දේවමාතා ප්‍රාර්ථනාවේ මරියෝත්තමාව රාජිනියක් සේ සලකා කෙරෙන අයැදුම් වලින් එකක් වන්නේ ලතින් ප්‍රාර්ථනාවේ Regina Confessorum වෙනුවෙන් සිංහල ප්‍රාර්ථනාවේ හමුවන වන්දනාවාදීන්ගේ රාජේශ්වරිනි යන්නයි.
ලතින් වදනින් හැඟවෙන්නේ කිතුනු විශ්වාසය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ශුද්ධවත් චරිතයන් ය. මුල් වකවානුවේ සාන්ත සභාවේ වෙසෙස් තැනක් ලත් ප්‍රාණපරිත්‍යාගීවරුන් නොවන සාන්තුවරුන් පිරිස පොදුවේ මේ නමින් සැලකේ.
කිතුනු විශ්වාසය ප්‍රකාශ කරන ප්‍රධානම මාර්ගය වන්නේ වන්දනාවයි. ලතින් බසින් Lex orandi lex credendi යනුවෙන් ඇති ප්‍රකට කියමනින් පැවසෙන්නේ අපි අදහන දේ අපේ යාච්ඥාව එනම් වන්දනාව තුළින් ප්‍රකාශ වන බවයි. එමනිසා සිංහල ප්‍රාර්ථනාවේ Confessors යන වදන සඳහා වන්දනාවාදීන් යන වදන යොදන්නට ඇතැයි අනුමාන කළ හැක.
වන්දනාවාදීන් යනු ප්‍රසිද්ධියේ ධර්මය දේශනා කිරීම තුළින් විශ්වාසය ප්‍රකාශ කළ , තම ධර්මදූත මෙහෙවර තුළින් විශ්වාසය ප්‍රකාශ කළ , තම ලේඛන පොත පත තුළින් විශ්වාසය ප්‍රකාශ කළ , ශාරිරිකව ප්‍රාණපරිත්‍යාගීත්වය නොලැබුවද විවිධාකාර ක්‍රමවලින් කායික වද වේදනා වලට දඬුවමට භාජනය වූ එසේම තාපස දිවිය හෝ ආරාණ්‍යවාසි දිවිය තුළින් විශ්වාසය ප්‍රකාශ කළ වීරෝදාර පිරිසයි. ඒ අනුව ඔවුන් අධ්‍යාත්මික ප්‍රාණපරිත්‍යාගීවරුන් ලෙසද සැලකේ.
තවත් අතකින් කන්‍ය මරියාවන්ද ප්‍රසිද්ධියේ තම විශ්වාසය ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨතම උත්තමාවිය ලෙස බුහුමන් ලබයි. ඒ අනුවද ඕතොමෝ වන්දනාවාදීන් අතර අගතැන් ගන්නීය. වන්දනාවාදීන්ගේ රාජේශ්වරිනි අප නිසා යාච්ඥා කළ මැනව.
සටහන : මාධව ජයකොඩි