සිරිලක කාර්මෙල් පැවිදි සංඝ ජායාරූපය

සිරිලක කාර්මෙල් පැවිදි සංඝ

|

කාර්මෙල් අප ස්වාමිදූගෙ සළුධාතුව සෙවනේ දැහැන්ගතවූ දූත මෙහෙවරක යෙදෙන කාමලයිට් පැවිදි නිකාය කොටස් කීපයකින් යුක්තය.

මේ අතරින් සුවිශේෂී වන්නේ 1935 දී මෙරටට සැපත්වූ කාර්මෙල් තාපසිකාවෝය. මහ කාර්මෙල් ( The Great Carmelites ) ලෙස හැදින්වෙන ඔවුන්ගේ තාපසිකාරාම දෙකක් ඉන්පසුව මහනුවර (1950) හා ගාල්ල කලේගානේ (1967) ඉදිවිය.

ඒ අනුව මෙරට ධ්‍යානපර දිවියක් ගෙවන භෞතික වශයෙන් ලෝකයෙන් ඈත්වූ එහෙත් ආධ්‍යාත්මික වශයෙන් ලෝකය හා බැදුණු කාර්මෙල් තාපසිකාවෝ පිරිසක් මෙම තාපසිකාරාම ත්‍රිත්වය තුළ බවුන් වඩති.

කාර්මෙල් පැවිදි නිකායික ශ්‍රමණයින් නොහොත් තාපසයින්ගේ සංඝය මීට බොහෝ කලකට පෙර මෙරට සේවය කළ අතර එහි කැපීපෙනෙන සන්ධිස්ථානයක් ලෙස ඉදිගොල්ල සා. ජූඩ් සිද්ධස්ථානය නම් කළ හැක.

එහි දශකයක පමණ දිගු කලක් සේවය කළ බෙල්ජියම් ෆ්ලන්ඩර්ස් ප්‍රාදේශිකයේ කාමලයිට් තවුසෝ දේශිය තරුණයින් කීප දෙනෙක් පැවිදි ජීවිතයට ඇතුළත් කර ගත්තද උද්ගත වූ ගැටලු මැද නැවත තම රට කරා යාමට සිදුවිය.

ඒ යුගයේ බිහිවී ඉතිරි වී සිටි අවසන් කාමලයිට් පියතුමා වන ගරු ගේබ්‍රියල් ගුණසේකර පියතුමා මීට වසර කීපයකට පෙර එංගලන්තයේ ආරාමයකදී ස්වර්ගස්ථ විය.

ඉන් වසර ගණනාවකට පසු මෑතදී නැවත කාමලයිට් පූජක සංඝයක් මෙරට ස්ථාපිත විය. ඒ රෝමයේ මූලස්ථානය යටතේ ආසියාවේ කටයුතු භාරව සිටි ගරු ඔගස්ටින් මුල්ලූර් පියතුමාගේ පුරෝගාමිත්වයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාදේශිකයේ කාමලයිට් වරුන්ගේ පැමිණීමෙනි.

ග්‍රෑන්ඩ්පාස් හී තාවකාලිකව නැවතී මෙරට සේවාවට පිවිසුණු ඔව්හු අගරදගුරු වසමේ තම මධ්‍යස්ථානය කඳාන කොස්පැලෑන ගම්මානයේ පිහිටුවා කෙමෙන් එය ආරාමයක් බවට පත්කර ඇත.

ඔවුන්ගේ දූතමෙහෙවර ඊළඟට යොමුවූයේ ගාලු රදගුරු පදවිය වෙතය. ශු. තෙරේසා මව්තුමියගේ නමට කැපකළ තල්ගස්වල දෙව්මැදුර භාරගත් ඔවූහු එහි ඉදිකළ නව ආරාමය කේන්ද්‍ර කරගෙන එහි සේවය කරති.

අද වනවිට එම සේවය රත්නපුර පදවියේ කෑගල්ල මීසම වෙතද දියත් වී ඇත්තේ එහි විවෘත වූ කාර්මෙල් නිවාසය මුල්කරගෙන ය.

මෙරට කාර්මෙල් තාපස සංඝය වැඩෙමින් පවතින අතර අද වනවිට දේශීය සොහොයුරන් කීපදෙනෙක් වේදභාර ගෙන ඉදිරි පුහුණු කටයුතු වල පසුවන්නේය.

මෙරට කාර්මෙල් පැවිදි සංඝයට අයත් අනෙක් කණ්ඩායම වන්නේ අධ්‍යාපනය මුල්කරගත් තවත් විවිධ සේවාවන් රැසක් දියත් කරන අපෝස්තලික කාර්මෙල් පැවිදි නිකායයි. 1922 දී මෙරටට ආ එම සොයුරියෝ ත්‍රිකුණාමලයේ දී තම මෙහෙවරට මුලපිරූහ.

එහි සිට මුළු සිරි ලකටම පැතිරී ගිය ඔවුන්ගේ සේවාව විශේෂයෙන් දැකිය හැක්කේ පාසල් ඇසුරේය. ඒ අතර ගම්පහ සිරි කුරුස විදුහල වඩා පසිදුය.

මේ පැවිදි පිරිස් ඇසුරේ කාර්මේල් දිවිපෙවෙත බෙදාහදා ගන්නා ගිහි කණ්ඩායම් ද සිටී. මේ සැම ජූලි 16 දා සැම තම මෑණියන් ගේ මංගල්ලය සමරති.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි