නත්තල් සතියේ එළඹෙන සුවිශේෂී මංගල්‍යයක් ලෙස ශුද්ධවු පවුලේ මංගල්‍යය හැඳින්විය හැක. ජේසුස් වහන්සේ , මරියතුමිය සහ ජුසේ තුමාගෙන් සුසැදි නාසරතයේ ශුද්ධවු පවුල පිළිබඳ සුබාරංචිය අපට ප්‍රකාශ කරයි.
බෙත්ලෙහෙමේ කිතු උපතේ සිට දිගහැරෙන ජවනිකා ඔස්සේ ශුද්ධවු පවුල අප අභියස චිත්‍රණය වේ. මිසරයට පළා යාම, දේවමාලිගයේ බිළිඳු ජේසු තුමන් කැපකිරීම, උන්වහන්සේ දේව මාලිගයේ නැතිවී නැවත හමුවීම ආදී සිදුවීම් ඒ අතර කැපී පෙනේ.
ශුද්ධවු පවුල කෙරෙහි විශේෂ භක්තියක් ගොඩනැඟෙන්නේ 17 වන සියවසේදී ය. උතුරු ඇමරිකාවේ නව ප්‍රංශ ප්‍රදේශයේ ප්‍රථම රදගුරු සාන්ත ෆ්‍රාන්සුවා ද ලවාල් තුමා ඊට පුරෝගාමී වූ බව පෙනේ.
ශුද්ධවු පවුලේ මංගල්‍යය විශ්ව සභාවේ මංගල්‍යයක් ලෙස ලෙස දිනදසුනට එක් වන්නේ 1921 දී අතිඋතුම් XV බෙනඩික්ට් පාප් වහන්සේගේ අවධියේදී ය. එම මංගල්‍යය ඇති කිරීමේ මූලික පරමාර්ථය වූයේ ශුද්ධවූ පවුල මඟින් කිතුනු පවුල් වෙත ලැබෙන මාහැඟි ආදර්ශයන් මෙනෙහි කිරීමට ජනවන්දනාත්මක ඉඩක් විවර කිරීමය.
1969 සිට එම මංගල්‍යය නත්තල් සතියේදී සැමරීම ආරම්භ විය. ඒ අනුව එම මංගල්‍යය නත්තලට පසු ඉරුදිනට යෙදේ.
ශු. පවුල කිතුනු පවුල්වල පරමාදර්ශය ලෙසත්, පියෙක් හා සැමියෙක් ලෙස ජුසේ තුමාගේ භූමිකාව , මවක් හා බිරිඳක් ලෙස දේවමාතාවන්ගේ භූමිකාව මෙන්ම ජේසු කුමරුන්ගේ චරිතය අපට ලබාදෙන්නේ සර්වකාලීන වටිනාකම් සමුදායකි.
ශු. පවුල නමින් කැපකළ දේවස්ථාන කීපයක් මෙරට පිහිටා ඇත.
- කොළඹ අගරදගුරු වසම – කොස්සින්න (ගණේමුල්ල ), පෙතියගොඩ (කමරගොඩ), නිව් ෂැට්ල් (හොරණ), කටුනායක (ශ්‍රී ලංකා ගුවන් හමුදා)
- හලාවත පදවිය – රජකදළුව , මොරකැලේ
- කුරුණෑගල පදවිය – මිල්ලව, මණ්ඩකොන්ඩාන
- බදුලු පදවිය – බිබිල , හපුතලේ
- යාපනය පදවිය – මල්වම් (උඩුවිල්), කිලාලි
- රත්නපුර පදවිය – පින්දෙණිය (කෑගල්ල)
- අනුරාධපුර පදවිය – කලාකරඹෑව (කැකිරාව)
මෙරට තුළ ශුද්ධවු පවුලේ නාමය සුවිශේෂී ආකාරයෙන් සමාජගත වනුයේ ශුද්ධවු පවුලේ පැවිදි සොයුරියන්ගේ නිකායේ මෙහෙවර හරහාය. එම නිකායට අයත් කන්‍යාරාම ගණනාවක් මෙන්ම පාසල් රාශියක් දිවයින පුරාම පිහිටා ඇති අතර එමඟින් සිදුවන්නේ අගනා සේවාවකි.
මාධව ජයකොඩි