ශුද්ධ වූ ලෝරන්ස් මුනිඳුන්
මෙතුමන් උපත ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 225 දෙසැම්බර් 31 වන දින ස්පාඤ්ඤයේ වලෙන්සියා නගරයේදී ය. දෙවන සිස්ටස් පාප් තුමන් විසින් රෝම නගරයේ පත්කරන ලද තේවාචාරවරුන් සත් දෙනාගෙන් එක් කෙනෙකි.
තරුණ වියේ පසු වූ එතුමන් හට සේවය කිරීමට ලැබුණේ ආසන දෙව්මැදුරේ බැවින් රෝමයේ අග්‍ර තේවාචාරවරයා ලෙස හඳුන්වනු ලබන ලදී. එවකට සභාව සතු ධනය සහ වත්කම් පිළිබඳ වගකීම භාරදීමට පවා එතුමන් මහත්වූ විශ්වාසයක් දිනාගත්තේය.
ක්‍රිස්තු වර්ෂ 258 අගෝස්තු මස ආරම්භයේ දී වලේරියන් අධිරාජ්‍යවාදීයා විසින් සියලු රදගුරුතුමන්ලා ද පූජකවරුන් සහ තේවාචාරවරුන් මරා දැමීමට නියෝග කළේය. මෙම අර්බුදයන් ඉදිරියේ මෙතුමන් තමන් භාරයේ තිබූ සභාවේ වත්කම් දිළිදු අතර බෙදා දීමට කටයුතු කළේය.
එම නිසා රත් වූ ගල් අඟුරු තැටියක් යටින් එතුමන්ව තබා පිලිස්සීමට ලක් කරන ලදී. අවසන් හුස්ම හෙලීමට පෙර එතුමන් සතුටු සිතින් ප්‍රකාශ කළේ , “මේ පැත්ත හොදින් පිළිස්සී හමාරය, දැන් අනිත් පැත්ත හරවන්න” යනුවෙනි. ක්‍රිස්තු වර්ෂ 258 අගොස්තු 10 දින එතුමන් සගලොව දිනාගන්නා ලදී.
එතුමන් රෝමයේ ද, අප රටේ කොළඹ නගරයේ ද, විකට ශිල්පීන්ගේ ද, සූපවේදීන්ගේ ද, ලේඛනාධිකාරීවරුන්ගේ සහ පුස්තකාලාධිපතිවරුගේ නාම සාන්තුවරයා ලෙස හඳුන්වනු ලැබේ.
සාන්ත ලෝරන්ස් මුනි මංගල්‍යය හා පුදබිම්
ක්‍රි.ව.258 අගෝස්තු 07 දා වැලේරියානු අධිරාජ්‍යයාගේ අණින් සාන්ත සික්ස්ටස් පාප්තුමන් මරා දැමිණි. සභාව සතු ධනය ඉදිරිපත් කරනට පාප්තුමන්ගේ ප්‍රධාන තේවාචාර්ය තුමාට තෙදිනක් කල් ලැබුණි. අගෝස්තු 10 දා උදාවුණි. තේවාචාර්ය තුමා සභාව සතු ධනය රැස් කොට තිබුණත් ඒ දැක අධිරාජ්‍යයා කිපිණි. ඒ වස්තු සම්භාරය ලෙස දිළිඳු , අසරණ , ආබාධිත අය ඉදිරිපත් කර තිබීම නිසාය. මේ අභිත පියවර ගත් තේවාචාර්ය තුමා වූයේ ලෝරන්ස් ය.
මේනිසා ලෝරන්ස් තුමන්ට හිමිවූ දඩුවම ඉතා ඛේදජනකය. යකඩ මැස්සකට යදම් වලින් බැද යටින් ගින්දර දමා පුළුස්සා එතුමන් මරා දැමිණි. එලෙස එතුමන් 258 අගෝස්තු 10 දා ප්‍රාණ පරිත්‍යාගී වූයෙන් එදින සාන්ත ලෝරන්ස් හෙවත් ලෞරෙන්ති තුමාගේ මංගල්‍යය සමරනු ලැබේ.
1505 මෙරටට ආ පෘතුගීසින් මෙරට ප්‍රථම කතෝලික දේවස්ථානය කැපකර තිබුණේද එතුමාගේ නමටය. ඊට හේතු වූයේ එතුමා එම කණ්ඩායමේ කපිතාන් වරයා වූ ලොරෙන්සෝ ද අල්මේදාගේ නාම සාන්තුවරයා වීමයි. මේ දේවස්ථානය කොළඹ වරාය ආශ්‍රිතව පිහිටා තිබූ බව කියැවේ. තවද මේ හේතුවෙන් එතුමා කොළඹ නගරයේ ආරක්ෂක මුනිවරයා ලෙස බුහුමනට පාත්‍ර වේ.
එතුමාගේ නමින් ප්‍රධාන දේවස්ථාන 9 ක් රෝමයේ පිහිටි අතර ඉන් ප්‍රාකාරයෙන් පිටත බැසිලිකාව සුවිශේෂී වන්නේ එතුමාගේ දේහය එහි තැන්පත් කරැති නිසාය. ඊට අමතරව ලුසීනාහී බැසිලිකාව තුළ එතුමන් පිළිස්සීමට යොදාගත් යකඩ ඇද හා යදම් තැන්පත් කොටැත. මේ දේවස්ථානය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නාමධාරී දේවස්ථානයයි. (Titular Church )
මෙරට එතුමාගේ නමට කැපකළ දේවස්ථාන කීපයකි.
1) වැල්ලවත්ත
කොළඹ 06 ප්‍රදේශයේ වැල්ලවත්ත මීසමක් ලෙස 1938 දී ස්ථාපිත කෙරුණු අතර පැරණි දේවස්ථානය වෙනුවට ගාලු පාර අසල වත්මන් දේවස්ථානය පිහිටි බිම්කඩේ ඉදිකෙරුණු අලංකාර සුවිසල් ෂඩාස්‍ර හැඩැති දේවස්ථානය 1968 දී කැපකෙරිණි. දශක තුනක් පුරාවට එහි මීසම් සේවකවූ ගරු රොබට් ප්‍රනාන්දු පියතුමා මෙහි නිර්මාපකයාය.
2) පඩිනාවල (බොරගස් ) දේවස්ථානය
බදුලු රදගුරු වසමේ පිහිටි මේ දේවස්ථානයේ ඉතිහාසය 1850 තරම් ඈත අතීතයකට හිමිකම් කියන අතර පඩිනාවල 1975 දී නව මීසමක් බවට පත්වූ අතර අද තිබෙන්නේ 2003 දී ඉදිවූ නව දේවස්ථානයයි.
3) තලෙයිමන්නාරම දේවස්ථානය
මන්නාරම රදගුරු වසමේ තලෙයිමන්නාරම ප්‍රදේශයේ දේවස්ථාන කීපයක් තිබෙන අතර ඉන් එකක් කැප කොට ඇත්තේ සාන්ත ලෝරන්ස් තුමාටය.
4) ඩෙල්ෆ්ට් දූපතේද තවත් දේවස්ථානයක් පිහිටා ඇත.