව්මැදුර යනු රදගුරුතුමන්ගේ නිල දෙව්මැදුර වේ. එය පදවියේ හදවත මෙන්ම කේන්ද්‍රස්ථානය යැයි නම් කළ හොත් නිවැරදි වේ. cathedra ලතින් වචනයේ අර්ථය ‘