තර්කවේදී පියවරුන් (Apologotic Fathers of the Church)

තර්කවේදී පියවරුන් (Apologotic Fathers of the Church)

|

මෙම ලිපිය තුලින් තර්කවේදී පියවරුන් යනු කවුරුන්දැයි ඔබට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.

සභා පියවරුන් යනු දේවවචනය (Sacred Scripture) සහ අපෝස්තොලික ඉගැන්වීම් (Apostolic teachings/ Didachē) හී පදන්ම මත ගොඩනැගෙමින්, නිර්මල කිතුණු දහමේ ඇති ධර්මතාවයන්ට පටහැනිවූ මිතයා මත (වේධභේධික සහ දර්ශනවාදී මත) ව්‍යර්ථ කිරීම තුළින් කිතුණු විශ්වාසය ආරක්ශා කිරීම සදහා ඉගැන්වීමෙන්, දේශනාවෙන් සහ ලේඛනයෙන් දායක වූ මුල් (පළමු සියවස් සයක කාලය තුළ) උගතුන් පිරිසයි.

මෙම සභා පියවරුන් අතර ඉතා සුවිශේෂී කණ්ඩායමක් ලෙස අපොලොජිස්ත ලේඛකයන් හෙවත් තර්කවේදී පියවරුන් (Apologotic Fathers) සඳහන් කළ හැක.

තර්කවේදී පියවරුන් බිහි වීම

කිතුනු සභාවේ මුල් අවධියේදී ජුදා ආගමීක බලපෑම්, රෝම අධිරාජ්‍යයෙන් එල්ලවූ පීඩන මෙන්ම කිතුණු සභාවේ සත්‍යතාවයන්ට විරුද්ධව ගොඩනැගුණු වේද භේදික මත (Heresis) රාශියක් නිර්මාණය වීය.

විශේෂයෙන් ජුදා සම්ප්‍රදායෙන් වෙන්ව නව දහමක් ලෙස කිතුණුවන් ගොඩනැගීම නිසාවෙන් ඔවුන් ජුදා දහමට සහ සම්ප්‍රදායට විරුද්ධ පිරිසක් යැයි ගොඩනැගුණු වැරදි මතයක් මේ යුගයේදී පැවැති නිසාවෙන් කිතුණුවන් හට ජුදා දේශයන් තුල පීඩනයන්ට ලක් වීමට සිදු විය.

එලෙසම කිතුණුවන් රෝම අධිරාජ්‍යට විරුද්ධව ක්‍රියාත්මක වන නීති විරෝදී සංවිධානය ලෙස සලකමින් රෝම අධිරාජ්‍ය තුලද කිතුණු පීඩනයන් දැඩි ලෙස ක්‍රියාත්මක විය.

එලෙසම එවක් සිටිඇතැම් දාර්ශනික මත ඇති පිරිස් (Greek Philosophers) කිතුනු සභාවේ සත්‍යතාවයන්, තමන්ගේ දාර්ශනික අදහස් පදනම් කොටගෙන වැරදි ලෙස විස්තර කිරීමට සහ ඉගැන්වීමට උත්සාහ කිරීම නිසාවෙන් වේදභේදික මත රාශියක්ද මේ යුගයේදී ගොඩ නැගුනි.

මේ හේතූන් නිසාවෙන් එවක සිටි සභා පියවරුන් බොහෝ දෙනෙක් නිර්මල කිතු දහමේ ඇති සත්‍යතාවයන් ආරක්ෂා කිරීමේ සහ එහි වැදගත්කම ගෙනහැර දැක්වීමේ අදිටනින් යුතුව තර්කවේදී ලේඛනයන් (Apologotic writings) ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදි.

එම නිසා ඔවුන් අපොලොජිත ලේඛකයන් හෙවත් තර්ක වේදි පියවරුන් (Apologotic fathers) ලෙස නම් කරනු ලබයි. මෙතුමන්ලාගේ ලේඛකයන් තුල තිබූ ප්‍රධානතම පරමාර්ථයන් වූයේ,

  • අන්‍ය ආගමිකයන් හා ජුදාබැතිමතුන් විසින් කිතුණුවන්ට විරුද්ධව නැගුණ චෝදනාවලට පිළිතුරු දීම,
  • අධිරාජ්‍ය පාලකයින් ක්‍රිස්තියානින්ට හිංසා පීඩා කිරීමට හේතු නොමැති බව පෙන්වාදීම,
  • අන්‍යාගමික උගතුන්ට ක්‍රිස්තු ධර්මය තේරුම් ගැනීමට මග පෙන්වීම සඳහන් කළ හැක.

මොවුන්ගේ ලේඛනයන් තුළ තිබූ තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ, ශුද්ධ ලියවිල්ලේ ආලෝකයතුලින් ගොඩනැගුණු දේවධාර්මික පදනම සමගම සභා සත්‍යතාවයන් වැරදි ලෙස ඉගැන්වීමට වේද භේදයකින් විසින් භාවිත කළ ග්‍රීක දාර්ශනික අදහස්ද පාදක කර ගනිමින් ඒ සියලු වේද භේදික මත වලට පිළිතුරු සැපයීමට ඔවුන් සමත් වූ නිසාවෙනි.

එයට ප්‍රධානතම හේතු සාධකය වූයේ මේ තර්ක වේදි සභාපියවරුන් ග්‍රීක දාර්ශනික අදහස් පිළිබඳ අන්තියෝකීය (Antiochian School) සහ ඇලෙක්සැන්ඩ්‍රියානු (Alexandrian School) දාර්ශනික පාසැල්වල ගැඹුරු අධ්‍යයනයක නියැළී ඒවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා තිබූ හෙයිනි.

