ජේසුගේ කුඩා මල වන ලීසියේ ශුද්ධ වූ තෙරේසා මුනිවරිය

ජේසුගේ කුඩා මල වන ලීසියේ ශුද්ධ වූ තෙරේසා මුනිවරිය

මෙම පිලිය තුලින් ජේසුගේ කුඩා මල වන ලීසියේ ශුද්ධ වූ තෙරේසා මුනිවරිය පිළිබඳව තොරතුරු ඔබට ගෙන එන්නෙමු.

ධර්මදුත සේවයේ හා තාපසිකාවන්ගේ අරක්ගත් මුනිවරිය ලෙස සැලකෙන මෙතුමියගේ මංගල්‍යය ඔක්තෝබර් 01 වනදා ට යෙදී ඇත. ප්‍රංශයේ ඇලන්සෝන් නගරයේ දී ක්‍රි.ව. 1873 ජනවාරි 02 වන දින මාරි ප්‍රැන්ෂුවා තෙරෙස් මාටින් උපත ලැබුවාය.

ඇය නව දෙනෙකුගෙන් යුත් පවුලක බාල දැරිය විය. පියා ලූවිස් මාටින් වූ අතර,මව සෙලි ග්‍රෑන් විය.මේ දෙදෙනාටම එක් කාලයකදී තාපස ජීවිතයක් සදහා සිත් ඇදීයාමක් ඇතිවිය. ඔවුන් එම ජීවිතයට පත්වීම දේව කැමැත්ත නොවීය.

ලීසියේ ශුද්ධ වූ තෙරේසා මුනිවරියගේ මව සහ පියා
ලීසියේ ශුද්ධ වූ තෙරේසා මුනිවරියගේ මව සහ පියා

ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ දියණියන් පස් දෙනෙක්ම තාපස ජීවිතයට ඇතුළත් කිරීමට තරම් ඔවූහු පරිත්‍යාගිශීලි වූවෝය. දෙමාපියන් තුළ තිබු දේවභක්තිය, විශ්වාසය සහ ප්‍රේමය ඊට හේතුවිය.

තෙරේසා අවුරුදු 08 වයස් වූ විට මේ යහපත් මව ස්වර්ගයට කැදවනු ලැබුවාය. ඉන්පසු ඇගේ භක්තිමත් පියා හා තෙරේසා අතර දැඩි සම්බන්ධකමක් ඇති කොට ඇගේ ඉදිරි ගමනට අත්වැලක් වුවේය.

තෙරෙස් ඉතා ලාබාල වයසේ සිටියදී පවා ශුද්ධවන්තියක් වීමට බලවත් ආසාවකින් පසු වුවාය. පියාගේ තේරුම් ගැනීම සහ ආදර්ශමත් ජීවිතයෙන් මේ යහපත් අදහස පුර්ණ කළේය.

යහපත් ගුණාංගයෙන් පිරි සිටිය තෙරෙස්ට වුවද ඇගේ ජීවිතයේ නොයෙකුත් අඩු ලූහුඬුකම් ඇතිවිය. උදාහරණයක් වශයෙන් ඇය අහංකාර ගති ඇති හිතුවක්කාර ළමයෙක් වන්නට ඉඩ තිබුණි. නමුත් ඇගේ පියාගෙන්ද සොහොයුරියන්ගෙන්ද ලැබුණු අවවාද අසා ඇය තම දමන කර, වැරදි හරිගස්සා ගත්තාය.

ඇගේ සොහොයුරියන් අනුගමනය කර, කාර්මෙල් තාපස පන්තියට ඉතාම ලාබාල වියේදීම ඇතුළුවීමට ශ්‍රේෂ්ඨතුමියගෙන් අවසර ඉල්ලා සිටියාය.

ලීසියේ ශුද්ධ වූ තෙරේසා මුනිවරිය අයගේ මව, පියා සහ පැවිදි සහෝදරියන් සමඟ
ලීසියේ ශුද්ධ වූ තෙරේසා මුනිවරිය අයගේ මව, පියා සහ පැවිදි සහෝදරියන් සමඟ

ඇය බාල වයස්කාරියක් නිසා අවසර නොලැබුන බැවින්, ඉන් නතර නොවී, තම පියාගේ ආධාරය ඇතිව, රෝමයට වන්දනා ගමනක් ගිය අවස්ථාවේදී 13 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමා ඉදිරියෙහි දණින් වැටි යට වයස අවු 15 වන විට කාර්මෙල් තාපස පන්තියට ඇතිලූ වීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියාය.

