wanchanika gabadakaraya pilibada upamawa

ලූක් 16:1-13

ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: ”එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ.

එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා, ‘ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක් ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අය වැය මට භාර දෙන්න; මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකි ය’යි කී ය.

ගබඩාකාරයා ද, ‘මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස්කරන්නට යන නිසා මම කුමක් කරම් ද? බිම් කෙටීමට මට ශක්තිය නැත; හිඟාකෑමට ලජ්ජා වෙමි. ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම්හිටුම් ලබාගැනීමට කළ යුතු දේ මම දනිමි’යි සිතින් සිතාගත්තේ ය.

මෙ‍සේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බැගින් කැඳවා, පළමුවැනියාට කතා කොට, ‘මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ ය. ගබඩාකාරයා කතා කොට, ‘ඔබේ බිල ගෙන වහා ම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කී ය.

තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තිරිඟු බුසල් දහස කැ’යි ඔහු කී ය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.

”එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයාගන්න; වස්තුව නිම ව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත. අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි.

එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාස ව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට භාර දෙන්නෝ කවුරු ද? අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද?

ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන; මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර කරන්නේ ය; අනෙක් අයට ප්‍රේම කරන්නේ ය. නොහොත් එක් කෙනෙකුට ලැදි වන්නේ ය; අනික් අය හෙළා දකින්නේ ය. දෙවියන් වහන්සේට හා වස්තුවට එකවිට ම සේවය කරන්නට ඔබට බැරි ය.”

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *