shuddathmayanangen piripun wu mariyawan

‘ශුද්ධාත්මයාණන්ගෙන් පිරිපුන් වූ දේවමාතාව’ ලෙස මරියාවන් ට කැප වූ දේවස්ථාන කිසිම රටක ගොඩනැගී නැත. එනමුදු මෙම නාමය ඔස්සේ බැඳුණු බොහෝ චිත්‍ර හා නිර්මාණ රාශියක් ඇති බව දනිමි. එබැවින් මරියතුමිය තුළ තිබූ ශුද්ධාත්ම ක්‍රියාකාරිත්වය පිළිබඳව කතා කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස මම දකිමි.

ශු. ලූක් 1: 25 – 38 තුළ සඳහන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ මාංශගත වීමේ සිද්ධිය තුළ පැහැදිළි වන කරුණු කිහිපයක්ම ඇත. ගැලවුම්කාරයාණන්ගේ මව වීමට දෙවියන් වහන්සේ තෝරා ගත්තේ නාසරෙත්හි දිවිගෙවූ, සරල සාමාන්‍ය දියණියකි. ඇයගේ කුස තුළ බිහි වූයේ ශුද්ධවූ ත්‍රිත්වයේ දෙවන තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය.

ඇය ජුසේ නැමැති තරුණයා සමග විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටි මොහොතක ඇයගේ කුසෙහි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කලලය බිහිවූයේ ශුද්ධාත්ම ආලේපනය තුළය. “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක. පරමෝත්තමයාණන්ගේ ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය.

එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක” (ශු. ලූක් 1/ 35). එලෙසම ශුද්ධවු ජුසේ මුනිතුමා ජේසුස් වහන්සේගේ පිළිසිදීම පිළිබඳව දැනගන්නා ලද්දේ “දාවිත්ගේ පුත් ජෝශප් ඔබේ බිරිඳ වන මරිය පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි.”(ශු. මතෙව් 1:18 – 20) යන වදන් තුළ ය.

එබැවින් මෙම මාංශ ගත වීමේ සිද්ධිය තුල ශුද්ධවූ ත්‍රිත්වයීක ක්‍රියාකාරීත්වය අපි දකින්නෙමු. විශේෂයෙන්ම ශුද්ධාත්මයාණන් වහන්සේ මරියාවන්ගේ ජීවිතය වසා ගත් අයුරු ශුද්ධ ලියවිල්ල තුළ ඉතාමත්ම පැහැදිලිය.
එසේම මරියාවන්ගේ ජීවිතයේ ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය දකින අනෙක් සිද්ධිය නම් පෙන්තකොස්ත සිද්ධියයි.

කුරුසිය පාමුල ශුද්ධවූ ජුවාම් ගෝලයාට ජේසුස් වහන්සේ විසින් දේව මාතාවන් භාර දීමත් සමඟම ශ්‍රාවක සංඝය ඔවුන්ගේ ජීවිතවලට ‘ඒ මොහොතේම’ ඇය පිළිගත් බව පැහැදිලිය (ශු. ජුවාම් 19: 25- 27). බියෙන් සැකෙන් සිටි එම ශ්‍රාවක සංඝය ට ශක්තිය දුන් ‘අම්මා’ මරියාවන් විය. සේනාකුළු ශාලාවේ ශ්‍රාවක සංඝය සමග ඇය යාඥාවේ නිරතව සිටින අයුරු අපි දකින්නෙමු (ක්‍රියා 1: 12 – 14). ජුදා පාස්කුවෙන් දින පනහකට පසුව එන දිනය පෙන්තකොස්ත දිනය වූ අතර එය යුදෙව්වන්ගේ පළමු අස්වැන්න නෙළීමෙ මංගල්‍යය සමරන දිනය විය (නික්මයාම 23 :10, ලෙවී 23 : 15 සිට).