ඇයට අවසරය ලැබිණි .එම දිනය නම් ක්‍රි.ව. 1888 අප්‍රියෙල් 09 දිනයි. ජේසු සමිඳුන්ගේ කුඩාමල වන තෙරේසා සොහොයුරිය පුදුමාකාර විශ්වාසවන්ත තාපස ජීවිතයක් ගත කළාය.

ජේසු සමිඳුන්ගේ කුඩාමල වන තෙරේසා සොහොයුරිය
ජේසු සමිඳුන්ගේ කුඩාමල වන තෙරේසා සොහොයුරිය

ජේසු සමිඳුන් මහත් ආදරයෙන් ඉතා සරල මාර්ගයක ගමන් කරමින් ඇගේ දිනපතා ජීවිතයේ සාමාන්‍ය යුතුකම් හා විශ්වාසවන්තව ඉටු කළාය. ඇයට මහා පව්කාරයන් දෙවියන්වහන්සේ වෙතට හැරවීමට හැකි වුයෙන්, ශුද්ධවන්තියක් වීමට හැකි වුයෙන් මේ සරල මාර්ගයේ ආධාරයෙනි.

ඇගේ නව අවුරුදු කන්‍යාරාම ජීවිත ඉතා මුවාවූ ජීවිතයකි. ඒ කෙසේද යත් ඇගේ සොහොයුරියන් පවා මෙවැනි උතුම් ශුද්ධවන්තියක් ඔවුන් අතර ජීවත් වූ බව කලෙකත් නොසිතුවෝය.

ඇගේ විශේෂ කාර්ය වුයේ මර්ධන ක්‍රියා මගින් පව්කාරයන් ගලවාගැනීමත්, ධර්මදුතික කටයුතු සඳහා වෙහෙස දරණ පූජාප්‍රසාදීන් වෙනුවෙන්, ශූ. සභාවේ වර්ධනය සඳහාත් යාච්ඤා කිරීමත්ය.

ශාරීරිකව හා මානසිකව ඇය බොහෝ පීඩා වින්දාය. අවසානයේදී ක්ෂ්‍ය රෝගය මෙතුමියට වැළදුන අතර එමගින් තමා දේව අභිමතයට සම්පූර්ණයෙන්ම යටත්කර, නිර්භීතව, ඉවසීමෙන් යුතුව, දෙවියන්වහන්සේගේ දයාබර ප්‍රේමයේ යාගයක් ලෙස තමාවම පුද කළාය.

වයස 24 දී ක්‍රි.ව. 1897 සැප්තැම්බර් 30 වන දින ඇයගේ මරණයට සුළු මොහොතකට පෙර යහන මත වාඩිවී, ඉදිරියේ බැබෙලෙන දීප්තිමත් බැල්මෙන් “අහෝ ජේසුනි, ඔබ වහන්සේට කොතරම් ප්‍රේම කරන්නෙම්ද? ” කියා අන්තිම හුස්ම හෙළුවාය.

ක්‍රි.ව. 1925 මැයි 17 දින ශුද්ධවන්තයින්ගේ සංඛ්‍යාවට ඇය ඇතුලත් කරන ලදී. 3 වන පියුස් ශුද්ධෝත්තම පියතුමාගේ ප්‍රකාශය අනුව ශු. ප්‍රැන්සිස් සේවියර් මුනිතුමා සමග ශු. කුඩා තෙරේසා තුමියද ධර්මදුත සේවයේ අරක්ගත් මුනිවරිය ලෙස පත් කෙරිණි.

ශු. කුඩා තෙරේසා තුමියද ධර්මදුත සේවයේ අරක්ගත් මුනිවරිය ලෙස පත් කෙරිණි
ශු. කුඩා තෙරේසා තුමියද ධර්මදුත සේවයේ අරක්ගත් මුනිවරිය ලෙස පත් කෙරිණි

ලංකාවේ මෙතුමියගේ නමට කැපවූ දෙව්මැදුරු ලෙස නාකන්දපොල, කැළණිය, පේරාදෙණිය, තල්විල, තිඹිරිගස්යාය, දෙහිගහපිටිය, කිලිනොච්චිය, යාපනය වන්කාලෙයි යන ස්ථාන වල පිහිටා තිබේ. මෙතුමියගේ නමට ලොව පළමු දෙව්මැදුර ද ශ්‍රී ලංකාවේ වන අතර එය නාකන්දපොළ දෙව්මැදුර වේ.

සගලෝ දෙව් සබ ශුද්ධවතුන් මැද සුදිලුණු රෝස මලේ
දෙව්දුන් අභිමුව ප්‍රසන්න බව දිනු සුදුවර කුඩා මලේ
නිහඩ දිවියකින් කුරුසියේ මග තෙරේසා මුනිවරියේ
යදිනු මැනේ අප උදෙසා තෙරේසා මුනිවරියේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි