nathu wu bataluwa pilibada upamawa

නැති වූ බැටළුවා පිළිබඳ උපමාව

මතෙව් 18:10-14

”මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි. මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ, නැති වූවන් ගළවා ගන්නා පිණිස ය.

”ඔබ කුමක් සිතන්නහු ද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක්, උන්ගෙන් එකෙකු මුළා ව ගියොත්, ඉතිරි අනූ නවදෙනා කඳුකරයේ ඉන්න හැර, මුළා ව ගිය එකා සොයා යන්නේ නැද් ද?

සැබැවින් ම ඔබට කියමි, ඌ සම්බ වුනොත් මුළා ව නොගිය අනූනව දෙනා ගැන ප්‍රීති වෙනවාට වඩා ඌ ගැන ප්‍රීති වන්නේ ය.

එසේ ම මේ බාලයන් එක් කෙනෙකු වත් විනාශ වීම ස්වර්ගයෙහි වැඩ වසන ඔබගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නො වේ.”

ලූක් 15:3-7

එක් දිනක් සියලු අයකැමියෝ ද පව්කාරයෝ ද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන් වහන්සේ සමීපයට ආහ.

පරිසිවරු ද විනයධරයෝ ද කතා කොට, ”මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ ය, බොන්නේ ය”යි මැසිවිලි කීවෝ ය.

එවිට උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: ”ඔබ අතුරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක්, උන්ගෙන් එකෙකු නැති වුවහොත්, අනූ නව දෙනා පාළුකරයෙහි හැරදමා, නැති වූ එකා පසුපස්සේ ගොස්, ඌ සම්බ වන තුරු සොයන්නේ නැද් ද?

ඒ බැටළුවා සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින්, ඌ කර තබාගෙන, ගෙදර අවුත් මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න, මාගේ නැති වූ බැටළුවා සම්බ වී ය’යි ඔවුන්ට කියයි.

එලෙස ම පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා ව නැතැ යි සිතන සිල්වතුන් අනූ නව දෙනෙකුට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”

මේ හා සම්බන්ධ වෙනත් ලිපි