ලක්දිව බෙනදිකාන මෙහෙවර
2020 අගෝස්තු මස 14 වන දිනට සිල්වෙස්ත්‍රෝ බෙනදිකානු තාපසවරුන් මෙරටට සම්ප්‍රාප්ත වී වසර 175ක් සපිරේ. මේ විපැරුම එතුමන්ලාගේ මෙහෙවර සහ දායකත්වය පිළිබඳවය.
13 වන සියවසේ ශු. සිල්වෙස්තර් ගුසොලිනිතුමන් විසින් ඉතාලියේ ෆබ්‍රියානෝ හි ආරම්භ කරන ලද සිල්වෙස්ත්‍රීන නිකාය, බෙනදිකාන මහා පැවිදි හවුලේ ශාඛාවක් ලෙස පුරා සියවස් 6කට ආසන්න කාලයක් ඉතාලිය තුළ ව්‍යාප්ත වෙමින් තිබූ තාපස නිකායක් විය.
එහි තාපස පියතුමෙකු වශයෙන් සේවය කරමින් සිටි තරුණ ඩොම් ජෝසප් මරිය බ්‍රාවි ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා රෝමයේ නැවතී සිටි කාලයේදී ඔහුට මුණ ගැසුණු ඉන්දියාවේ සේවය කළ ප්‍රංශ ජාතික ජින් ලුකට් පියතුමන් ඇසුරින් ලබාගත් තොරතුරු මත එවැනි රටක ස්වදේශිකයන්ව පැවිදි ජීවිතය සඳහා පුහුණු කරවීමට සිය කැමැත්ත පලකරමින් ප්‍රොපගැන්දාවට, විශේෂ කොට එහි සිටි කාදිනල් ෆ්‍රන්සෝනි හට ලිපි මගින් දන්වා තිබිණි.
ඒ අනුව ප්‍රොපගැන්දාවේ නිර්දේශය මත 1845 මාර්තු 12 දින රෝමයෙන් පිටත් වූ බ්‍රාවි පියතුමා ඇලෙක්සැන්ඩ්‍රියාවට (ඊජිප්තුව) පැමිණි පසු එහි සිටි ස්පාඤ්ඤ ජාතික සිස්ටර්ෂියාන නිකායික පියවරුන් දෙපළක් වූ ෆියොරෙන්සෝ ගාර්ෂියා සහ ෆ්‍රොයිලානෝ ඔරූනා සමග එකතු විය.
එහිදී ඔවුන්ගේ නැව් ගාස්තු සඳහා අවශ්‍ය මුදල් පවා ඔවුනට ලැබී නොතිබුන හෙයින් ඔවූහු ගොඩබිමින් සුවෙස් බලා ගමන් කර නැවක් පැමිණෙන තුරු බලා සිටියහ.
සාමාන්‍ය ලියාපදිංචියක් සඳහා වත් මුදල් නොතිබුණු බැවින් මොවුන් තිදෙනා නැවේ ගමන් කරන ධනවත් යුරෝපීයයන්ගේ සේවකයන් ලෙස කටයුතු කරමින් නැව් තට්ටුව මත නිදාගැනීමට අවසර ලබාගත්හ.
එසේ ඉන්දියාවට පැමිණ මන්ගලෝර් සිට පොන්ඩිචෙරි දක්වා වූ අති දුෂ්කර ගොඩබිම් මාර්ගයේ වනසතුන්, සුළි කුණාටු සහ කොලරා වසංගතය තිබූ ප්‍රදේශ වැනි බාධක පසුකරමින් ඔවුන්ගේ පළමු නැවතුම්පල කරා ළඟාවිය.
එහි මොන්සිඤ්ඤෝර් බොනාඩ් සමග සති කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව 1845 අගෝස්තු 14 වන දින කොළඹට සේන්දු විය. ඒ වන විට බ්‍රාවි පියතුමා අවුරුදු 32ක තරුණ පියතුමෙක් විය.
මෙතැන් පටන් බ්‍රාවි පියතුමන්ට ලංකාවේ සිටි යුරෝපීය මිෂනාරිවරුන්ගේ සහ ගෝවේ ඔරතෝරියාන පියවරුන් අතර සුහදතාව,සමගිය වර්ධනය කරන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සිදුවී ඇති බව පෙනේ.
මෙම දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගැනීමද අති දුෂ්කර කාර්යයක් වී ඇති අතර ඒ සඳහා තිබූ එකම භාෂා මාධ්‍යය ලතින් බස වීමත් බ්‍රාවි පියතුමන් එය ප්‍රගුණ කර තිබීමත් ඊට මහඟු අස්වැසිල්ලක් වී තිබේ.
නවක යුරෝපීය පියවරුන් තිදෙනා මෙරටට පැමිණි විගසම ඔවුන්ව ධර්මදුත සේවයේ යොදවනු නියාවෙන් බ්‍රාවි පියතුමන්ව මීගමුව ප්‍රදේශයටත් ඔරූනා පියතුමන්ව ගාල්ලට සහ ගාර්ෂියා පියතුමන්ව ත්‍රිකුණාමලයට අනුයුක්ත කරන ලදි.
මේ අතරවාරයේදීම ඉතාලි ජාතික ඔරාසියෝ බෙටකීනි පියතුමන්ව ශ්‍රී ලංකා අනු පදවියේ රදගුරු සහයක (Coadjutor ) තනතුරට උසස් කිරීමට ශුද්ධාසනයෙන් පැමිණි තීන්දුවත් සමග පෙර සඳහන් කළ දෙපාර්ශවය අතර වියවුල් සහගත තත්වය තීව්‍ර අතකට හැරුණි.
බ්‍රාවි පියතුමන්ගේ ධර්මදුත සේවාවන්
තම සේවා කාලයේ ආරම්භය මෙසේ ව්‍යාකුල තත්වයක පැවතියද බ්‍රාවි පියතුමන් සිය දේව ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් හා යුතුකම් සෑම විටකම නොපිරිහෙලා ඉටු කිරීමට අමතක නොකළේය.
සිය ප්‍රථම සේවා මධ්‍යස්ථානය වූ මීගමුවේ එවකට සිටි 30000ක් පමණ වූ කතෝලික විශ්වසිකයින් වෙතද විශේෂ කොට එතුමන් භාරයේ පැවති පළඟතුරේ, පල්ලන්සේන, තෝප්පුව, මුරුතනේ, හල්පේ, කඳවල, බෝලවත්ත, ගොඩැල්ල සහ සින්ද්‍රාතිය ප්‍රදේශ වල කතෝලික ප්‍රජාවට ආදර්ශමත් යහපත් එඬේරෙකු ලෙස මෙතුමා සේවය කළ අතර වැල්ලවීදිය දේවස්ථානය මෙතුමාගේ නවාතැන්පල, නැතහොත් ඔහුගේම වචන වලින් “කුඩා ආසන දෙව්මැදුර” විය.
ඉතා කෙටි කාලයක් තුළදී දේශීය ජන ජීවිතයට සහ භාෂාවන්ට හුරුවෙමින් මීගමුවේ සේවය කළ බ්‍රාවි පියතුමන්ව නැවතත් යුරෝපීය සමාජයක් වෙත යොමුකරමින් පිටකොටුවේ ශු. පිලිප්නේරි දේවස්ථානය භාරව සහ බ්‍රිතාන්‍ය හමුදාවේ උපාධ්‍ය පියතුමන් වශයෙන් සේවය කිරීම සඳහා කොළඹට කැඳවනු ලැබීය.
එහි සිටි වසර 11ක කාලවකවානුව තුළ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා වලදී මෙන්ම ව්‍යසනකාරී කොලරා වසංගත කාලවලදී පවා මෙතුමා දක්වන ලද මානුෂික සැලකිල්ල හේතුවෙන් සොල්දාදුවන් අතර බ්‍රාවි පියතුමා නිතැතින් ප්‍රශංසාවට ලක්විය.
එමෙන්ම කතෝලිකයන්ගේ අයිතීන් වෙනුවෙන් නොබියව පෙනී සිටීමටත් කතෝලිකයන්ට විරුද්ධව නැගෙන චෝදනා හා අභියෝග හමුවේ නොසැලී පිළිතුරු සැපයීමටද බ්‍රාවි පියතුමන්ට මෙහිදී සිදුවිය.
බ්‍රිතාන්‍ය ජාතිකයින් හට මෙතුමන් කළ සේවය නිසා නිරන්තරයෙන් රාජ්‍ය නිලධාරීන් පවා මෙතුමා ගැන බොහෝ සෙයින් පැහැදී සිටි අතර පසු කාලවලදී පවා එම හැඳුනුම්කම් කතෝලිකයන් වෙනුවෙන් පෙනීසිටීම සඳහා මෙතුමාට රුකුලක් විය.
මෙරට කතෝලික සභාව තුළ ගොඩනැගෙමින් තිබූ භේදයට පමණක් නොව මේ කාලය තුළ රටේ ඉස්මතු වෙමින් තිබූ අර්බුදකාරී වාතාවරණය තුළ (විශේෂයෙන්ම 1848 කැරැල්ල) කතෝලික ජනතාව බ්‍රිතාන්‍ය රජය සමග මෙන්ම ස්වදේශීය ජන කණ්ඩායම් සමගද සාමකාමී ලෙස හැසිරවීමේ වගකීම ධර්මදුත පියවරුන් සතුවූ කාර්යයක් වූ අතර බ්‍රාවි පියතුමන්ද එහි වගකිවයුතු කොටස්කරුවෙකු විය.
1848 දී ඒ. රේනාඩ් පියතුමන්ගෙන් පසු රජයේ පාසල් කොමිසමේ කතෝලිකයින්ගේ නියෝජිතවරයා ලෙස කටයුතු කිරීමට බ්‍රාවි පියතුමන්ට පැවරුණි.
රජයේ පාසල්වල අධ්‍යාපනය හදාරන කතෝලික දරුවන්ට මෙන්ම සමස්ත කතෝලික ශිෂ්‍ය ප්‍රජාවගේද අයිතිවාසිකම් සුරැකීමට මෙතුමා කොමිසම ඉදිරියේ පෙනී සිටියේය.
මෙතුමාගේ මෙවැනි වූ අද්විතීය ක්‍රියා කලාපයන් හමුවේ කතෝලික පූජක පක්ෂය කෙරෙහි සමාජයේ පැවති ප්‍රසාදය වඩ වඩාත් ඉහල නැංවීම පිළිබදවය.
ක්‍රි.ව. 1849 අගෝස්තු මස 01 වන දින ” Probe noscis ” නිවේදනයෙන් ලක්දිව අනුපදවියේ යුවරදගුරු සහ ටිපසාහි නාමධාරි රදගුරු ලෙස සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික අති උතුම් ජෝශප් මේරි බ්‍රාවි (සා.බෙ.නි.) හිමිපාණන්ව නම් කරන ලදී.
එතුමන්ගේ රදගුරු අභිෂේකය ක්‍රි.ව. 1850 ජනවාරි මස 13 වන දින කොටහේන ශා. ලුසියා ආසන දෙව්මැදුරේ දී අති උතුම් ගයතානෝ අන්තෝනියෝ මුල්සුචේ හිමිපාණන් අතින් සිදුකරන ලදී. එවිට මෙතුමන්ගේ වයස අවුරුදු 36කි.
ක්‍රි.ව. 1857 ජනවාරි මස 25 වන දින අති උතුම් ගයතානෝ අන්තෝනියෝ මුල්සුචේ හිමිපාණන් ස්වර්ගස්ථ වීමෙන් පසු මෙතුමා දකුණු අනුපදවියේ රදගුරු ධුරයට පත්වූ අතර , මේ කාලයේ දී එතුමන් හට මුහුණපෑමට සිදුවූ අභියෝග රාශියක් පැවතිණි. ඉන් ප්‍රධාන අභියෝගය වූයේ ධර්මදුතවරුන්ගේ හිගය වේ. ඊට අමතරව ,
- රජය විසින් ඉංග්‍රීසි භාෂාවට මුල්තැනක් දීම සහ සෙසු ක්‍රිස්තියානි නිකායන් විසින් දිවයින පුරා සීඝ්‍රයෙන් රෙපරමාදු පාසල් ආරම්භ කිරීම.
- ඉන්දීය ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් සමග සාමකාමීව ක්‍රියාකිරීම.
- රජයත් සමගම කටයුතු කිරීමට ඉංග්‍රීසි භාෂාව හැසිරවීම සහ එකල ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන්ගේ භාෂාව වූ පෘතුගීසි භාෂාව අතර ඝට්ටන පැවතීම.
- එකල විසූ ධර්මදුතවරුන් ඉංග්‍රීසි බස නොදැන සිටීම.
- මේ කාලයේ දී පංච මහා වාද ආරම්භ වීම සහ බෞද්ධ පුනරුද ව්‍යපාරය ඇරඹීම කිතුනුවන් හා ඝට්ටන ඇති වීම.
- අනුපදවියේ දේවස්ථාන බොහොමයක් කුඩා පොල් අතු මඩුවල් ලෙස පැවතිම.
- කතෝලික විද්‍යාල කිසිවක් මේ වන විට ආරම්භ වී නොතිබිම.
- ඇතැම් ප්‍රදේශ වල බෞද්ධඅන්තවාදීන් සහ කතෝලික ජනතාව අතර ගැටුම් පැවතීම.
මෙතුමා දකුණු අනුපදවියේ රදගුරු ධූරයට පත්වීමෙන් පසු ජෝන් විස්ත්‍රීනි ( 1846 ), ඩොමිනිකුස් ප්‍රිඕරි (1847) යන ඉතාලි පදවි පූජාප්‍රසාදීවරුන් ද, සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික එමිලියානෝ මිලියානි ( 1847 ) යන යුරෝපීය ධර්මදුතවරුන් සේවය සදහා පැමිණියෝය.
බ්‍රාවි රදගුරුතුමා තම අනුපදවියේ විසු ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් සමග ඉතා සුහදශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළ තැනැත්තෙකි. මේ කාලයේදී උතුරු අනුපදවියේ සේවය කළ ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික ධර්මදුතවරුන් මුළු ලංකාවම තම පාලන බලයට නතු කර ගැනීමට අපේක්ෂා කළ බව කියැවේ.
අති උතුම් ඔරාසියෝ බෙතකිනි රදගුරුතුමන් සමග මතභේද සහ ගැටුම් පැවති නිසා ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් මෙරටට යුරෝපීය ධර්මදුතවරුන් පැමිණෙනවාට අකමැති වූ බව සදහන් වේ.
එම නිසා ම ක්‍රි.ව. 1852 දී යුරෝපීය ධර්මදුතවරුන් මෙරටට පැමිණීමට ශුද්ධාසනය විසින් තීරණය කළ විට බ්‍රාවි රදගුරුතුමා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරන ලද්දේ ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් සමග සුහදශීලි ප්‍රතිපත්තියක් මෙන්ම මතභේද වලින් තොර සාමකාමී වාතාවරණයක් දකුණු අනුපදවියේ අනුගමනය කරන්නට එතුමා බෙහෙවින්ම අනුගමනය කළ පියවරක් නිසාවෙනි.
මෙම තීරණයට එරෙහිව බ්‍රාවි රදගුරුතුමා සහ දකුණු අනුපදවිය පිළිබදව ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික ධර්මදුතවරුන් ශුද්ධාසනයට පැමිණිලි කළ අතර , ඊට හේතුකාරකය ලෙස ඔවුන් ඉදිරිපත් කරන ලද්දේ දකුණු අනුපදවියේ සේවය සදහා ධර්මදුතවරුන් ඉතා අවශ්‍ය බවයි.
මේ කාලයේදී දකුණු අනුපදවියේ සේවය කරන ලද්දේ ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් 15කු සමග යුරෝපීය ධර්මදුතවරුන් තිදෙනෙකි.
මේ කාලයේදී ඔබ්ලෙට් නිර්මල මරිය නිකායේ ආරම්භකයාණන් වූ එව්ජින් ද මැසනොඩ් රදගුරුතුමා ද උතුරු අනුපදවියේ ධර්මදුතවරුන්ගේ පැත්ත ගනිමින් ක්‍රියාකරන්නට වූ අතර ඇතැම්විට පාලන ක්‍රියාවලියටද අනවශ්‍ය ලෙස අතදැමූ බව සදහන් වේ.
මන්ද එව්ජින් ද මැසනොඩ් රදගුරුතුමා ද දකුණු අනුපදවියේ සේවය සදහා ඔබ්ලෙට් නිර්මල මරිය නිකායේ ධර්මදුතවරුන් යොදවන්නට අපේක්ෂා කළ අතර ඒ සදහා ශුද්ධාසනය වෙත තම මතය සහ කැමැත්තද ප්‍රකාශ කොට තිබුණි.
මේ නිසා තව තවත් මතභේදය උත්සන්න වන බව දුටු බ්‍රාවී හිමිපාණන් මෙම තත්වය සමථයකට පත්කරනු සදහා අකැමැත්තෙන් වුවද දකුණු අනුපදවියේ සේවය සදහා ඔබ්ලෙට් නිර්මල මරිය නිකායේ ධර්මදුතවරුන් යොදවන මෙන් ශුද්ධාසනයෙන් ආයාචනා කළ අතර ඒ ධර්මදුතවරුන් ද ඉතාලි ජාතිකයන් වීම ද අපේක්ෂා කළ අතර මෙම ඉල්ලීම පිළිබදව එව්ජින් ද මැසනොඩ් රදගුරුතුමා ඉතා කැමැත්තෙන් ඩොමිනික් පුලිකානි, ඒඩ්‍රියන් ඩුෆ්ෆෝ, ජින් – පියෙර් පෙරේයාඩ් සහ ලොරාන්ට් ලලෙමාන්ට් යන ධර්මදුතවරුන් සතර දෙනා ක්‍රි.ව. 1851 සිට ක්‍රි.ව. 1866 දක්වා වසර 15ක කාලයක් දකුණු අනුපදවියේ සේවය කරන ලදී.
මේ නිසාම බ්‍රාවී හිමිපාණන් හට තවත් ප්‍රශ්නයකට මුහුණදෙන්නට සිදුවිය. ඒ මෙතෙක් පැවති ගෝවේ ඔරතෝරියන් ධර්මදුතවරුන් සහ ඉතාලි සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන ධර්මදුතවරුන් අතර පැවති මතභේද වලට අමතරව ක්‍රි.ව. 1851 දී ශුද්ධාසනය විසින් එවනු ලැබූ ඔබ්ලෙට් නිර්මල මරිය නිකායේ ධර්මදුතවරුන් අතර ද මතභේද පැවතීමය.
මෙසේ දකුණු අනුපදවියේ විසු ධර්මදුතවරුන්ගේ කණ්ඩායම් තුනක් ආරම්භ විය. තවද ශුද්ධාසනය විසින් එවනු ලැබූ ඔබ්ලෙට් නිර්මල මරිය නිකායේ ධර්මදුතවරුන් දකුණු අනුපදවියේ සේවයට පැමිණියද , බ්‍රාවී රදගුරු හිමිපාණන් ඔවුන් කෙරේ කිසිදු පැහැදීමකින් නොසිටි බවද සදහන් වේ.
මන්ද මේ ධර්මදුතවරුන්ගෙන් ඇතැමෙකු දකුණු අනුපදවියේ දුර්වලතා පිළිබදව ශුද්ධාසනයට , එව්ජින් ද මැසනොඩ් රදගුරුතුමාට සහ උතුරු දකුණු අනුපදවියේ රදගුරුතුමාට ද ලිපි සහ ලේඛන මගින් දැනුවත් කර තිබීමය.
සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික ධර්මදුතවරුන් මෙරටට පැමිණ ශාසනික වශයෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන ලදී. මෙම පියවරුන් වනාහි දේවස්ථාන ගෘහනිර්මාණ ක්ෂේත්‍රය තුල දස්කම් විස්කම් දැක්වූ පිරිසකි.
ලක්දිව පවතින ශෝභාසම්පන්න දේවස්ථාන බොහෝමයක් ඉදිකරන ලද්දේ මේ පියවරු විසිනි. කොටහේන, ගාල්ල , මහනුවර , බදුල්ල , මහවීදිය, පමුණුගම යන දේවස්ථාන මීට උදාහරණ වේ.
එතුමන්ලා විසින් ඉදිකරන ලද සෑම දෙවස්ථානයකම ” D.O.M. ” යන වචනය සදහන් කර ඇත. එහි අරුත ” Deo Optimo Maximo “යන ලතින් වචනයේ අරුත වන්නේ ” අති උත්කෘෂ්ඨ දෙවිදාණන් ” යන්නයි.
මේ ම ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදූත වරුන්ගේ යුගයේදී කුඩාවට ආරම්භ වුණු දේවස්ථාන බොහොමයක් ඉතා දර්ශනීය සහ දැකුම්කළු ලෙස නිර්මාණය වීම මෙහිලා කෘතවේදීව සඳහන් කළ යුතුමය.
මෙහි දී ඉදිකරන ලද දේවස්ථාන බොහොමයක් දේවමාතාවන් වහන්සේට කැප කර තිබීම ද සුවිශේෂී ලක්ෂණයකි.
දකුණු අනුපදවියේ පළමු රදගුරුතුමන් වූ ගෝවේ ඔරතෝරියාන නිකායික අති උතුම් කයිතානු අන්තෝනියෝ හිමිපාණන්ගෙන් පසුව කොළඹ දකුණු අනුපදවියේ රදගුරුතුමන් වූ අති උතුම් ජෝශප් මේරි බ්‍රාවි ( සා.බෙ.නි.) හිමිපාණන්ගේ අද්විතීය දායකත්වය තුළ නිර්මාණය කරන ලද පිටකොටුවේ ශු. පිලිප්නේරි මුනිතුමන්ගේ දේවස්ථානය ඉදිවුණි.
එය නිර්මාණය කරන ලද්දේ රෝමයේ ශා. ජෝන් ලැටරන් බැසිලිකාවේ අනු ආකෘතියක් ලෙසටය.
සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන තාපසවරුන් ද ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් මෙන් ස්වර්ගාරෝපිත රාජේශ්වරිය කෙරේ භක්තිය වඩවාලු පිරිසක් විය.
ඒ බව වඩාත් ද්වනීත වූයේ අති උතුම් ජෝශප් මේරි බ්‍රාවි (සා.බෙ.නි.) හිමිපාණන්ගේ සහ අති ගරු එමිලියානෝ මිලියානි ( සා.බෙ.නි.) පුජාප්‍රසාදීන් වහන්සේගේ දායකත්වය ඉදිකෙරුණු පිටකොටුවේ ශු. පිලිප්නේරි මුනිතුමන්ගේ දේවස්ථානයේ ප්‍රධාන දර්ශනීය අල්තාරය මත ස්ථාපනය කර තිබුණේ දේවමාතාවන්ගේ ස්වර්ගාරෝපණය පිළිබඳව දැක්වෙන අගනා සිතුවමකි.
එය අද දක්නට නොලැබීම ඉතා කණගාටුදායකය. එම අල්තාරය ස්ථාපනය කිරීමට පෙරාතුව ක්‍රි.ව. 1857 දී එවකට දකුණු අනුපදවියේ රදගුරු අති උතුම් ජෝශප් මේරි බ්‍රාවි ( සා.බෙ.නි.) හිමිපාණන්ගේ විසින් ශුද්ධාසනයෙන් ලද විශේෂ අවසරයක් අනුව ස්වර්ගාරෝපිත රාජේශ්වරියගේ මංගල්‍යය මෙරට කතෝලිකයන් හට ණය මංගල්‍යයක් ලෙස නම් කරන ලදී.
අති උතුම් ජෝශප් මේරි බ්‍රාවි ( සා.බෙ.නි.) හිමිපාණන් ස්වර්ගාරෝපිත රාජේශ්වරිය කෙරේ භක්ත්‍යාදරය දක්වාලන්නට ප්‍රධාන හේතුකාරකයන් කීපයක් විය.
ඒවා අතර ප්‍රධාන තැනක් ගනු ලැබුවේ ක්‍රි.ව. 1845 දී එතුමන් ස්වකීය ධර්මදානය සදහා සපැමිණියේ අගෝස්තු 14 දින වීමත් , එකල ලංකාවේ ප්‍රධාන මංගල්‍යය ලෙස මෙම මංගල්‍යය සැමරීම නිසාත්ය.
දේවසැලැස්මට අනුව අති උතුම් ජෝශප් මේරි බ්‍රාවි ( සා.බෙ.නි.) හිමිපාණන්ගේ ස්වර්ගස්ථ වීමද සිදුවුයේ ක්‍රි.ව. 1860 අගෝස්තු මස 15 වන දින සූවස් හිදීය.
එහිදී තාවකාලිකව එතුමන් මිහිදන් කළ ද ඉන් මාස 18කට පසු එතුමන්ගේ දේහය නැවත ගොඩගෙන එතුමන්ගේ අද්විතීය නිර්මාණයක් ලෙස අදත් දිදුළන පිටකොටුවේ ශා. පිලිප්නේරි දේවස්ථානයේ දකුණු බිත්ති කොටසක තැම්පත් කළ අතර අදත් එහිවූ ශිලාස්ථම්භය දැක ගත හැකිය.
සටහන – අසේල දසනායක