Maximilian Kolbe munithuma

විසිවන සියවසේ ප්‍රාණ පරිත්‍යාගීවරයා මෙන්ම සහෝදර ප්‍රේමයේ සැබෑ පිළිබිඹුවක් ලෙස පෝලන්ත නාසි සිර කඳවුරකදී නාදුනන සිරකරුවෙකු වෙනුවෙන් සිය ජීවිතය පිදීමට ඉදිරිපත් වූ ශු. කෝල්බේ තුමාගේ මංගල්‍යය අගෝස්තු 14 දිනට යෙදේ.

1894 දී පෝලන්තයේ ඉපිද 1911 දී ෆ්‍රැන්සිස්කන් කොන්වෙන්චුවල් නිකායට බැදුණු එතුමා 1918 දී පූජකවරය ලබා තම දූත මෙහෙවර ආරම්භ කළේය. කුමරි මරියාවන්ගේ නිමල හද වෙත බැතිපෙමින් වෙලී සිටි එතුමා ඒ වෙනුවෙන් කැපවී මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දැවැන්ත මෙහෙවරක නිරත වූයේය.

පෝලන්තයට සීමා නොවූ ඒ මෙහෙවර ආසියාවේ පතුරුවාලීමට එතුමා 1930 – 1936 කාලවකවානුවේදී ජපානය දක්වා යාත්‍රා කළේය. එතුමා 1930 මාර්තු 19 දාත් ඉන්පසු 1933 සැප්තැම්බරයේත් කොළඹ වරායෙන් ලක්දිවට පා තබා පීටර් මාක් අගරදගුරු හිමිපාණන්ද හමුව ඇති අතර කොම්පඤ්ඤ වීදිය දේවස්ථානයේදී දිව්‍ය පූජාවද පවත්වා ඇත. ඒ අනුව ශු. කෝල්බේ තුමා යනු දෙවරක්ම සිරිලක පා තැබූ සාන්තුවරයෙකි.

ජපානයේ නාගසාකි එතුමා දියත් කළ සේවය සුවිශේෂී වූවකි. පෙරළා එතුමා ආවේ හිට්ලර්ගේ නාසිවාදී අදුරු වළාවෙන් පෝලන්තය වෙලී ගිය පසුබිමකය. එතුමා නාසි හාමුදාවේ අත් අඩංගුවට ලක්විය. අවුශ්විට්ස් සිර කදවුරේ අංක 16670 සිරකරුවා වූයේ එතුමාය.

එක් සිරකරුවෙකු සිරගෙයින් පැන ගියෙන් අනෙක් සිරකරුවන් බියට පත් කරනුවස් අහඹු ලෙස තෝරාගත් සිරකරුවන් දස දෙනෙක් මරණයට නියම කෙරිණි. මේ අතර සිටි ෆ්‍රැන්සිස් ගජෝව්නිස්ක් නම් තැනැත්තාගේ වැළපීම ඇසූ කෝල්බේ තුමා එම සිරකරු වෙනුවට මරණයට ඉදිරිපත් වූයේය. කෑමබීම නොදී ඉතා දරුණු පීඩාවන්ට ලක් කෙරුණු මේ දස දෙනා කෙමෙන් මරණයට පත්විය. අවසානයේ ඉතිරි වූයේ පියතුමා පමණි. ඔවුහු එතුමාට විෂ එන්නත් කොට මරා දැමූහ. ඒ 1941 අගෝස්තු 14 දාය.

එතුමා පෑ වීරෝදාර කිතුනු දයාව සලකා සාන්ත සභාව එතුමා දේව සේවක ලෙස නම්කොට 1971 භාග්‍යවරයටත්, 1982 ශුද්ධවන්තභාවයටත් ඔසවන ලදි. එම අවස්ථා දෙකටම එතුමා නිසා මිදුණු ෆ්‍රැන්සිස්ද සහභාගි වූයේය.

එතුමාගේ නමින් කැපකළ ලෝකයේ ප්‍රථම දේවස්ථානය ගොඩනැගුණේ අප රටේ යැයි කියැවේ. ඒ 1968දී ගොඩනගා 1971 දී එතුමට කැපකරන ලද ඒකල විශාකාවත්ත දේවස්ථානයයි. එවකට කොටුගොඩ මීසම යටතේ ගරු වික්ටර් කුපෙල් පියතුමා විසින් අරඹන ලද මේ දේවස්ථානය පසුව කනුවන මීසමට අයත් විය. අබලන්වූ පැරණි දේවස්ථානය වෙනුවට දැන් නව දේවස්ථානයක් ඉදිවෙමින් පවතී.

කනුවන විසාකවත්ත ග්‍රාමයේ ශු. මැක්සිමිලියන් කෝල්බේ තුමාගේ ඉදිකරමින් පවතින නව දේවස්ථානය
කනුවන විසාකවත්ත ග්‍රාමයේ ශු. මැක්සිමිලියන් කෝල්බේ තුමාගේ ඉදිකරමින් පවතින නව දේවස්ථානය

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *