අති උතුම් හෙන්රි ජොයි ගුණවර්ධන (නි.ම.නි.) රදගුරු හිමිපාණන්
මෙම ලිපිය තුළින් අති උතුම් හෙන්රි ජොයි ගුණවර්ධන (නි.ම.නි.) රදගුරු හිමිපාණන් පිළිබඳව විස්තරය අපි ඔබ වෙත ගෙන එමු.
රජරට මහා ධර්මදූතයාණෝ ලෙස විරුදාවලිය ලත් අනුරාධපුර රදගුරු වසමේ පළමු රදගුරු හිමිපාණන් වහන්සේ ලෙස සුවිශේෂී දූතමෙහෙවරක නියැලුණු අතිඋතුම් හෙන්රි ජොයි ගුණවර්ධන (නිමනි) හිමිපාණන්ගේ නාමය සදානුස්මරණීය වේ.
කොළඹ ඉපිද එහිම සේවය කරමින් සිටි එතුමා ස්වකැමැත්තෙන්ම වන්නිහත්පත්තුවේ සේවයට ඉදිරිපත් වූ අතර ඉන් නොනැවතී නුවර කලාවියෙ හා තමන්කඩුවෙ අතිදුෂ්කර පෙදෙස් වල ධර්මදූතික ජ්වලිත බවින් දිළිඳු ගොවි දනන් අතර සැබෑ එඩේරෙකු ලෙස වැයවෙමින් කැපවෙමින් උත්තරීතර මෙහෙයක යෙදීණි.
එතුමා අනුරාධපුර සසුන්පදයේ පළමු අනුනායක ලෙසත් අනතුරුව එහි පළමු රදගුරුතුමා ලෙසත් යුගමෙහෙවරක යෙදී සගසැපත් වූයේය. 1925 ජූලි 15 දා දෙහිවල උපන් හෙන්රි ස්වීතින් තෝමස් ඇලෙක්සැන්ඩර් විජේතුංග ගුණවර්ධන බොහෝ දෙනා අතර හැදින්වුණේ ජෝයි ගුණවර්ධන නමිනි.
කොළඹ සා.පීතර විදුහලේ සිප්සතර හැදෑරූ එතුමා නිමල මරිය නිකායේ පැවිදිවරය ලබා 1951 දී පූජකවරය ලබාගත්තේය. එතුමාගේ මුල්කාලීන සේවය දියත්වූයේ නුගේගොඩ නිමනි දෙව්සත්හල, බොරැල්ල හා රාජගිරිය දේවස්ථාන, මග්ගොන නිවාසයේය. හලාවත රදගුරුතුමන් කළ ඉල්ලීම මත එම පදවියේ සේවයට ඉදිරිපත් වූ මෙතුමා විවිධාකාර කම්කටොලු මැද නිකවැරටිය හා ආනමඩුව මීසම් වල සේවය කළේය.
තවදුරටත් තම ධර්මදූතික මෙහෙවරට උරදෙමින් 1974 දී අනුරාධපුර මීසම් සේවක ලෙස සේවය ආරම්භ කළේය.ඒ සමගම උතුරු මැද පළාතේ ධර්මදූත අනුනායක ලෙසද පත්කරනු ලැබූ උන්වහන්සේ 1975 දී අනුරාධපුර සසුන් පදයේ නායකත්වයට (The Prefect Apostolic) ඔසවනු ලැබිණි.
1982 දී අනුරාධපුර රදගුරු පදවිය බිහිවූ අතර මෙතුමන් එහි පළමු රදගුරු ලෙස පත්වූඅතර 1982 ජූලි 10දා අනුරාධපුර දෙව්මැදුරු භූමියේදී එතුමාගේ රදගුරු අබිසෙස පැවත්වුණි.
රදගුරු වරය ලැබූවද ජෝයි සුවාමි ජෝයි සුවාමිම විය. තම සරල ඇවතුම් පැවතුම්, දිළිඳු දනාට පෑ සෙනෙහස කිසිසේත් හීන නොවිය. එතුමා මෑත කාලයේ ජුසේ වාස් පියෙක් වූ බව කීම යුක්ති සහගතය. අනුරාධපුර පොළොන්නරුව දෙපළාතේ ජීවිතය අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත. සියලු දෙනා ඒ බව මැනවින් දනිති. විවිධ උවදුරු, කම්කටොලු, අගහිඟකම්, බාධා අභියෝග මැද එතුමා පදවිය ගොඩනැංවූයේය.
දේවජනතාව සොයා කැලෑ ගම්මාන වෙත පියනැගුවේය. නියමිත වයසට මත්තෙන් විශ්‍රාම යන්නට තරම් කායිකව දුර්වල විය. 2000 අප්‍රේල් 17 දා එතුමා සගසැපත් වූයේ අමරණීය යුගමෙහෙවරක් නිමාකරමිණි. එතුමාගේ දේහය ආසන දෙව්මැදුර තුළ තැන්පත් කර ඇත. (ලිපි ඇසුරිනි)