theresa maw thumiya

මුඩුක්කුවේ සාන්තුවරිය යන අන්වර්ථ නාමයෙන් බුහුමන් ලද තෙරේසා මව්තුමිය පිළිබඳ නොඇසූ අයෙක් වෙත් නම් එය අරුමයකි. පැවිදි වරියක ලෙස භාරත දේශය වෙත ආ ඕ එහි දැල්වූ දයාවේ පහන්සිළුවේ ආලෝකය මුළු ලොවම එකලු කළේය.

1910 අගෝස්තු 26 දා ඉපිද 1997 සැප්තැම්බර් 05 දා සගසුව දිනූ එතුමියගේ දිවියේ ඒ සුවිශේෂී දින දෙකට මැදිව එතුමිය සිහිපත් කිරිම යෝග්‍යය. සභා මාතාව සැප්තැම්බර් 05 දා එතුමියගේ මංගල්‍යයද සමරන්නීය.

පැරණි ඔටෝමාන් අදිරදයේ කොටසක උපන් ඇල්බේනියානු ජාතික කතක් වූ ඕ ඉන්දියාවේ ධර්මදුත සේවයට යන අටියෙන් අයර්ලන්තයේ ලොරේටෝ නිකායට ඇතුළුව 1931 දී වේදබාර ගත්තාය. ඉන්දියාව කරා ආ එතුමිය එහි ගුරුතුමියක ලෙස සේවය කළ අතර 1946 දුම්රිය ගමනකදී ලද අත්දැකීම මත නව ජීවිතයක් සොයා පියමැන්නාය.

නොයෙක් බාධා මැද 1948 දී නව දිවියකට අවැසි සසුන් අනුමැතිය ලැබූ ඕ අගෝස්තු 17 දා කුලහීන බෙංගාලි කතුන් අදින සාරියකින් සැරසී තම සේවයට මුලපිරුවාය. එසේ ඇරඹූ ඒ ගමන කල්කටාව කේන්ද්‍ර කරගත් අතර 1950 දී දයාවේ ධර්මදූතික නිකාය ඇරඹී කෙමෙන් ඉන්දියාවේ සෙසු ප්‍රදේශ වෙතත්, ලොවටත් පැතිරී ගියේය.

එතුමිය තුළින් මුළු ලොවම මවකගේ සෙනෙහස අත්දුටු අතර ඒනිසාම ඕ පොදුවේ මදර් යනුවෙන් අමතනු ලැබුවාය. එතුමිය කළ මෙහෙවර ලොවේ සම්භාවනාවට ලක්වූ අතර නෝබෙල් සාම ත්‍යාගය ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ සම්මාන වලින් පුදනු ලැබිණි. ඒ සැමටම වඩා වටින්නේ දිළිඳු අසරණ දනන්ගේ සිත්සතන් තුළ එතුමිය කෙරෙහි තිබූ සෙනෙහසයි.

ජීවමාන සාන්තුවරිය සේ සැලකුණු ඕ ලොවම හඩවා එතුමිය සගසුව දිනූ පසු 2003 දී භාග්‍යවරයටත්, 2016 දී සාන්තුවරයටත් ඔසවනු ලැබිණි.

කල්කටාවේ ශු. තෙරේසා තුමිය නමින් මෙරට දේවස්ථාන කීපයක් ඇත.

  • තල්ගස්වල දේවස්ථානය – ගාලු රදගුරු වසමේ ඇල්පිටිය මීසමේ තල්ගස්වල දේවස්ථානය 2010 දී ගරු ග්‍රේෂන් පියතුමා විසින් ආරම්භ කරන ලදි.
  • ගම්පොළ ඩෙල්ටා දේවස්ථානය – මහනුවර පදවියේ ගම්පොළ මීසමට අයත් උප දේවස්ථානයක් ලෙස ඩෙල්ටා වතුයාය ආශ්‍රිතව දේවස්ථානයක් තනා 2018 ජුනි මාසයේදී එය කැපකර ඇත.
  • උරුම්පිරයි දේවස්ථානය – යාපනය රදගුරු වසමේ උරුපිරයි මීසම යටතේ ඇති අනු දේවස්ථාන පහෙන් එකක් කැපකර ඇත්තේ මෙතුමියගේ නමටය.
තල්ගස්වල දේවස්ථානය - කල්කටාවේ ශු. තෙරේසා තුමිය නමින් මෙරට දේවස්ථාන
තල්ගස්වල දේවස්ථානය – කල්කටාවේ ශු. තෙරේසා තුමිය නමින් මෙරට දේවස්ථාන

මන්නාරම රදගුරු වසමේ එතුමියට කැපකළ දේවස්ථාන තුනකි.

  • පුතියකෝවිල්කුලම්(පම්පෙයිමඩු)
  • තුඩ්ඩුවකයි (ඉලුප්පයිකුලම්)
  • කන්දසාමි නගර් (සෙට්ටිකුලම්)

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *