ශුද්ධ වූ සභාව ආරම්භ වූ ආකාරයත්, ජේසුස් වහන්සේ තම ගෝලයන්ට ධර්මදූත මෙහෙවර පැවරූ ආකාරයත් පිළිබඳ විස්තර “ශුද්ධ වූ සභාවේ ආරම්භය” බ්ලොග් සටහනින් ඉදිරිපත් කළෙමු. ඉන්පසු එළඹියේ සභාවේ අපෝස්තලික යුගයයි.
අපෝස්තුළුවරුන් සමඟ ඇරඹුණු සභාව එක් රටකට, ජාතියකට, භාෂාවකට සංස්කෘතියකට සීමා නොවී ලොව පුරා පැතිරී ගියේ ය. එය අදාළ පරිසරයට අනුකූලව හැඩ ගැසී ගොඩනැගුණි.
ශුද්ධ වූ සභා ඉතිහාසය අධ්‍යයනයේ දී,
- අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොත
- පාවුළු තුමන්ගේ හසුන්
- එඬේරික හසුන්
- එළිදරව් ග්‍රන්ථය
- රෝමයේ රදගුරු ක්ලේමෙන්ට් තුමා කොරින්ති සංඝයට ලියූ ලිපි
- අන්තියෝකියේ රදගුරු ඉග්නාසියුස් මුනිඳුන්ගේ ලිපි
- ඩිඩාකේ – අපෝස්තුළුවරුන්ගේ ඉගැන්වීම් ඇතුළත් පොත
- ක්ෂමනවාදීන්ගේ ග්රන්ථ
- යන ලියකියවිලි තුළ බොහෝ කරුණු සොයා ගත හැකි ය.
අපෝස්තලික යුගය
අපෝස්තුළුවරු දොළොස් දෙනාගේ දූත කාර්යය සිදු වූ කාලය ක්‍රිස්තුස් වහන්සේගෙන් පසුව සිට ක්‍රිස්තු වර්ෂ 100 පමණ වන කාලය දක්වා වේ.
අපෝස්තුළුවරු දොළොස් දෙනා දූත කාර්යය සිදු කල ප්‍රදේශ මෙසේ ය
- පේදුරු – ජෙරුසෙලම / අන්තියෝකිය / රෝමය
- ජුවාම් – සමාරිය / පලස්තීනය / එපීසිය / රෝමය
- ඇන්ඩෘ – ග්‍රීසිය හා අවට ප්‍රදේශය
- තෝමස් – පාර්තියාවෙන් එපිට ආසියාව සහ ඉන්දියාව
- මතෙව් – ජුදයාව / ඉතියෝපියාව / පර්සියාව / පාර්තියාව
- ජූද් – අරාබි රටවල
- සෙබදීගේ පුත් ජාකොබ් – ජුදයාව / සමාරිය / ස්පාඤ්ඤය
- අල්පෙවුස්ගේ පුත් ජාකොබ් – සිරියාව, ඊජිප්තුව
- පිලිප් – සුළු ආසියාව (තුර්කිය)
- බර්තොලමෙව් – අරාබිය / සුළු ආසියාව / ආර්මේනියාව
- මතියස් – පලස්තීනය / ඉතියෝපියාව
- සීමොන් – ඊජිප්තුව / පාර්තියාව
අපෝස්තුළුවරුන්ගේ සේවාව සඳහා තිබූ දේශපාලන සහ සමාජීය පසුබිම
- රෝම අධිරාජ්‍යය තුල ස්ථාවර පාලනයක් විය, නීතිය ක්‍රියාත්මක විය, සාමය ආරක්ෂා විය
- ප්‍රවාහන පහසුකම් නිසා ගමනාගමනය පහසු විය
- ග්‍රීක භාෂාව සහ සංස්කෘතිය ව්‍යාප්ත ව පැවතුණු නිසා භාෂාව ගැටළුවක් නොවීය
- උසස් අධ්‍යාපන පීඨ පහසුකම් පැවතුනි (ඇතැන්ස්, රෝමය සහ ඇලෙක්සැන්ඩ්‍රියාව)
- ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්රටීස් වැනි දාර්ශනිකයන් ජීවත් වූ උසස් අදහස් සහිත සමාජයක් තිබුණි
- ව්‍යාපාර කටයුතු සඳහා ජුදා ජනතාව රෝමය පුරා විසිරී සිටි අතර ඔවුන් වන්දනාව සඳහා සිනගෝග ගොඩනගා ගත්හ.
- ජනතාව ගැළවුම් කරු පිළිබඳ ශු. ලියවිලි මෙනෙහි කිරීම කළේ ය. මෙසියස් වහන්සේ ගැන දැන සිටියේ ය.
- රෝමය පුරා තිබුණු දූෂිත ඇදහිල්ල නිසා ජනතාව තුල කලකිරීමක් ඇතිවී තිබුණි.
- ජනතාවට නව දැක්මක අවශ්‍යතාවය මතු වී තිබුණි.
අපෝස්තුළුවරුන්ගේ සේවාව සඳහා තිබූ ජුදෙව් පසුබිම
- ගව ලෙනක ඉපදුණු වඩුවෙකුගේ පුතෙක් මෙසියස් වහන්සේ ලෙස ජුදෙව් ජනතාව පිළිනොගත්තේය.
- ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් සහ ක්‍රියා ජුදා බලාපොරොත්තු වලට පටහැණි නිසා ජුදෙව් ජනයාගෙන් අපෝස්තුළුවරුන්ව ප්‍රතික්ෂේප විය.
- කුරුසිය දෙවියන් වහන්සේගේ ශාපයේ සලකුණක් වීම නිසා ජේසුස් වහන්සේ ගැලවුම්කරු ලෙස ජනතාව පිළි ගැනීමට මැලි විය.
- ජේසුස් වහන්සේගේ මරණය පිළිබඳ ව දොස් පැවරුවේ ජුදෙව්වන්ට ය. ජුදෙව්වරු පෙර සිටි දිවැසිවරුන්වත් මරා දමා දැම්මේ එම ඉගැන්වීම් සහ ක්‍රියා ජුදා බලාපොරොත්තු වලට පටහැණි නිසා ය. එවන් ජනතාවක් ශුද්ධාත්මයාණන්ට ද සවන් දුන්නේ නැත. එය අපෝස්තුළුවරුන්ට මහත් ගැටළුවක් විය.
- රෝමවරුන් දේව මාලිගාව බිඳ දැමීමට හේතුව ක්‍රිස්තියානීන් බව ජුදෙව්වරුන්ගේ මතය විය. එම නිසා ඔවුන් අපෝස්තුළුවරුන් ද ක්‍රිස්තියානීන් ද පිළිකුල් කළහ.
- අපෝස්තුළුවරු ජුදා සිරිත් විරිත් වලට සහ මෝසෙස්ගේ ව්‍යවස්ථාවට ප්‍රමුකත්වය නොදුන්නො ය. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ පණත මුල් කර ගෙන කටයුතු කිරීම නිසා ජුදෙව්වරු සහ ජනතාව ඔවුන් ව පිළිගත්තේ නැත.
- ජුදා නායකයන් තමන්ට හිමි තැන නැති වේ යැයි බිය වීම නිසා අපෝස්තුළුවරු සහ ක්‍රිස්තියානීන් මර්ධනය කිරීමට ගත්හ.
අපෝස්තුළුවරුන්ගේ සේවාව සඳහා තිබූ බාධා
- ජුදා නායකයින්ගෙන් ඇතිවූ බාධා
අපෝස්තුළුවරුන්ට තහංචි නියෝග පනවා සැන්හෙන්ඩ්රියන් සභාව ඉදිරියට ඔවුන් පමුණුවා කස පහර දීම, දේව මාලිගාව තහනම් කිරීම, ජුදා සමාජයෙන් ඉවත් කිරීම වැනි දඬුවම් පමුණුවිම.
- පාලකයින්ගෙන් ඇතිවූ බාධා
ක්‍රිස්තියානීන් විප්ලවකාරී පිරිසක් ලෙස සලකා පීඩා කිරීම.
- රෝම අධිරාජ්‍යයෙන් ඇතිවූ බාධා
මර්ධන නීති පනවා ක්‍රිස්තියානීන්ට පීඩා කර ක්‍රිස්තියානි ධර්මය තහනම් කිරීම. ක්‍රිස්තියානීන් දේශද්‍රෝහීන් සහ රාජ්‍ය විරෝධීන් ලෙස සැලකීම.
- නොස්ටික්වාදීන්ගෙන් ඇතිවූ බාධා
ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ ප්‍රකාශ නොවේ යන නොස්ටික්වාදීන්ගේ මතය.
ක්‍රිස්තියානි පීඩාවන් සඳහා හේතු
- ක්‍රිස්තියානීන් රෝම දෙවි දේවතාවන් ඇදහීම ප්‍රතික්ෂේප කිරීම සහ රෝම අධිරාජ්‍යයේ දේවත්වය ප්‍රතික්ෂේප කර රෝම අධිරාජ්‍යයට වන්දනා නොකිරීම
- රෝම අධිරාජ්‍යයාට වන්දනා නොකිරීම නිසා අධිරාජ්‍ය විරෝධී කුමන්ත්රණකරුවන් ලෙස ක්‍රිස්තියානීන් සැලකීම
- ක්‍රිස්තියානීන් රෝම හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කිරීම
- ජනතාව, ක්‍රිස්තියානි කරුවන් සමාජ විරෝධී අපරාධ වල යෙදෙන බව ප්‍රචාරය කිරීම
- කිතුනුවන් රෝම දෙවිවරුන් පිලි නොගැනීමෙන් ඇතිවූ දේව කෝපය නිසා ගංවතුර, භූ චලන හා වසංගත ඇති වූ බව සැලකීම
- කිතුණු ඇදහිල්ල සහ පැවැත්ම වරදවා තේරුම් ගැනීම
තම අධිරාජ්‍යයට අභියෝගයක් වන සියල්ල විනාශ කර දැමීම රෝම අධිරාජ්‍යයේ ස්ථාවරය විය. කිතුනු ස්ථාවරය වූයේ කිතු දහමේ ප්‍රතිපත්ති අනුව ජීවත් වීමත්, ඊට එරෙහි ඕනෑම අභියෝගයකට මුහුණ දීමත් ය.
එම නිසා රෝම ආණ්ඩුකාරවරුන් නිරන්තරයෙන් ක්‍රිස්තියානීන් සහ අපෝස්තුළුවරුන් මරධනය කළේ ය. ඔවුන් ව සිරගත කර වද හිංසා පමුණුවා මරා දමන ලදි. එසේම ජුදා නායකයින් සහ පූජකවරුන් ද ක්‍රිස්තියානීන් සහ අපෝස්තුළුවරුන් කරදරකාරී පිරිසක් ලෙස සලකා දැඩි ලෙස ඔවුන් ව මර්ධනය කළේ ය.
මේ නිසා අපෝස්තුළුවරුන්ට තම ධර්ම ප්‍රචාරණය පහසු නොවී ය. බොහෝ දෙනෙක් ප්‍රාණ පරිත්‍යාගීවරුන් බවට පත් විය. ක්‍රිස්තියානීන්ට ප්‍රසිද්ධියේ ජීවත් විය නොහැකි විය. ඔවුන් තැන් තැන් වල සැඟවී ජීවත් වූයේ තමන් මැරීමට සොයන රෝම වරුන්ගෙන් තම ජීවිතය බේරා ගැනීමට ය.