Site icon Catholic ENCY | සිංහල කතෝලික වෙබ් අඩවිය

ශු. මැක්සිමිල්ලෝ කෝල්බේ මුනිඳුන් ලොව ප්‍රථම දේවස්ථානය ලක්බිමේ ගොඩනැංවූ ගරු වික්ටර් කුපල් (නි.ම.නි.) පියතුමා

rev father victor kupel

විසිවන සියවසේ විසූ මුනිවරුන් අතර සුපතල නමක් දැරූ, සහෝදර ප්‍රේමය වෙනුවෙන් නාසි සිර කඳවුරකදී තම දිවි පිදූ ශු. මැක්සිමිල්ලෝ මරියා කෝල්බේ තුමන් නමින් ලොව ප්‍රථම දේවස්ථානය ඉදිවන්නේ ඒකල විශාකාවත්ත ගම්පියසේය.

එහි පුරෝගාමියා වන්නේ එවකට කොටුගොඩ මීසම් සේවකව සිටි ගරු වික්ටර් කුපල් (නිමනි) පියතුමන් ය. එදා කොටුගොඩ මීසම යටතේ බිහිවූ විශාකාවත්ත දේවස්ථානය වර්තමානයේ අයත් වන්නේ කනුවන ශු. ජුසේ මුනි මීසමටය.

ශු. මැක්සිමිල්ලෝ කෝල්බේ මුනිඳුන්

ගරු වික්ටර් කුපල් පූජාප්‍රසාදින් වහන්සේ මෙලොව එලිය දකින්නේ 1921 ඔක්තෝබර් 21 වනදා ප්‍රංශයේ නෝමැන්ඩි රදගුරු වසමේ සීස් ප්‍රදේශයේ දීය. ලොවට සාන්තුවරු රැසක් දායාද කළ නෝමැන්ඩිය වඩා ප්‍රකට වන්නේ ශූර නුවණින් යුත් මිනිසුන්ගේ දේශයක් ලෙසය.

දේව කැඳවීමට පිළිතුරු දෙමින් නිර්මල මරිය නිකාය සම්බන්ධ වූ වික්ටර් කුපල් තරුණයා 1942 පෙබරවාරි 17 දා ප්‍රංශයේ පොන්ට්මේන් හීදී ප්‍රථම වේද භාර ගනිමින් තම පැවිදි දිවිය ආරම්භ කළේය. අනතුරුව 1946 දී සදාකල පොරොන්දු දුන් හේ 1947 ජූලි 04 දා ප්‍රංශයේ සොලිග්නැක් හීදි පූජකවරය ලැබුවේ ය.

තම පූජක පත්වීම ශ්‍රී ලංකාවේ ධර්ම දූතික මෙහෙවර සඳහා ලද එතුමා තවත් නිමනි පැවිද්දන් සය දෙනෙක් සමඟ 1948 සැප්තැම්බර් 18 දා අප දේශයට පැමිණ දේව සේවයට මුලපිරුවේය.

වසර කීපයක් සහයක පියතුමෙක් ලෙස හල්පේ, ගම්පහ සහ පමුණුගම යන මීසම්වල සේවය කළ එතුමා අනතුරුව වත්තල නායකකන්ද මීසමෙන් තම මීසම් සේවක භූමිකාව ආරම්භ කළේය.

ඉන්පසු 1954 – 1958 කාලයේ වාද්දූව මීසම් සේවක ලෙසත් ඉන්පසු 1958 සිට 1962 දක්වා වැලිගම්පිටිය මීසම් සේවක ලෙසත් සේවය කළ එතුමා 1962 සිට 1972 දක්වා දශකයක දිගු කාලයක් මීගමුව දලුපත මීසමේ සේවය කළේය. එතුමාගේ සේවය ලද අවසාන මීසම වූයේ කොටුගොඩ ය.

1972 සිට 1974 මැයි 31 දක්වා කොටුගොඩ මීසම් සංඝයේ එඬේරා ලෙසින් සේවය කරන කාලවකවානුවේ විශාකාවත්ත ප්‍රදේශයේ 1966 පමණ සිට මාසිකව දිව්‍ය පූජාව පැවැත්වූ යැදුම් කුටියක් වෙනුවට වඩා ස්ථාවර දේවස්ථානයක් වෙනුවෙන් මුලපිරුවේය.

1973 මැයි 10 දා දේවස්ථානයක් සඳහා ස්ථාපිත කරන ලද කුරුසය අදටත් දේවස්ථාන භූමියේ දැකිය හැක. ගරු කුපල් පියතුමා එම දේවස්ථානය කැපකළේ ඒවනවිට සාන්තුවර නාමාවලියටවත් එක්වී නොතිබූ 1971 දී භාග්‍යවරයට ඔසවන ලද කෝල්බේ තුමන් ටය.

ගරු වික්ටර් කුපල් පියතුමන් පිළිබඳව ඇති වාර්තාවලින් පෙනෙන්නේ එතුමා වනාහි අව්‍යාජ ගති ලක්ෂණ වලින් හෙබි සෘජු ප්‍රතිපත්ති සහිත විටෙක තම ශ්‍රේෂ්ඨයින් සමඟ පවා විවාදයනට යොමුවූ අයෙක් බවයි. නව්‍ය මත වලට යොමුවූ නැවුම් අදහස් සහිත අයෙක් බවයි. එලෙසම එතුමා තරුණ වියේ සිටම විවිධ ශාරීරික රෝගාබාධ නිසා ඇතිවූ පීඩාවන්ට පවා උපේක්ෂාවෙන් මුහුණ දුන් තම දූත මෙහෙවරේදී දුක සැප , සිනහව කඳුල එකසේ විඳ දරාගත් පියතුමෙකි. කෝල්බේ තුමන්ට දේවස්ථානයක් කැපකිරීමට ගත් තීරණය පවා කියාපාන්නේ ඒ සුවිශේෂී ලක්ෂණයන් ය.

1974 දී ප්‍රංශයේ නිවාඩුවක් ගත කිරීමට ගොස් යළි ලක්බිමට ආ එතුමා කෙමෙන් බරපතල ලෙස රෝගාතුර වූ අතර අවසානයේ 1975 ඔක්තෝබර් 05 ඉරිදා කොළඹදී තම මෙලොව ජීවිතය නිමා කළේය.

ඒකල විශාකාවත්ත දේවස්ථානය පිහිටා ඇති මාර්ගය පහුකාලීනව “ගරු වික්ටර් කුපල් මාවත” ලෙස නම් කෙරුණේ එතුමාට කෙරෙන උපහාරයක් ලෙසිනි.

විශාකාවත්ත සංඝය වෙනුවෙන් අභිනවයෙන් දේවස්ථානයක් ඉදිවෙමින් පවතින මෙවන් කාලවකවානුවක එහි පුරෝගාමියා වන ගරු වික්ටර් කුපල් (නිමනි) පියතුමන් සිහිපත් කිරීම කෘතවේදීත්වයේ සලකුණකි. එතුමන් සමාදානයේ සැතපේවා !!!

Exit mobile version