ගරු තිස්ස බාලසූරිය (නි.ම.නි.) පියතුමා (1924 – 2013)
සිරිලක කතෝලික සභා ඉතිහාසයේ ආන්දෝලනාත්මක චරිත අතලොස්ස අතර සුවිශේෂී පෞරුෂයකට උරුමකම් කී තිස්ස බාලසූරිය පියතුමා කහටගස්දිගිලියේ ඉපිද මහා විදුහල් තුනකින් සිප් සතර ලබා නිමල මරිය නිකායික පැවිද්දෙකු ලෙස 1952 දී ඉතාලියේ දි පූජකවරය ලැබුවේ ය.
අංශ ගණනාවක හසල දැනුමකින් හෙබිවූ එතුමා කලක් බොරැල්ල ඇක්වයිනස් ආයතනයේ අදියුරු තුමන් ලෙසද සේවය කළ අතර 1971 දී මරදානේ සමාජ සාමයික කේන්ද්‍රය බිහිකළේ ය.
මෙතුමා ලොව පසිදු දේවධර්මවේදියෙක් ලෙස පිළිගැනුණු අතර මෙරට ආන්දෝලනාත්මක භූමිකාවක් බවට පත්වූයේ මරිය තුමිය හා මානව විමුක්තිය නම් පොත මුල්කරගෙන උද්ගත වූ ගැටලුවකි. විමුක්ති දේවධර්මයේ ආලෝකය ලද එම පොතේ අදහස් අද වනවිට සමාජගත වී ඇති බවද පෙනේ.
මෙරට පැනනැගී සමාජ ගැටලු රැසකදී පෙනීසිටි මහාපුරුෂයෙක් වූ මේ සරල මිනිසා ආර්ථික , සමාජීය , දේශපාලනික අංශ වල අවදි කළ යශෝරාවය අගනේය.
මරණයෙන් නොබෝ කලකින්ම උපහාර පුදා මුද්දරයක් නිකුත් කිරීමට තරම් තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කළේ එබැවිනි.