අපොලොජිස්ත නැතහොත් තර්කවේදී සභා පියවරුන් සහ ඔවුන්ගේ ඉගැන්වීම් ඇතුලත් ග්‍රන්ථයන් (Apologetic Fathers and their Contributions)

ප්‍රාණපරිත්‍යාගී ශු. ජස්ටින් මුනිතුමන් (ක්‍රි:ව: 100–165)

අපොලොජිස්ත කතුවරුන් අතර මූලික සභා පියතුමන් ලෙස සලකන මෙතුමන් විසින් රචිත තර්කවේදී ග්‍රන්ථ රාශියක් තිබෙන අතර මාර්කුස් අවුරේලියස් අධිරාජ්‍යයා විසින් කිතුණුවන්ට එල්ල කල අයුතු චෝදනාවන් ප්‍රතික්ෂේප කිරීමට ලියන ලද “අපොලොජියා” (Apologia) සහ “ජුදෙව්වන් සමග දෙබසක්” (Dialogue with Tryho) යන ග්‍රන්ථයන් සුවිශේෂී වෙයි.

ප්‍රාණපරිත්‍යාගී ශු. ජස්ටින් මුනිතුමන් (ක්‍රි-ව- 100–165) - තර්කවේදී පියවරුන්
ප්‍රාණපරිත්‍යාගී ශු. ජස්ටින් මුනිතුමන් (ක්‍රි-ව- 100–165) – තර්කවේදී පියවරුන්

ශු. අයිරේනියස් මුනිතුමන් (ක්‍රි:ව 130–202)

නොස්ටික්වාදී වේදභේදිකයන්ට විරුද්ධව ක්‍රියාත්මක වූ මෙතුමන්ගේ ඉගැන්වීම් පිළිබඳ අවධාරණය කරන “වේධ භේද විරෝධය” (Adversus Hereses) සහ අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමේ සත්‍යභාවය” (The proof of the Apostolic Teaching) ග්‍රන්ථයන් සුවිශේෂී වෙයි.

ශු. අයිරේනියස් මුනිතුමන් (ක්‍රි-ව 130–202) - තර්කවේදී පියවරුන්
ශු. අයිරේනියස් මුනිතුමන් (ක්‍රි-ව 130–202) – තර්කවේදී පියවරුන්

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඔරිජන් තුමන් (ක්‍රි:ව: 184-253)

දෙවියන් වහන්සේ ලෝකයේ නිර්මාතෘවරයානන් යැයි අවධාරණය කරන “De Pricipilis” සහ සෙලස් නම් වූ දාර්ශනිකයාගේ වැරදි මත බිදහෙලීමට සමත් “සෙල්සස්ට විරුද්ධව” (Against Celsus) ග්‍රන්ථයන් සුවිශේෂී ස්ථානයක් හිමි කරගනියි.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඔරිජන් තුමන් - තර්කවේදී පියවරුන්
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඔරිජන් තුමන් – තර්කවේදී පියවරුන්

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශු. ක්ලෙමන්ට් මුනිතුමන් (ක්‍රි:ව: 150–215)

ක්‍රිස්තුවේදයට (Christology) විරුද්ධව ගොඩනැගුණු වේදභේදික මතයන්ට සහ කිතුණු විශ්වාසයට බලපෑම් කරමින් ගොඩනැගුණු අනෙකුත් මතිමතාන්තරයන්ට පිළිතුරු සපයමින් එතුමන් විසින් ඉදිරිපත් කල Protrepticus, Paedagogus, Stromata වැනි ග්‍රන්ථයන් සුවිශේෂී වෙයි.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශු. ක්ලෙමන්ට් මුනිතුමන් (ක්‍රි-ව- 150–215) - තර්කවේදී පියවරුන්
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශු. ක්ලෙමන්ට් මුනිතුමන් (ක්‍රි-ව- 150–215) – තර්කවේදී පියවරුන්

ටර්ටූලියන් තුමන් (ක්‍රි:ව: 160–225)

ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධීරය වනාහී කිතුණු සභාවේ බීජයයි යන වාක්‍ය කණ්ඩය ඉදිරිපත් කල ටර්ටූලියන් තුමන් තම අපොලොජිත ග්‍රන්ථයන් තුලින් ප්‍රධාන වශයෙන්ම රෝම අධිරාජ්‍යයා විසින් ගෙනගිය කිතුණු පීඩනයන්ට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන ලදි.

මෙතුමන් විසින් රචිත Apologeticus, Ad Nationes, De Testimonio Animae, De Praescriptione Haereticorum වැනි ග්‍රන්ථයන් සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා අතර පසුකාලීනව මොනිතනිසම් (Monitanism) යන වේදභේදික මත පිළිගැන්ම නිසාවෙන් වෙන්ව ගියහ.

නමුත් එතුමන් කිතුණු සභාවෙන් වෙන් වී යාමට පෙර ඉදිරිපත් කල දේවධාර්මික අදහස් තවමත් කිතුණු සභා මාතාව තුළ ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිකරගනී.

ටර්ටූලියන් තුමන් (ක්‍රි-ව- 160–225) - තර්කවේදී පියවරුන්
ටර්ටූලියන් තුමන් (ක්‍රි-ව- 160–225) – තර්කවේදී පියවරුන්

සැකසුම: ලියෝ මදුශාන් සහෝදරතුමන්

මූලාශ්‍ර:

මේ හා සම්බන්ධ වෙනත් ලිපි