දේවමාතා ප්‍රාර්ථනාවේ අවසන් යැදුම් පද මාලාව තුළ දේවමාතාවන් වහන්සේ අමතනු ලබන්නේ රාජේශ්වරියනි යනුවෙනි. එහිදී එතුමිය සකල විශ්වයේම පමණක් නොව ගැළවීමේ ඉතිහාසයේද රැජින ලෙස බුහුමන් ලබයි.
දේවමාතා ප්‍රාර්ථනාවේ බොහෝවිට සදොස් ලෙස උච්චාරණය වන යැදුමක් වන මෙය බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ සූරතාවයින්ගේ යනුවෙනි. එය සුරතාවයින්ගේ ලෙස නිවැරදි කරගැනීමද අවශ්‍ය වේ.
එම අයදුම් අතර පළමු වැන්න එතුමියව ඉදිරිපත් කරන්නේ සුරතාවයින්ගේ රාජේශ්වරිය ලෙසිනි. එනම් දේවදූතයින්ගේ රාජිනිය විලසිනි. ශු.
පාවුලු තුමන්ගේ ක්‍රිස්තුවේදී ඉගැන්වීම් තුළ ක්‍රිස්තුස් වහන්සේ සියළු ස්වර්ගීය බලතාවයන් මැවූ බව හමුවේ. (කොලොස්සි 1;6)
ඒ අනුව මරියෝත්තමාවෝ දේවදූතයින් මැවූ දෙවිඳුන්ගේ පුතුට මව් වීම නිසා නිතැතින්ම ඕතොමෝ ඔවුන්ට රාජිනිය වේ.
ශු. ජෝන් ඩැමසින් තුමාට අනුව දෙව්මවුන් මැවුම්කරුවාණන්ගේ මෑණියන් වන නිසා ඕතොමෝ සකල මැවිල්ලේ රැජින වෙති. සාන්ත සභාවේ පිළිගත් නිල යැදුම් කීපයකම එතුමිය රැජිනක් ලෙස අමතනු ලැබේ.
- පරලෝක රාජේශ්වරියනි (Regina Coeli)
- මංගල්‍යස්තු රාජේශ්වරියනි (Salve Regina)
“මරියෝත්තමාවෝ ස්වර්ගයට ගෙන යන ලද්දාහ. සුරදූත සේනාවෝ ප්‍රීති සන්තෝෂ වන්නාහ”, යනුවෙන් ස්වර්ගාරෝපණ මංගල්‍යය දින සුපුවත් ජයනදෙහි ගැයේ. ඉන් පැවසෙන්නේත් දේවදූතයින් එතුමිය තම රාජිනිය ලෙස පිළිගන්නා බවයි.
මෙම විරුදාවලිය තුළින් උපන් දේවමාතා බැතිය වඩාත් පැතිර යන්නේ ෆ්‍රැන්සිස්කාන ධර්මදූතවරුන්ගේ අනුග්‍රහයෙනි. ඊට තුඩුදුන් ප්‍රධාන සාධකයක් වන්නේ අසීසියේ ශු. ෆ්‍රැන්සිස් තුමා තම දූත මෙහෙවර අසීසියේ පොර්සියුන්කුලා (Portiuncula) නමින් ප්‍රකට සුරතාවයින්ගේ රාජේශ්වරියගේ දේවස්ථානය කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමය.
අදටත් එහි පිහිටා ඇති බැසිලිකා දේවස්ථානය තුළ එම ඉපැරණි කුඩා දෙව්විමන ඉතිරි කර ඇත.
සුරතාවයින්ගේ රාජේශ්වරිය නමින් කැපකළ දේවස්ථාන දෙකක් මෙරට පිහිටා ඇත. ඉන් එකක් කොළඹ අගරදගුරු වසමේ රාවතාවත්ත දේවස්ථානයයි. අනික වන්නේ මඩකලපුව රදගුරු වසමේ මාංකර්නි දේවස්ථානයයි.
දකිම් මගේ මවුන් සුර දනන් මැදේහි
දිව කිරුල් දැරී වසයි සුපින්වතී
(ගී කළඹ 61 පිටුව)
සුරතාවයින්ගේ රාජේශ්වරියනි අප නිසා යාච්ඤා කළ මැනව
සටහන : මාධව ජයකොඩි