එහෙත් පෙන්තකොස්ත දිනය දා සේනා කුළු ශාලාවේ රැස්ව සිටිය මරියාවන් ඇතුළු පිරිසට ශුද්ධාත්මයාණන් පැමිණි අතර (ක්‍රියා 2: 1-4) එදිනම නව ඊශ්‍රායලීය ජනතාව වන කිතුනු සංඝයේ පළමු අස්වැන්න නෙළීම සිදු විය. එදින පමණක් 3000 දෙනා ශුද්ධවූ පේදුරු තුමාගේ දේශනාව නිසා බව්තීස්මය ලැබූ බව අපි දකින්නෙමු (ක්‍රියා 2: 41).

ශුද්ධාත්මයාණන්ගේ පැමිණීමත් සමග බිහිවූ මුල් කිතුනු සංඝයේ ‘විශේෂිත මාතාව’ වූයේ මරියතුමිය. එබැවින් මරියාවන් නැති කිතුනු සංඝයක් අද දවසේ තිබිය හැකිදැයි මා නගන ප්‍රශ්න යයි.

එබැවින් මෙම විශේෂ සිද්ධීන් දෙක තුළ මරියාවන්ගේ ජීවිතයේ තිබූ ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය ඉතා පැහැදිලිය. ‘මරියාවන් සහ ශුද්ධාත්මයාණෝ’ යන ඉගැන්වීම ඔස්සේ බොහෝ දේවධර්ම විශාරදයන් විසින් බොහෝ ලිපි ලියා ඇත. විශේෂයෙන්ම මෙහිදී ශුද්ධ මැක්සිමිලියන් කෝල්බේ මුනිතුමා (1894- 1941) ගොඩනගන ලද දේව ධර්මය ඉතා වැදගත් වේ.

එසේම 1974 පෙබරවාරි 2 දා හයවන පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් ‘මරිය බැතිය’ ගැන දීර්ඝ වශයෙන් ලියන ලද Marialis Cultus (මරියාලිස් කුල්ටුස්) නැමති විශ්ව ලේඛනයේද, 1979 ඔක්තෝබර් 16 එළිදැක්වුණු Catechesis Tradandae (කැටකෙසිස් ට්‍රඩන්ඩෙ) නැමති වර්තමානයේ ධර්මය ඉගැන්වීම පිළිබඳව ලියැවුණු සභා ලේඛනය තුළ ද, ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් 1986 මැයි 18 ‘ශුද්ධවූ සභාව හා ලෝකය තුළ ශුද්ධාත්මයාණෝ’ යන තේමාව ඔස්සේ ලියැවුණු Dominum et Vivificantem (ඩොමිනුම් එට් විවිෆිකාන්ටෙම්) විශ්ව ලේඛනයේද මරියාවන්ගෙ ජීවිතය තුළ ශුද්ධාත්මයාණන් පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කර ඇත.

ශ්‍රාවක ජීවිත බියෙන් සැකයෙන් අන්ධකාරයෙන් පිරී තිබූ මොහොතක, එම අන්ධකාරය පලවා හරින්නට ශ්‍රාවක සංඝය යාඥාවේ සංගයක් බවට පත්කරමින්, ශුද්ධාත්මයාණන්ගෙන් පිරෙන්නට දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත් වූ මාතාව මරියාවන් විය. අද දින දී ද මරියාවන්, අපව ද කැඳවන්නේ වර්තමානයේ අප අත්දකින අන්ධකාරය තුළ, බිය හා සැකය තුළ,යාඥාවේ සංගයක් බවට පත්වෙමින්, ශුද්ධාත්ම බලය ඉල්ලා යදින්නට හා එම බලයෙන් පිරෙන්නට ය.

“ශුද්ධාත්මයාණන්ගෙන් පිරිපුන් වූ මාතාවනි අප නිසා යාච්ඤා කළ මැනව.” ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනගැනීම සඳහා ද හැකි නම් මෙය SHARE කරන්න.

ගරු. ටෙරන්ස් බොදියාබදුගෙ පියතුමා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *