උත්පත්ති පොත පිළිබඳ අවබෝධය
මෙම ලිපිය තුළින් පංච පුස්තකයේ පළමු ග්‍රන්ථ දෙක වන උත්පත්ති සහ නිකමයාම යන පොත්වල අඩංගු කරුණු පිළිබදව අවබෝධයක් ලබා ගනිමු.
උත්පත්ති පොත
මානව සංහතියේ හා විශ්වයේ උපත ගැන මෙහි ආරම්භයේ (1-11 පරිච්ඡේද) සඳහන් වන නිසා මෙම පොතට “උත්පත්ති” පොත යන නම භාවිතා කෙරේ. උත්පත්ති යන වචනය ග්‍රීක භාෂාවේ ‘උපත’ යන තේරුම ඇති “GENESIS” නම් වචනය ඇසුරෙන් බිඳී ආවකි.
උත්පත්ති පොතේ අන්තර්ගතය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි ය.
ප්‍රාග් ඓතිහාසික කතා පුවත් (උත්පත්ති 1 – 11 පරිච්ඡේද)
උත්පත්ති 1 වන පරිච්ඡේදයේ සිට 11 වන පරිච්ඡේදය දක්වා කොටස් උත්පත්ති පොතේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ. ලෝකය මැවීමේ සිට අබ්‍රහම්ගේ කැඳවීමේ දක්වා සිද්ධීන් මෙම කොටස තුළ අන්තර්ගත වේ.
ප්‍රාග් ඓතිහාසික යුගයේ විශේෂත්වය වන්නේ මෙහි සඳහන් වන සිද්ධීන් වලට ලිඛිත වාර්තා හෝ ඇසින් දුටු සාක්ෂි නොමැති වීමයි.
එසේ නම් ප්‍රාග් ඓතිහාසික කතා පුවත් ලිවීමට කතුවරයා යොදා ගත්තේ මොනවා ද? එකල පැවති කතා පුවත් සහ භාෂා යෙදුම් වැනි සාහිත්‍යමය අංග ප්‍රාග් ඓතිහාසික කතා පුවත් ලිවීමට කතුවරයා යොදාගෙන ඇත.
එනම් ලෝකයේ මැවීම, විනාශය සහ මිනිස් උපත පිළිබඳ එකල පවතී මිත්‍යා වන මෙසපොතේමියානු සාහිත්‍යයේ ‘එනුමාඑලිෂ්’, ‘ගල්ගමේෂ්’ වැනි වීර කාව්‍යයන් ප්‍රාග් ඓතිහාසික කතා පුවත් ලිවීමට කතුවරයා යොදා ගත්තේ ය.
මෙම ප්‍රාග් ඓතිහාසික කතා පුවත් ඉදිරිපත් කරන කතුවරයාගේ අරමුණ වූයේ වුයේ එම කතා පුවත් මගින් ගැඹුරු දේව ධාර්මික පණිවිඩයක් ඉදිරිපත් කිරීමයි.
එසේනම් ප්‍රාග් ඓතිහාසික සිද්ධීන් තේරුම් ගැනීමේදී ඉතා වැදගත් වන්නේ එම කතා පුවතේ අඩංගු ඓතිහාසික හෝ විද්‍යාත්මක කරුණු සෙවීම නොව, එහි අඩංගු ගැඹුරු දේව ධාර්මික පණිවිඩය තේරුම් ගැනීමයි.
ප්‍රාග් ඓතිහාසික කතා පුවත් (උත්පත්ති 1 – 11) හි අන්තර්ගතය රූප සටහනකින් පහත ලෙස දැක්විය හැකිය.
විශ්වය සහ මානව සංහතියේ මැවීම පිළිබඳ උත්පත්ති කතුවරයා විස්තර කර ඇත්තේ එකිනෙකට සමාන්තර කතා පුවත් දෙකක් ඇසුරෙන් ය. එම කතා පුවත් දෙක නම්,
- පූජක සාම්ප්‍රදායීය කතා පුවත (උත්පත්ති 1:1 – 2:4 අ)
- යාවේ සාම්ප්‍රදායීය කතා පුවත (උත්පත්ති 2:4 ආ – 25)
මැවීම පිළිබඳ පළමු කතා පුවත – පූජක සාම්ප්‍රදායීය කතා පුවත (උත්පත්ති 1:1 – 2:4 අ)
මැවීම පිළිබඳ පළමු කතා පුවත ඉදිරිපත් කරන්නේ පූජක සාම්ප්‍රදායීය කතා පුවත ඇසුරෙන් (උත්පත්ති 1:1 – 2:4 අ) ය. එනම් මෙම කතා පුවත ලියා තිබෙන්නේ පූජකවරුන් විසින් ය.
මැවීම පිළිබඳ පළමු කතා පුවත තුළ හමුවන මුලාශ්‍ර පහත පරිදි වේ.
- වචන භාවිතය
- මැවුම්කරුවාණන් සඳහා යොදන නාමය දෙවියන් වහන්සේය.
- හේබ්‍රව් බසින් එලොහිම්ය.
- සාහිත්‍යම ශෛලිය
- එකම දෙය නැවත නැවත කියන ස්වරුපයක් පෙන්වයි.
- උදාහරණයක් ලෙස මුල් දින හය සම්බන්ධව පහත ව්‍යවාහාරය දක්නට ලැබේ.
- එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක.
- සවස ගත විය, උදය උදා විය, ඒ …….. දවස විය.
- දේව ධාර්මික දැක්ම
- දෙවියන් වහන්සේව ඉදිරිපත් කර ඇත්තේ සර්ව සම්පුර්ණ ඉතා උත්කෘෂ්ඨ ලෙසය
- උදා: වචනයේ බලයෙන් ලොව මැවීම
- ජනවන්දනාව සම්භන්ධ යොමුවක් තිබීම. උදාහරණ ලෙස,
- ඔවුන් වහන්සේ මිනිසා මෙන්ම සතුන්ද ආසිරි ගැන්වීම
- සබත් දින විස්තරයෙන් අවසන් වීම (වැඩ නවතා විවේක ගැනීම, ශුද්ධ දවසක් ලෙස වෙන් කිරීම)
- දෙවියන් වහන්සේව ඉදිරිපත් කර ඇත්තේ සර්ව සම්පුර්ණ ඉතා උත්කෘෂ්ඨ ලෙසය
- වෘත්තාන්ත පසුබිම
- ජලය අධික පරිසරයක් තුළ කතාව ගොඩ නැගීම. (පලස්තීනය ජලය අධික ප්‍රදේශයක් නොවේ. බැබිලෝනීය ශිෂ්ටාචාරයේ හෙවත් මෙසපොතේමියානු ආභාෂය ගනී. එනම් යුප්‍රටීස්-ටයිග්‍රීස් අතර ප්‍රදේශය ගැන කියවේ)
එලෙසම පළමු මැවීමේ කතාවේ ඇති ඓතිහාසික ගැටළු කීපයක් පවතී. එම ගැටළු නම්,
- පළමුවෙනි දින ආලෝකය මැව්වද ආලෝකය දෙන ඉර, සඳ සහ තාරකා මවන්නේ සතරවන දිනය.
- මිනිසුන් සහ සතුන් බොහෝ දෙනෙකු මාංශ අනුභව කලද මිනිසාට මෙන්ම සතුන්ටද දෙවියන් වහන්සේ මාංශ වලින් තොර අහාර දීම.
- දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ වචනයෙන් පමණක් නම් වෙහෙස නිවා ගැනීමට සත්වන දින විවේක ගැනීම.
මෙම ඓතිහාසික ගැටළු මගින් අපට කළ හැකි නිගමනය නම් මෙම කතා පුවත් ඓතිහාසිකව අර්ථකථනය නොකළයුතු ය. එනම් මෙම කථා පුවත් දේව ධාර්මික පණිවිඩයක් ඉදිරිපත් කිරීම සඳහා ගොඩනගන ලද ඒවාය. එක් එක් සිද්ධිය ඔස්සේ කතුවරයා පාඨකයාට යම් පණිවිඩයක් ඒත්තු ගැන්වීමට උත්සහ කරයි.
ඓතිහාසික කතා පුවත් (උත්පත්ති 12 – 50 පරිච්ඡේද)
උත්පත්ති පොතේ ඓතිහාසික යුගයට උත්පත්ති 12 වන පරිච්ඡේදයේ සිට 50 වන පරිච්ඡේදය දක්වා අයත් වේ. අබ්‍රහම්ගේ කැඳවීමේ සිට ජෝසෙප්ගේ මරණය දක්වා සිද්ධීන් මෙම කොටසෙහි අන්තර්ගත වේ.
මෙම කතා පුවතෙහි දක්නට ලැබෙන්නේ මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ (උත්පත්ති 1 – 11 පරිච්ජේද) සිට නයිල් නිම්න ශිෂ්ඨාචාරය කරා යොමුවකි.
මෙම කතාව තුළ ආදි පිතෘවරුන්ගේ චරිත ගොඩනැගෙන්නේ පහත දැක්වෙන පසුබිම මත ය.
- ආදි පිතෘවරු යාවේ දෙවියන් වහන්සේව නොදනී.
- නික්මයාමේ සිද්ධිය කේන්ද්‍ර කොට ගනිමින් ආදි පිතෘවරුන්ගේ චරිත ගොඩ නැගේ.
කෙසේ වෙතත් ආදි පිතෘවරුන් ගැන ඓතිහාසික සාධක හමුවී නොමැත.
උත්පත්ති 12 – 50 පරිච්ඡේදවල අන්තර්ගත ඉතිහාසමය කතා පුවතෙහි ස්වභාවය පහත පරිදි වේ.
- මෙම විස්තරය සම්බන්ධ කාල පරිච්ඡේදය ක්‍රි.පූ. 1900 – 1650 අතර කාලයයි.
- මෙම කාල වකවානුව “මධ්‍යතන ලෝකඩ යුගය” ට අයත් වේ.
- මෙම වෘතාන්තය ඔපවත් කළ හැකි පුරාණ මැද පෙරදිග මූලාශ්‍ර සෑහෙන ප්‍රමාණයක් ඇත.
- උදා: ආදි පිතුරුවරු පිළිබඳ කතා පුවත්.
- උත්පත්ති පොතේ සඳහන් අදිපිතුරු වෘතාන්ත වල දක්නට ලැබෙන සිරිත් විරිත්, පුද්ගල නාම, භූගෝලීය නාම හා සමාජ ජීවිතය සම්බන්ධ නීති පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ශු. බයිබලයට පරිබාහිර මූලාශ්‍ර වල හමුවෙයි.
- පුරාණ මැද පෙරදිග ඉතිහාසයට අනුව මෙය සංක්‍රමණික යුගයකි.
- ඓතිහාසික වෘතාන්තයේ ස්වභාවය ආගමික ඉතිහාසය ලෙස හැඳින්විය හැකිය.
- එනම් ඓතිහාසික සිදුවීම්, පුද්ගලයන් සහ ඔවුන්ගේ ක්‍රියාවන් විශ්වාසයේ ඇසින් අර්ථ කථනය කරනු ලැබීමයි.
- අනෙක් පුරාණ මැද පෙරදිග ඉතිහාස ග්‍රන්ථ මෙන්ම මෙම වෘතාන්තයද ජනප්‍රවාද හා මිශ්‍රව පවතී.
- උදා: ලොත්ගේ භාර්යාව ලුණු කණුවක් බවට පත් වීම. “ලොත්ගේ භාර්යාව ආපසු හැරී බැලුවා ය. එවේලේ ම ඈ ලුණු කණුවක් වූවා ය.” (උත්. 19:26)
පුද්ගල නාම, චාරිත්‍ර වාරිත්‍ර සහ ඌර් නගරය ගැන සඳහන් වීම මෙම කතා පුවත මධ්‍යතන ලෝකඩ යුගයට අයිති බව හැඟවෙන සාධක වේ. ආදි පිතෘ ආබ්‍රහම් තුමා මුලින් ජීවත් වූ නගරය වන නිස ඌර් නගරය මෙම කතාව තුළ විශේෂ වේ.
ඌර් නගරය සුමේරියානු / බැබිලෝනියානු ශිෂ්ඨාචාරයක් පැවති බවට පුරා විද්‍යා කැණීම් වලින් ඔප්පු වී ඇත. දේවාලයක කොත්කීලය, මන්දිරවල අත්තිවාරම් සහ මන්දිරවල වූ ධනස්කන්ධය ඒ පිලිබඳ ඇති සාධක වේ.
එකල ඌර් ආශ්‍රිත ප්‍රදේශයේ සමාජීය සහ ආගමික පසුබිම පහත පරිදි වේ.
- සමාජීය පසුබිම
- බැබිලෝනියානු පාලනයක් හමුවේ රජු පාලකයා විය.
- සුමේරියානු පසුබිමක ශිෂ්ට සම්පන්න ජාතියක් විය.
- ආගමික පසුබිම
- බැබිලෝනියානු ශිෂ්ඨාචාරයක් තුළ බහු දේව වාදය පැවතුනි.
- අනු – අහසේ අධිපති
- එන්ලීල් – සුළඟට අධිපති
- එන්කි – ජලයේ අධිපති
- අමානුෂික ආගමික චාරිත්‍ර විය.
- නර බිලි පූජා
- ළදරු ඝාතන
- මරණින් මතු ජීවිතය ගැන විශ්වාස කළහ.
- බැබිලෝනියානු ශිෂ්ඨාචාරයක් තුළ බහු දේව වාදය පැවතුනි.
උත්පත්ති 12 – 50 පරිච්ඡේද තුළ හමුවන ප්‍රධාන චරිත පහත දැක්වේ.
- ආබ්‍රහම් – කැඳවීමේ සිට මරණය දක්වා (උත්. 12:1 – 25:11)
- ඊසාක් – උපතේ සිට මරණය දක්වා (උත්. 21:1 – 35:29)
- ජාකොබ් – උපතේ සිට මරණය දක්වා (උත්. 25:19 – 49:14)
- ජෝශප් – උපතේ සිට මරණය දක්වා (උත්. 37:2 – 50:26)
මෙම කොටසේ බයිබලීය චරිත තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණ කිහිපයකි.
- මව්බිම අතහැර යාමට සිදු වීම.
- සහෝදරයන් අතර ආරවුල්.
- ආබ්‍රහම් හා ලොත් අතර
- ඒසව් හා ජාකොබ් අතර
- ඊජීප්තුව කරා යොමුව.
- භාර්යාවන් වඳ බව සහ ඔවුන් අතර ආරවුල්.
- භාර්යාවන් පාපයට පෙළඹවීමට ගත උත්සාහයන්.
- බාල පුත්‍රයා දේව ආශිර්වාදය ලැබීම
- දරුවන්, දේශය හා දේවාශිර්වාද පිළිබඳ පොරොන්දු.
- අනාගත භාර්යාව ලිඳක් ලගඳී හමු වීම.